පැවිදි කළහොත් පැවිද්ද පිහිටන පැවිදි නො කළ යුතු පුද්ගලයෝ.

star_outline

“න භික්ඛවෙ! අනනුඤ්ඤාතො මාතා පිතූහි පුත්තො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනු විනය ප්‍රඥප්ති බැවින් මා පියන් විසින් නො අනුදත් කුල පුත්‍රයන් පැවිදි නො කළ යුතු ය. වරක් මා පියන්ගේ අනුදැනීම ලැබ පැවිදි වූ තැනැත්තා සිවුරු හැර ගොස් නැවත පැවිදි වීමට පැමිණියේ ද, නැවතත් මාපියන් ගේ අනුදැනීම නො ලබා පැවිදි නො කළ යුතු ය. යම් කිසි දරුවකු “මොහු නුඹවහන්සේලාටම භාර කරමිය, නුඹවහන්සේලා කැමති විටෙක මොහු පැවිදි කරන්නට ය” කියා මා පියන් විසින් භාරකරන ලද්දේ වේ නම්, කොතෙක් වර සිවුරු හැර ගියේ ද ආ ආ විට මා පියන් නො විචාරා ඒ දරුවා පැවිදි කළ යුතු ය. මා පියන් හා කලහකොට විහාරයට අවුත් පැවිද්ද ඉල්ලා සිටින කෙනකුට මා පියන්ගේ අවසරය ඉල්ලා ගෙන එන්නට ය යි කී කල්හි හේ “මම මා පියන් වෙත නො යමි, මා පැවිදි නො කළහොත් ජීවිතය හෝ නසා ගන්නෙමි, නුඹ වහන්සේලාට හෝ අනර්ථයක් කරමි” යි කියා නම් ඔහුගේ ආරක්ෂාව පිණිස පැවිදි කරන්නට වටනේ ය. එසේ පැවිදි කරනු ලැබූවකු ගැන ඔහුගේ මා පියන් අවුත් විචාළ හොත් කාරණය ඔවුනට දැන්විය යුතු ය.

“න භික්ඛවෙ! පඤ්චහි ආබාධෙහි පුට්ඨො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනු විනය ප්‍රඥප්ති බැවින් පඤ්චාබාධයන් අතුරෙන් යම් කිසි ආබාධයක් ඇතියෙකු පැවිදි නො කළයුතු ය. පඤ්චාබාධයෝ නම්, කුට්ඨ, ගණ්ඩ, කිලාස, සෝස, අපමාර යන නම්වලින් කියන ආබාධයෝ ය.

කුට්ඨ’ යනු රතුලප, කළුලප, දද ආදි සමහෙි හට ගන්නා රෝගයෝ ය. සුළඟිල්ලේ නිය පිට තරම් වූ ද වර්ධනය වන පක්ෂයෙහි සිටි කුෂ්ඨයක් ඇතියෙකු පැවිදි නො කළ යුතු ය. සිවුරුවලට වැසෙන තැනක සුව වන අතර හැරී ඇති නිය පිට පමණක් කුඩා කුෂ්ඨයක් ඇති තැනැත්තා පැවිදි කිරීම සුදුසු ය. කුෂ්ඨ රෝගියෙකුට පිළියම් කරවා පැවිදි කිරීමෙහිදී ද සමේ ප්‍රකෘති පැහැය ඇති වූ කල්හිම පැවිදි කළ යුතු ය. ගොයෙකුගේ පිටෙහි සේ අලු මතුවන ශරීරය ඇතියේ ද පැවිදි නො කළ යුතුය යි විනය අටුවාවෙහි කියා ඇත්තේ ය.

ගණ්ඩ’ යනු දොඹගෙඩි-දෙහිගෙඩි සේ ශරීරයෙහි ඒ ඒ තැන හටගන්නා වූ නො පැසෙන්නා වූ ගෙඩි ය. ඒවාට වායු ගෙඩි යයි ද සමහරු කියති. ඩෙබර ගෙඩියක් පමණ වූ ද වැඩෙන ගෙඩියක් ඇති තැනැත්තා පැවිදි නො කළ යුතු ය. ඩෙබර ගෙඩියක් පමණ කුඩා වූ නො වැඩෙන ගෙඩියක් වැසෙන තැනක ඇති තැනැත්තේ පැවිදි කරන්නට වටනේ ය. මුහුණ ආදි නො වැසෙන තැනක නො වැඩෙන ගෙඩි ඇත්තේ ද පැවිදි නො කළ යුතු ය. ගෙඩිවලට පිළියම් කොට පැවිදි කිරීමෙහිදී ද, සම ප්‍රකෘතිමත් වූවට පසුවම පැවිදි කළ යුතු ය. වණය තිබියදී නො පැවිදි කළ යුතු ය.

