“ආවාසපළිබෝධය, චීවරපළිබෝධය” යි කඨිනය සම්බන්ධයෙන් දතයුතු පළිබෝධ දෙකකි. කඨිනාස්තරණය කළ විහාරයෙහි ම වාසය කළ යුතු බව හා එයින් බැහැර ගියේ ද නැවත ඒමේ බලාපොරොත්තුව තබා ගත යුතු බව ආවාස පළිබෝධය ය. භික්ෂුවගේ චීවරය නොකළ බව හෝ නො නිම කරන ලද බව හෝ සිවුරක් ලබාගැනීමේ බලාපොරොත්තුව ඇති බව හෝ චීවර පළිබෝධය ය.
“කතමෙ ච භික්ඛවෙ! ද්වෙ කඨිනස්ස පළිබොධා? ආවාසපළිබොධො ච චීවරපළිබොධො ච කථඤ්ච භික්ඛවෙ! ආවාසපළිබෝධො හොති? ඉධ භික්ඛවෙ! භික්ඛු වසති වා යස්මිං ආවාසෙ සාපෙක්ඛා වා පක්කමති පච්චෙස්සති එවං ඛො භික්ඛවෙ! ආවාසපළිබොධො හොති. කථං ච භික්ඛවෙ! චීවරපළිබොධො හොති? ඉධ භික්ඛවෙ! භික්ඛුනො චීවරං අකතං වා හොති විප්පකතං වා චීවරාසා වා අනුපච්ඡින්නා එවං ඛො භික්ඛවෙ! චීවරපළිබොධො හොති. ඉමෙ ඛො භික්ඛවෙ! කඨිනස්ස ද්වෙ පළිබොධා.”
යනුවෙන් කඨිනක්ඛන්ධකයෙහි පළිබෝධ දෙක වදාරා ඇත්තේ ය. කඨිනාස්තර්ය කළ විහාරයේ විසීම ගැන බලාපොරොත්තුව ඇති තාක් ආවාස පළිබෝධය පවතී. විහාරය ගැන අපේක්ෂාව හැර දැමීමෙන් ආවාස පළිබෝධය නැති වේ. සිවුරක් කර ගැනීමේ හෝ ලබාගැනීමේ ආශාව පවත්නා තුරු චීවරපළිබෝධය පවතී. සිවුර කර ගැනීමෙන් හෝ වස්ත්‍රය විනාශ වීමෙන් ද බලාපොරොත්තු වන සිවුර නො ලැබී බලාපොරොත්තු කඩවීමෙන් ද චීවර පළිබෝධය නැති වේ. අට වැදෑරුම් මාතෘකාවන්ගේ වශයෙන් ඉහත කී කඨිනෝද්ධාරයන් වන්නේ මේ පළිබෝධ දෙක සිඳී යාමෙනි. ආවාස පළිබෝධය සිඳ, විහාරයෙන් බැහැර වූ භික්ෂුවට චීවර පළිබෝධය සිඳෙන තුරු කඨිනාස්තරණයේ බලය පවතී. චීවර පළිබෝධය සිඳුණු පසු ඒ බලය කෙළවර වේ. ඉන්පසු ඒ භික්ෂුවට පඤ්චානිසංසය නැත. චීවර පළිබෝධය සිඳී ඇති භික්ෂුවට විහාරය ගැන අපේක්ෂාව හැර දැමීම සමගම කඨිනෝද්ධාරය වේ.