සඞ්ඝයාට ලැබෙන සිවුරු භාණ්ඩාගාරයෙහි එකතු කර තබන්නේ, බෙදා දීමට සෑහෙන තරමට රැස්වූ කල්හි, සඞ්ඝයාට බෙදා දීමට ය. භාණ්ඩාගාරයෙහි සිවුරු බොහෝ වූ බව භික්ෂූහු තථාගතයන් වහන්සේට සැලකළහ. එකල්හි තථාගතයන් වහන්සේ “අනුජානාමි භික්ඛවෙ! සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතුං” යනුවෙන් උපචාරසීමාවට රැස්වූ සඞ්ඝයා විසින් බෙදා ගන්නට අනුදැන වදාළ සේක. ඒවා බෙදීමේදී, අපගේ උපාධ්‍යායයන්ට දෙන්නය, ආචාර්යයන්ට දෙන්නය, යනාදීන් බොහෝ ශබ්ද නගන්නට වූහ. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි, සිවුරු බෙදන්නට පඤ්චාඞ්ගයෙන් යුක්ත භික්ෂුවක් සම්මත කර ගන්නට අනුදැන වදාළ සේක. චීවර භාජකයාගේ පඤ්චාඞ්ගය නම්: ඡන්දයෙන් අගතියට නො යන බව ය, ද්වේෂයෙන් අගතියට නො යන බවය, මෝහයෙන් අගතියට නොයන බවය, භයින් අගතියට නො යන බවය, බෙදූ නො බෙදූ දෑ දැන ගැනීමෙහි සමත් බවය යන මේ කරුණු පස ය.
සම්මත කරන කර්ම වාක්‍යය.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං චීවරභාජකං සම්මන්නෙය්‍ය. එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (තිස්සං) භික්ඛුං චීවරභාජකං සම්මන්නති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො චීවරභාජකස්ස සම්මුති. සො තුණ්හස්ස. යස්ස නික්ඛමති, සො භාසෙය්‍ය.
සම්මතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු චීවරභාජකො. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.
චීවරභාජක භික්ෂූන්ට “සිවුරු බෙදිය යුත්තේ කෙසේ ද?” යන අදහස ඇති විය. ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ කල්හි, “අනුජානාමි භික්ඛවෙ! පඨමං උච්චිනිත්‍වා තුලයිත්‍වා වණ්ණාවණ්ණං කත්‍වා භික්ඛු ගණෙත්වා වග්ගං බන්ධිත්වා චීවරපටිවිංසං ඨපෙතුං” යනුවෙන් “මහණෙනි! පළමු කොට සිවුරු තෝරා වටිනාකම බලා, වටිනාකම අඩු ඒවාට තවත් දේ එක් කිරීමෙන් වටිනාකම සම කොට, භික්ෂූන් ගැන, වර්ග කොට, සිවුරු කොටස් තබන්නට අනු දනිමි’ යි වදාළ සේක. බොහෝ දෙනා විසින් වෙන වෙන ම ගෙනැවිත් පිදූ සිවුරු අතර හොඳ-නරක වටිනාකම අඩු-වැඩි ඒවා ඇත්තේ ය. එබැවින් සිවුරු පරීක්ෂා කර, වටිනාකම අඩු සිවුරුවලට තවත් සිවුරු එක් කොට සිවුරු කොටස් වෙන් කළ යුතු ය. සිවුරු බෙදීමට භික්ෂූන් වර්ග කළ යුත්තේ, වෙන වෙන ම බෙදා දීමට අපහසු වන තරමට භික්ෂූන් වැඩි වුව හොත් ය. භික්ෂූන් බොහෝ වෙත් නම්, දස නම බැගින් හෝ සතර නම පස් නම බැගින් හෝ භික්ෂූන් වර්ග කොට වර්ග ගණනට සිවුරු කොටස් වෙන් කොට කුසපාතනය කොට ඒවා බෙදා දිය යුතු ය. ඒ ඒ වර්ගවල භික්ෂූන් විසින් නැවත ඒවා කොටස්වලට බෙදා කුසපාතනය කොට බෙදා ගත යුතු ය. මේ සිවුරු බෙදාගන්නා ක්‍රමය ය.