කිලාස’ යනු රත්-පියුම්, හෙළ-පියුම් පෙති පැහැයට සමෙහි හටගන්නා වියලි කුෂ්ඨ විශේෂයකි. දැනට බොහෝ සෙයින් දක්නට ලැබෙන සුදු කබර රෝගය කිලාසය ය. මේ රෝගය ඇතියන් ගැන ද කුෂ්ඨ රෝගීන්ට කී පරිදි පිළිපැදිය යුතු යි.

සෝස’ යනු දින්‍නේ දින මඳින් මඳ ශරීරය ගෙවා වියලවා රෝගියා මරුමුවට පමුණුවන ක්ෂය රෝගය ය.

අපමාර’ යනු මිනිසා සිටි සැටියේ ම සිහිසන් නැති වී බිම ඇද වැටී, සමහර විට මුවින් සෙම හා ලේ ද පෙරමින් දඟලන බිම සැපෙන අපස්මාර රෝගය ය. එය යක්ෂ රෝගයකැ යි කියති.

“න භික්ඛවෙ! රාජභටො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්‍ය, ආපත්ති දුක්කටස්ස” යනු විනය ප්‍රඥප්ති බැවින් රාජභටයා පැවිදි නො කළ යුතු ය. යම් කිසි කාර්යයක් කිරීම ගැන රජකෙනකු ගෙන් හෝ රජයකින් හෝ වැටුප් ලබමින් සිටින තැනැත්තා ‘රාජභට’ නම් වේ. ඒ අය රස්සාවෙන් අස් වූ පසු පැවිදි කිරීම වටනේ ය.

“න භික්ඛවෙ! ධජබන්ධො චොරො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යි වදාළ බැවින් බරපතල සොරකම් කරන ප්‍රසිද්ධ සොරා පැවිදි නො කළ යුතු ය. කලින් ප්‍රසිද්ධ සොරකු ව සිට පසුව එය අත්-හැර සුමගට බැස සිටින, මහජනයා ද ඒ බව දන්නා තැනැත්තා පැවිද්දට සුදුසු ය. සමහර විට සුළු සුළු සොරකම් කළත් සොරකු වශයෙන් ප්‍රසිද්ධියක් නැති තැනැත්තාට පැවිද්ද දිය යුතු ය.

“න භික්ඛවෙ! කාරභෙදකො චොරො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනු විනය නීති බැවින් බන්ධනයෙන් පලා-ගිය සොරා ද පැවිදි නො කළ යුතු ය. සිරගෙයකින් පලාගිය තැනැත්තාය, තැනකින් තැනකට ගෙන යාමේදී ආරක්ෂක පුරුෂයන් අතින් පළා-ගිය තැනැත්තාය, මේ පෙදෙසින් පිට නො යා යුතුය යි නියමයක් කර තිබියදී ඒ පෙදෙසින් පලා-ගිය තැනැත්තා ය යන සැම දෙනාම පැවිදි කිරීමට නුසුදුස්සෝ ය. දැහැමින් ජීවත් වෙමින් සිටියදී අනුන්ගේ කේලාම් කීම නිසා බන්ධනයට හසු වී එයින් පළා-ගිය තැනැත්තා ඒ පෙදෙසේ ම පැවිදි නො කළ යුතු ය. ඔහු අන් පෙදෙසකදී පැවිදි කළ හැකි ය.

“න භික්ඛවෙ! ලිඛිතකො චොරො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනු විනය නීති බැවින් ඇල්ලීම සඳහා හෝ දඬුවම් කරනු සඳහා රජයෙහි ලියා ඇති සොරා පැවිදි නො කළ යුතු ය.

“න භික්ඛවෙ! කසාහතො කතදණ්ඩකම්මො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනු විනය නීති බැවින් කසයෙන් හෝ අනිකකින් හෝ දඬුවම් පිණිස තළනු ලැබූ තැනැත්තා පැවිදි නො කළ යුතු ය. කී දේ නො කිරීම නිසා තළනු ලැබූ තැනැත්තා පැවිදි කළ හැකි ය. පැවිදි නො කළ යුත්තේ බදු නො ගෙවීම්, ණය නො ගෙවීම් ආදියට දඬුවම් වශයෙන් තළනු ලැබූ තැනැත්තාය. ඒ තැනැත්තා වුව ද තුවාල සුව වීමෙන් පසු පැවිද්ද ලැබීමට නිසි ය.

