“දසාහපරමං අතිරෙක පත්තො ධාරෙතබ්බො. තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියං” යි වදාරා ඇති බැවින් අතිරේක පාත්‍රය දසදිනකට වඩා කල් තබා ගන්නා භික්ෂුවට නිසගි පචිති වේ. එබැවින් පාත්‍රය අධිෂ්ඨාන හෝ කළ යුතු ය. විකප්පනය හෝ කළ යුතු ය. අතිරේක පාත්‍රය යයි කියනුයේ එසේ නො කළ පාත්‍රය ය. පාත්‍රයක් වශයෙන් අධිෂ්ඨාන කළ යුත්තේ ද ඉතා කුඩා ද නො වූ, ඉතා මහත් ද නො වූ පරිභෝගයට සුදුසු වන සැටියට මට්ටම් කොට වර්ණවත් කළ පාත්‍රය යි. එසේ නො වන පාත්‍රය භාජනයක් හැටියට පාවිච්චි කිරීමෙන් වරදක් නො වේ.
උපසම්පදාවට ගත් පාත්‍රය දස දිනක් ඇතුළත අධිෂ්ඨාන කරගත යුතු ය. එක් පාත්‍රයක් අධිෂ්ඨාන කරගෙන ඉන්නා අතර අලුත් පාත්‍රයක් අධිෂ්ඨාන කර ගන්නට ඕනෑකරත හොත්, එක් භික්ෂුවකට පාත්‍ර දෙකක් නො ඉටිය හැකි බැවින් පරණ පාත්‍රය අනිකකුට හෝ දිය යුතු ය, පච්චුද්ධරණය හෝ කළ යුතු ය. පච්චුද්ධරණය කිරීමේදී පාත්‍රය ළඟ තිබේ නම්, එය අතට ගෙන හෝ අතින් ස්පර්ශ කරගෙන හෝ “ඉමං පත්තං පච්චුද්ධරාමි” යි තෙවරක් කිය යුතු ය. පාත්‍රය දුර තිබේ නම්, ඇති තැන සලකා ගෙන “එතං පත්තං පච්චුද්ධරාමි” යි තෙවරක් කිය යුතු ය. අධිෂ්ඨාන කිරීමේදී පාත්‍රය ළඟ තිබේ නම්, “ඉමං පත්තං අධිට්ඨාමි” යි ද, දුර තිබේ නම් ඇති තැන සලකා ගෙන, එතං පත්තං අධිට්ඨාමි, යි ද තෙවරක් කිය යුතු ය.
අධිෂ්ඨානය බිඳීම
“අච්ඡේද දාන ගාහෙහි-විබ්භමා මරණුද්ධටා
ලිඞ්ග සික්ඛාහි ඡිද්දෙසු-පත්තොධිට්ඨාන මුජ්ඣති.”
යනුවෙන් දැක්වෙන පරිදි සොරුන් විසින් පැහැර ගැනීමය, අනුන්ට දීමය, විශ්වාසිකයන් විසින් ගැනීමය, සිවුරු හැරීමය, මරණයට පැමිණීමය, පච්චුද්ධරණය කිරීමය, ලිඞ්ග පරිවර්තනය වීමය, උපසම්පදාව ප්‍රතික්ෂේප කිරීමය, බත්හුළු පිට වෙන තරමට සිදුරුවීමය යන කරුණු නවයෙන් පාත්‍රාධිෂ්ඨානය අභාවයට යේ. සිදුරු වීමෙන් අධිෂ්ඨානය බිඳුණු කල්හි පිළියම් කර නැවත අදිටන් කළ යුතු ය. එසේ නො කළ හොත් දසදින ඉක්මීමෙන් නිසගි පචිති වේ.
පාත්‍රවිකප්පනය
එක් පාත්‍රයක් අධිෂ්ඨාන කර-ගෙන වෙසෙන භික්ෂුව තවත් පාත්‍ර ලැබී ඒවාත් තමාගේ අයිතියෙහි තබා ගනු කැමති නම්, විකප්පනය කොට තබා ගත යුතු ය. නිකම්ම තබා ගත හොත් දස දින ඉක්මීමෙන් නිසගි පචිති වේ. විකප්පනය කළ යුත්තේ මෙසේය. පාත්‍රය ව්‍යක්ත භික්ෂුවක් වෙත ගෙන ගොස්, උක්කුටිකයෙන් හිඳ, “ඉමං පත්තං තුය්හං විකප්පෙමි” යන වැකිය තෙවරක් කියා ඒ භික්ෂුවට දිය යුතු ය. විකප්පනය යනු දීමක් හෝ පූජාවක් නොව, විනය කර්මයකි. එබැවින් ඒ භික්ෂුව විසින් “මය්හං සන්තකං පරිභුඤ්ජ වා විස්සජ්ජෙහි වා යථාපච්චයං කරොහි” යන වැකිය තුන්වරක් කියා ආපසු දිය යුතු ය. එසේ කිරීමට පච්චුද්ධාරය යි කියනු ලැබේ.
