සඞ්ඝාටි, උත්තරාසඞ්ග, අන්තරවාසක යන නම් වලින් එක් භික්ෂුවකට එක් චීවරය බැගින් මිස, එක ජාතියකින් දෙක තුන අධිෂ්ඨාන නො කළ හැකි ය. එබැවින් වැඩි සිවුරු පරිභෝග කරනු කැමතියන් විසින් ඒවා පරිෂ්කාරචෝළ වශයෙන් ඉටිය යුතු ය. එක් සිවුරක් අදිටන් කිරීමේදී “ඉමං චීවරං පරික්ඛාර චොළං අධිට්ඨාමි” යි තුන් වරක් කියා අදිටන් කළ යුතු ය. සිවුරු එකකට වැඩි ගණනක් වේ නම්, සියල්ල එක්කොට තබා “ඉමානි චීවරානි පරික්ඛාර චොළානි අධිට්ඨාමි” යි කිය යුතුය. අත්පසින් බැහැර ඇති සිවුරු අදිටන් කිරීමේදී “එතං චීවරං පරික්ඛාර චොළං අධිට්ඨාමි”යි ද, “එතානි චීවරානි පරික්ඛාර චොළානි අධිට්ඨාමි” යි ද කිය යුතු ය.
“නිට්ඨිතචීවරස්මිං පන භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ, එකරත්තං පි චෙ භික්ඛු තිචීවරෙන විප්පවසෙය්‍ය අඤ්ඤත්‍ර භික්ඛු සම්මුතියා. නිස්සග්ගියං පාචිත්තියං”
යන සිකපදයෙන් ඇවැත් නො වන සැටියට තුන් සිවුර යන යන තැනට ගෙන යමින් පරිහරණය කිරීම අපහසු භික්ෂූන් විසින් සඞ්ඝාටි-උත්තරාසඞ්ග-අන්තරවාසක යන නම්වලින් එකකුදු අදිටන් නො කොට, සියල්ල ම පරික්ඛාර චෝළ නාමයෙන් ම ඉටා ගැනීමෙන් ද වරදක් නොවේ. දැනට බොහෝ භික්ෂූන් සිවුරු පරිහරණය කරන්නේ ඒ ක්‍රමයෙනි.
කොට්ටඋර-ඇතිරිලි ආදි සේනාසන පරිෂ්කාර වන වස්ත්‍ර හැර, දිගින් රියනටත් පුළුලින් වියතටත් කුඩා නො වන, වස්ත්‍ර ජාතිවලින් කවරක් වුවත් අධිෂ්ඨානය හෝ විකප්පනය නො කොට, අකාලයේදී දස දිනකට වඩා තබා ගත හොත් නිසගි පචිති වන බැවින්, ථවික-ලේන්සු අංසකඩ හා තවත් ලැබෙන රෙදි කෑලි සියල්ල ‘පරිෂ්කාර වෝළ’ වශයෙන් ඉටා ගන්නට හෝ විකප්පනය කරගන්නට හෝ පුරුදු කර ගත යුතු ය.