චීවරාධිෂ්ඨානය

“නිට්ඨිතචීවරස්මිං පන භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ දසාහපරමං අතිරෙක චීවරං ධාරෙතබ්බං. තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියං” යනු විනය නීති බැවින් අධිෂ්ඨානය හෝ විකප්පනය හෝ නො කොට සිවුරු තබා ගැනීමට නිදහස ඇති විශේෂ කාල හැර, අන් දිනකදී අතිරේක චීවරයක් දසදිනකට වඩා තබා ගත හොත් නිසගි පචිති වේ. ‘අතිරේක චීවරය ය’ යි කියනුයේ අධිෂ්ඨානය හෝ විකප්පනය නො කළ සිවුරුවලට ය. සංඝාටිය, උත්තරා සඞ්ගය, අන්තර වාසකය, වස්සිකසාටිකය, නිසීදනය, පච්චත්ථරණය, කණ්ඩුපටිච්ඡාදිකය, මුඛපුඤ්ජන චෝළකය, පරික්ඛාර චෝළය යි සිවුරු නවයෙකි. එයින් සඞ්ඝාටි-උත්තරාසඞ්ග-අන්තරවාසක යන තුන ප්‍රධාන ය.

සඞ්ඝාටි යනු දෙපට සිවුරය, උත්තරාසඞ්ග යනු තනිපට සිවුරය, අන්තරවාසික යනු අඳනය ය. ඒවා අධිෂ්ඨාන කරන්නට කලින් පඬු පොවා කප්බින්දු තැබිය යුතු ය. කප්බින්දුව සිවුරේ කොන් සතරෙහි ම හෝ තුනක හෝ දෙකක හෝ එක්කොණක හෝ මොනරකුගේ ඇස් පමණ මහතට නිල් පැහැයෙන් තැබිය යුතු ය. සංඝාටිය “ඉමං සඞ්ඝාටිං අධිට්ඨාමි” කියා ද, උත්තරාසඞ්ගය “ඉමං උත්තරාසඞ්ගං අධිට්ඨාමි” කියා ද, අන්තරවාසකය “ඉමං අන්තරවාසකං අධිට්ඨාමි” කියා ද ඉටාගත යුතු ය. ඒවා අත්පසින් බැහැර තිබියදී අදිටන් කරත හොත් ඇති තැන සලකාගෙන, එතං සඞ්ඝාටිං අධිට්ඨාමි, එතං උත්තරාසඞ්ගං අධිට්ඨාමි, එතං අන්තරවාසකං අධිට්ඨාමි, යි අදිටන් කළ යුතු ය.

සිවුරුවල ප්‍රමාණ

ප්‍රමාණයට වඩා කුඩා වූ හෝ මහත් වූ හෝ සිවුරු සඞ්ඝාටි උත්තරාසඞ්ග අන්තරවාසක යන නම්වලින් නො ඉටිය හැකි ය. අන්තිම පරිච්ඡේදයෙන් සඞ්ඝාටිය හා උත්තරාසඞ්ගය, අදිටන් කරන භික්ෂුවගේ අතින්, දිගින් සතර රියනක් හා මිටි-රියනක් ද, පුළුලින් දෙරියනක් හා මිටි-රියනක් ද තිබිය යුතුය. අන්තරවාසකය දිගින් සතර රියනක් හා මිටි-රියනක් ද පුළුලින් දෙරියනක් ද තිබිය යුතුය. ඒ ප්‍රමාණවලට කුඩා නම් තිචීවරාධිෂ්ඨානයට නො ගත හැකි ය. මහත් වූවාට වරදක් නැත. එහෙත් හැම සිවුරක් ම සුගතචීවරයට වඩා කුඩා විය යුතු ය.

චීවරාධිෂ්ඨානය බිඳීම

පාත්‍රාධිෂ්ඨානය බිඳීමට කී කරුණු නවයෙන් තීචීවරාධිෂ්ඨානය ද බිඳේ. සිදුරු වීමෙන් අධිෂ්ඨානය බිඳෙන්නේ සඞ්ඝාටි උත්තරාසඞ්ග දෙක්හි දිග අතේ දෙ-කෙළවරින් වියතින් මොබ ද, පළල් අතේ දෙ-කෙළවරින් අඟල් අටකින් මොබ ද, සුළඟිලි නිය පිට පමණ වූ ද සිදුරක් වීමෙනි. අන්තරවාසකයෙහි දික් අතේ දෙ-කෙළවරින් වියතකට මොබ ද පළල් අතේ දෙ-කෙළවරින් සතර අඟුලකින් මොබ ද කියන ලද ප්‍රමාණ සිදුරක් වීමෙනි. සිදුරු මැද එක් නූල්-පටකුදු ඉතිරිවී නැති නම් අධිෂ්ඨානය නො බිඳේ. එසේ අධිෂ්ඨාන බිඳුණු චීවරය මසා ප්‍රතිසංස්කරණය කොට දස දිනකින් මොබ නැවත ඉටාගත යුතු ය.