“න භික්ඛවෙ! ලක්ඛණාහතො කතදණ්ඩකම්මො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනු විනය නීති හෙයින් දඬුවම් වශයෙන් පිලිස්සීම් ආදියෙන් ශරීරයේ ලකුණු තබා ඇති තැනැත්තා පැවිදි නො කළ යුතු ය. ලකුණු තබා ඇති තැනැත්තා නිදහස් පුද්ගලයකු වේ නම්, තුවාල සුව වී වණ කැලැල් මැකී ගිය පසු පැවිදි කළ හැකි ය. තෙමඩුළු වසා සිවුරු පෙරවූ කල්හි නො පෙනෙන තැන්වල කැලැල් ඇති තැනැත්තා ද පැවිදි කළ හැකි ය.

“න භික්ඛවෙ! ඉණායිකො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනු වදාළ බැවින් ණය කාරයන් පැවිදි නො කළ යුතු ය. පැවිදි වන තැනැත්තා ගේ ණය ගෙවීමට ඔහුගේ නෑයෙක් හෝ දායකයෙක් හෝ බාර ගනී නම් පැවිදි කළ හැකි ය. ණය ගෙවීමට ධනයක් ගුරුවරයා වෙත තිබේ නම්, ණය හිමියන්ට ඒවා දී නිදහස් කරගන්නා අටියෙන් ණයකාරයා පැවිදි කළ හැකි ය. පසුව ධනය සපයා ණය ගෙවන්නට සිතා පැවිදි නො කළ යුතු ය. ණයකාරයකු බව නො දැන පැවිදි කිරීමෙන් ගුරුවරයාට ඇවැත් නො වේ.

“න භික්ඛවෙ! දාසො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනු වදාළ බැවින් දාසයා ද පැවිදි නො කළ යුතු ය. මෙකල දාසයන් නො මැති බැවින් මේ ගැන විස්තරයක් නො කරනු ලැබේ. අටුවාවෙහි මෙය ගැන විශාල විස්තරයක් ඇත්තේ ය.

පැවිදි නො කළ යුත්තෝ දෙතිස් දෙනෙක්.

“න භික්ඛවෙ! හත්ථච්ඡින්නො පබ්බාජෙතබ්බො. න පාදච්ඡින්නො පබ්බාජෙතබ්බො. න හත්ථපාදච්ඡින්නො පබ්බාජෙතබ්බො. න කණ්ණච්ඡින්නො පබ්බාජෙතබ්බො. න කාසච්ඡින්නො පබ්බාජෙතබ්බො. නකණ්ණනාසච්ඡින්නො පබ්බාජෙතබ්බො. න අඞ්ගුලිච්ඡින්නො පබ්බාජෙතබ්බො. න අලච්ඡින්නො පබ්බාජෙතබ්බො. න කණ්ඩරච්ඡින්නො පබ්බාජෙතබ්බො. න ඵණහත්ථො පබ්බාජෙතබ්බො. න ඛුජ්ජො පබ්බාජෙතබ්බො. න වාමනො පබ්බාජෙතබ්බො. න ගලගණ්ඩි පබ්බාජෙතබ්බො. න ලක්ඛණාහතො පබ්බාජෙතබ්බො. න කසාහතො පබ්බාජෙතබ්බො. න ලිඛිතකො පබ්බාජෙතබ්බො. න සීපදි පබ්බාජෙතබ්බො. න පාපරොගි පබ්බාජෙතබ්බො. න පරිසදූසකො පබ්බාජෙතබ්බො. න කාණො පබ්බාජෙතබ්බො. න කුණි පබ්බාජෙතබ්බො. න බඤ්ජො පබ්බාජෙතබ්බො. න පක්ඛහතො පබ්බාජෙතබ්බො. න ඡින්නිරියාපථො පබ්බාජෙතබ්බො. න ජරාදුබ්බලො පබ්බාජෙතබ්බො. න අන්ධො පබ්බාජෙතබ්බො. න මූගො පබ්බාජෙතබ්බො. න බධිරො පබ්බාජෙතබ්බො. න අන්ධමූගො පබ්බාජෙතබ්බො. න අන්ධබධිරො පබ්බාජෙතබ්බො. න මුගබධිරො පබ්බාජෙතබ්බො. න අන්ධමුගබධිරො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.