පච්චුද්ධාරයෙන් පසු ඒ පාත්‍රය කැමති කලක් තබා ගැනීමෙන් හා පරිභෝග කිරීමෙන් ද ඇවැත් නො වේ. වැඩි ගණනක් පාත්‍ර විකප්පනය කිරීමේදී “ඉමෙ පත්තෙ තුය්හං විකප්පෙමි” යි ද පච්චුද්ධාරයේ දී “මය්හං සන්තකෙ පරිභූඤ්ජ වා විස්සජ්ජෙහි වා යථා පච්චයං කරොහි” යි ද කිය යුතු ය. විකප්පනය කිරීමට පාත්‍රය සමීපයෙහි නැති නම්, මාගේ පාත්‍රය අසවල් තැන ඇත ය යි අනික් භික්ෂුවට කියා, තිබෙන තැන සලකාගෙන “එතං පත්තං තුය්හං විකප්පෙමි” යි ද, පාත්‍ර බොහෝ නම් “එතෙ පත්තෙ තුය්හං විකප්පෙමි” යි ද කියනු.
පාත්‍රයේ ප්‍රමාණය
“තයො පත්තස්ස වණ්ණා උක්කට්ඨො පත්තො මජ්ඣිමො පත්තො ඔමකො පත්තො. උක්කට්ඨො නාම පත්තො අඩ්ඪාළ්හකොදනං ගණ්හාති. චතුභාගං ඛාදනං තදුපියං ච ව්‍යඤ්ජනං. මජ්ඣිමො නාම පත්තො නාලිකොදනං ගණ්හාති. චතුභාගං ඛාදනං තදුපියං ච ව්‍යඤ්ජනං. ඔමකො නාම පත්තො පත්ථොදනං ගණ්හාති. චතුභාගං ඛාදනං තදුපියං ච ව්‍යඤ්ජනං” මෙය පාරාජිකාපාළියෙහි පාත්‍රයේ ප්‍රමාණය දැක්වුණු පාඨයෙකි.
මේ විනය දේශනයෙන් උත්කෘෂ්ට පාත්‍රයය, මධ්‍යම පාත්‍රයය, ඕමක පාත්‍රය යයි පාත්‍ර තුනක් දැක්වේ. උත්කෘෂ්ට පාත්‍රය නම්:- එකල මගධ-රට භාවිත කළ නැළියෙන් සහල් දෙ නැළියකින් මැනවින් පිසූ බත හා ඒ බතින් සතරෙන් කොටසක් පමණ වූ අතට ගත හැකි පදමට පිසූ මුංඇට මාළුව ද, ඒ බතට ප්‍රමාණ වන අනිකුත් ව්‍යඤ්ජන ද යන සියල්ල බහා-ලිය හැකි පාත්‍රය ය. මධ්‍යම පාත්‍රය නම්:- මගධ නැළියෙන් එක් නැළියක සහලින් පිසූ බත හා එයින් සතරෙන් කොටසක් මුංඇට මාළුව ද, ඒ බතට සෑහෙන අනිකුත් ව්‍යඤ්ජන ද බහා-ලිය හැකි පාත්‍රය ය. ඕමක පාත්‍රය නම්:- මගධ නැළියෙන් අඩක් සහලින් පිසූ බත හා එයින් සතරෙන් කොටසක් මුංඇට මාළුවත් අනිකුත් ව්‍යඤ්ජනත් බහා-ලියා හැකි පාත්‍රය ය.
මගධ නැළියෙන් දෙ නැළියක බත හා එයින් සතරෙන් කොටසක් මුංඇට මාළුවත් අනිත් ව්‍යඤ්ජනත් බහා-ලූ කල්හි පාත්‍ර ගැටියේ යටි මට්ටමෙනුත් පහළින් සිටී නම්, ඒ පාත්‍රය උත්කෘෂ්ට පාත්‍රයට මහත් බැවින් අපාත්‍රයෙකි. ඕමක පාත්‍රයට නියමිත ආහාර රාසිය බහා-ලූ කල්හි ගැටියෙන් උඩටත් ආහාර මතු වී සිටින පාත්‍රය, ඉතා කුඩා බැවින් අධිෂ්ඨානයට අයෝග්‍යය ය, එය ද අපාත්‍රයෙකි. විනය අටුවාවෙහි උත්කෘෂ්ටෝත්කෘෂ්ටය, උත්කෘෂ්ට ය, උත්කෘෂ්ටෞමක ය, මධ්‍යමෝත්කෘෂ්ටය, මධ්‍යමය, මධ්‍යමෞමකය, ඕමකෝත්කෘෂ්ටය, ඕමකය, ඕමකෞමකය යි පාත්‍ර නවයක් දක්වා උත්කෘෂ්ටෝකෘෂ්ට පාත්‍රය හා ඕමකෞමක පාත්‍රය අපාත්‍රය යි ද, ඉතිරි සත අධිෂ්ඨානයට යෝග්‍ය පාත්‍රයයි ද කියා තිබේ.
මගධ නැළිය ගැන නොයෙක් මත තිබේ. එය සාමාන්‍යයෙන් දැනට මෙහි භාවිත කරන සේරුව තරමේ එකකැයි සිතිය හැකි ය.
“අනුජානාමි භික්ඛවෙ! ද්වෙ පත්තෙ අයොපත්තං මත්තිකාපත්තං” යි වදාරන ලද යකඩ පාත්‍රය හා මැටි පාත්‍රයක් හැර, අනික් පාත්‍රයක් අධිෂ්ඨානයට නුසුදුසු බව ද සැලකිය යුතු ය.