ඇතැම් භික්ෂූහු පාමොක් උදෙසන කල්හි සැලකිල්ලෙන් නො අසා පසුව වරද කොට “මෙය වරදක් බව-මෙයට ඇවතත් ඇති බව-අපි කලින් දැන නො සිටියෙමුය, මෙබඳු සිකපදයක් ඇති බව අප දැන ගත්තේ දැන්ය’යි කියමින් කළ වරද නො දැනීමෙන් කළ එකක් බව සඞ්ඝයාට ඇඟවීමට උත්සාහ කරති. මෝහාරෝපන කර්මය එසේ කරන භික්ෂූන් හික්මවීම සඳහා නියමිත කර්මයෙකි.
සිකපද, නො දැනීම ඇවතින් මිදීමට කරුණක් නො වේ. එබැවින් කලින් දැන නො සිටීමෙන් වරද කළ බව කියන භික්ෂුව ලවා සිදු වූ ඇවැත දෙසවා, ඒ භික්ෂුව කලින් දෙතුන් වරක්වත් පාමොක් ඇසීමට පැමිණි බව භික්ෂූහු දනිත් නම්, වරද කළ භික්ෂුවට මෝහාරෝපන කර්මය කළ යුතුය.
එය කරන කර්ම වාක්‍යය මෙසේ ය.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (තිස්සො) භික්ඛු පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ න සාධුකං අට්ටිකත්‍වා මනසිකරොති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො මොහං ආරොපෙය්‍ය. එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ න සාධුකං අට්ටිකත්‍වා මනසිකරොති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො මොහං ආරොපෙති. යස්සායස්මතො ඛමති. (තිස්සස්ස) භික්ඛුනො මොහස්ස ආරොපනා. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.
ආරොපිතො සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො මොහො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.
මේ කර්මය කළ පසුත් සිකපදය නො දත් බව කියන භික්ෂුවට පචිති ඇවැත් වේ.