තථාගතයන් වහන්සේ විසින් විනයෙහි මෙසේ වදාරා ඇති බැවින් අත් සුන් තැනැත්තාය, පා සුන් තැනැත්තාය, අත්-පා සුන් තැනැත්තාය, කන් සුන් තැනැත්තාය, නාස් සුන් තැනැත්තාය, කන් නාස් සුන් තැනැත්තාය, මහ ඇඟිලි සුන් තැනැත්තාය, සුළඟිලි සුන් තැනැත්තාය, මහ නහර සුන් තැනැත්තාය, පෙණ අත් ඇතියාය, කුදාය, අඟුටුමිට්ටාය, ගෙළෙහි ගෙඩි ඇති තැනැත්තාය, දඬුවම් පිණිස කළ ලකුණු ශරීරයෙහි ඇති තැනැත්තාය, කසයෙන් තැළූ ලකුණු ඇති තැනැත්තාය, අපරාධ කාරයකු වශයෙන් රජයේ ලියා ඇති තැනැත්තාය, බරවා රෝගය ඇති තැනැත්තාය, පාපරෝග ඇති තැනැත්තාය, පරිසදූසකයාය, කුණාය, කුදාය, කොරාය, ශරීරයෙන් පක්ෂයක් පණ නැති තැනැත්තාය, පිළාය, ජරා දුර්වලයාය, අන්ධයාය, ගොලුවාය, බිහිරාය, අන්ධ ගොලුවාය, අන්ධ බිහිරාය, ගොලු බිහිරාය, අන්ධ ගොලු බිහිරාය යන මොවුහු පැවිදි නො කළ යුත්තාහුය. පැවිදි කළ හොත් ගුරුවරයාට දුකුළා ඇවැත් වේ.

නියෙන් මඳක්වත් ඉතිරි වන ලෙස ඇඟිලි අග පමණක් සුන් තැනැත්තා පැවිදි කළ හැකි ය. නිය ඉතිරි නො වන පරිදි එක ඇඟිල්ලක් වුවද සුන් තැනැත්තා පැවිදි නො කළ යුතු ය.

මහ නහර සුන් තැනැත්තාය යනු නහර සිඳී යාම නිසා පතුල සම්පූර්ණයෙන් බිම තැබිය නො හී, ඇඟිලි අග පමණක් හෝ විළුඹ පමණක් හෝ බිම තබමින් ගමන් කරන තැනැත්තා ය.

පෙණ අත් ඇතියාය යි කියනුයේ ඒකාබද්ධ ඇඟිලි ඇති තැනැත්තා ය.

පාප රෝගියා යනු ඇදුම-අර්ශස්-භගන්‍දරා-කාස ආදි යම් කිසි රෝගයකින් පෙළෙන, ජනයා විසින් පිළිකුල් කරන තැනැත්තා ය.

පරිසදූසකාය කියනුයේ විරූපත්වයෙන් පිරිස කැත කරන තැනැත්තා ය. අන්‍යයන්ගේ හිස් තමන් ගේ තුනටිය තරමට සිටින ඉතා උස් පුද්ගලයෝ ය, භෛරව රූප බඳු ඉතා මිටි පුද්ගලයෝය, දැවුණු කොටයක් බඳු ඉතා කළු පුද්ගලයෝය, සුණු බිත්තියක් බඳු ඉතා සුදු පුද්ගලයෝ ය, ඇට සම පමණක් ඇති සේ පෙනෙන ලේ මස් ඉතා මඳ ප්‍රේතයන් බඳු ඉතා කෘශ ශරීර ඇත්තෝය, පරිහරණය කිරීමට දුෂ්කර වන තරමට ඉතා ස්ථුල ශරීර ඇත්තෝය, පිශාචයන්ට බඳු මහෝදර ඇත්තෝය, ඔසවා සිටිය නො හෙන පමණට මහත් හිස් ඇත්තෝය යනාදීහු පරිසදූසකයෝ ය. පරිසදූසකයන් ගැන දීර්ඝ විස්තරයක් විනය අටුවාවෙහි ඇත්තේ ය. පරිසදූසකයන් බොහෝ දෙනකුන් එහි දක්වා ඇත්තේ ය.