වත් පුරන භික්ෂූන්ගේ ප්‍රතිපත්ති ක්‍රමය.

පිරිවෙස් හා මානත් පුරන භික්ෂූන් විසින් පිළිපැදිය යුතු කරුණු රාශියකි. ඒවායින් සමහරක් කඩවීමෙන් රත්තිච්ඡේදය හා දුකුළා ඇවැත් වේ. සමහරක් කඩ කිරීමෙන් දුකුළා ඇවැත් පමණක් වේ. ඒවායින් වඩාත් සැලකිය යුත්තේ රත්තිච්ඡේදය වන කරුණු ය. වත් පිරුයේ ද නො දැන වුවද රත්තිච්ඡේදය වීමෙන් දින සම්පූර්ණ නො වී අබ්භාන කරන ලදුයේ ද ශුද්ධියට නො පැමිණේ. එබැවින් රත්තිච්ඡේදය නො වීමට විශේෂයෙන් පරෙස්සම් විය යුතු ය.

“තයො ඛො උපාලි! පාරිවාසිකස්ස භික්ඛුනො රත්තිච්ඡේද සහවාසො. විප්පවාසො. අනාරොචනා ඉමෙ ඛො උපාලි! තයො පාරිවාසිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා”

යනුවෙන් සහවාසයය, විප්පවාසයය, අනාරෝචනය යි පාරිවාසික භික්ෂුවට රත්තිච්ඡේදය වන කරුණු තුනක් චූලවග්ගපාළියෙහි වදාරා තිබේ. ‘සහවාසය’ යනු ප්‍රකෘති භික්ෂුවක් සමග හෝ වත්මානත් පුරන භික්ෂුවක් සමග හෝ එක් ගෙයක එක් පියැස්සක් යට ශයනය කිරීම ය. ශයනය කිරීමය යනු නින්ද යාම ම නො වන බව ද සැලකිය යුතු ය. නින්ද ගියේ හෝ වේවා නො ගියෝ හෝ වේවා නිදන ඉරියව්වෙන් විසීම ම මෙහි අදහස් කරන ශයනය ය. වාඩි වී කණුවකට හෝ බිත්තියකට හෝ හේත්තු වී සිටීමේදී නින්ද ගියේ ද ශයනය කෙළේ නො වේ. භික්ෂූන් දෙනමක් එක් ගෙයක වෙසෙන කල්හි එක නමක් ශයනය කරද්දී අනෙක් නම අන් ඉරියවුවකින් විසුවහොත් රත්තිච්ඡේදය නො වේ. දෙදෙනා ම එකවර ශයනය කළහොත් රත්තිච්ඡේදය වේ. දෙදෙනා ම පිරිවෙස් පුරන්නෝ වෙත් නම්, දෙදෙනාට ම රත්තිච්ඡේදය වේ. වත් සමාදන් වූ භික්ෂුවක් ශයනය කරන ගෙට ඒ නමගේ දැනුමක් නැතිව අන් භික්ෂුවක් රාත්‍රියේ වැද, ශයනය කෙළේ ද පාරිවාසිකයාට රත්තිච්ඡේදය වේ. නො දන්නා බැවින් ඇවැත් නො වේ.

විප්පවාසය’ යනු භික්ෂූන්ගෙන් වෙන්ව භික්ෂූන් නැති තැනක අරුණ ඉක්මවීමය. ‘අනාරෝචනය’ යනු භික්ෂුවක් දැක හෝ භික්ෂුවකගේ හඬ අසා හෝ ආරෝචනය නො කිරීම ය. ගඟකින් මෙතෙර සිටින පාරිවාසික භික්ෂුවක් විසින් ගඟින් එතෙර භික්ෂුවක් දුට ද ආරෝචනය කර ගත නො හැකි වීනම් රත්තිච්ඡේදය වේ.

“චත්තාරො ඛො උපාලි! මානත්තචාරිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා, සහවාසො, විප්පවාසො, අනාරොචනා, ඌනෙ ගණෙ චරණං. ඉමෙ ඛො උපාලි! චත්තාරො මානත්තචාරී කස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා”

යනුවෙන් සහවාසයය, විප්පවාසයය, අනාරෝචනය ය, අඩු පිරිසෙහි මානත පිරීමය යන කරුණු සතර මානත් පුරන භික්ෂුවගේ රත්තිච්ඡේද කාරණ වශයෙන් වදාරා තිබේ. අඩු පිරිසෙහි මානත පිරීමය යනු සතර නමකට අඩු පිරිසෙහි මානත පිරීම ය.

පාරිවාසිකයා විසින් ද, මානත් පුරන්නා විසින් ද වත්-මානත් සමාදන්ව සිටින කාලය තුලදී තමා උපාධ්‍යාය වී උපසම්පදා නො කළ යුතු ය. කර්මවාක්‍යය හෝ නො කිය යුතු ය. ඒවා කළ යුතු ම අවස්ථාවක් පැමිණියහොත් වත නික්ෂේප කොට කළ යුතුය. නිස නො දිය යුතු ය. තමාගෙන් නිස සමාදන් වී සිටින අන්තේවාසිකයෝ වෙත් නම්, “මම විනය කර්මයක් කරමිය. මා හට වත් නො කළ යුතු ය. ගම්වැදීම් ආදිය සඳහා මගෙන් නො විචාළ යුතු ය” යි ඒ භික්ෂූන්ට කිය යුතු ය. සාමණේරයන්ට ද උපාධ්‍යාය නො විය යුතු ය. කලින් තමාගෙන් උපාධ්‍යාය ගත් සාමෙණ්රයෝ වෙත් නම්, ඔවුන්ට ද එසේම කිය යුතු ය. එසේ කී පසුත් ගුරු ගෞරවයෙන් වත් කරත් නම්, පිළිගැනීමෙන් ඇවැත් නො වේ. යම් ආපත්තියකට වත සමාදන් වූයේ නම් ඒ ඇවතට හෝ එවැනි ඇවතකට හෝ නො පැමිණිය යුතු ය.

විහාරයේ ප්‍රධානයකු වශයෙන් ක්‍රියා නො කළ යුතු ය. පොහෝ දිනයක්හි පාමොක් උදෙසීම හෝ පාමොක් උදෙසීමට ආරාධනය හෝ නො කළ යුතු ය. භික්ෂූන්ට චෝදනා නො කළ යුතු ය. තමා මහලු වුව ද ප්‍රකෘති භික්ෂූන්ගේ ඉදිරියෙන් ගමන් නො කළ යුතු ය. ආසනයෙහි නො හිඳිය යුතු ය. දායකයන්ගේ ආරාධනා පිළිගෙන භික්ෂූන් කැඳවා ගෙන නො යා යුතු ය. සඞ්ඝයා සමග යන කල්හි දොළොස් රියනක් උපචාරය හැර එකලාව යා යුතු ය. දාන ශාලාදියෙහි හිඳින කල්හි ද අන්තිම කෙළවරේ අසුන ගත යුතුය. ප්‍රකෘති භික්ෂූන් බිම ඉන්නා කල්හි ආසනයෙහි නො හිඳිය යුතු ය. ප්‍රකෘති භික්ෂූන් නීචාසනයෙහි ඉන්නා කල්හි තමා උච්චාසනයෙහි නො හිඳිය යුතු ය. විහාරයෙහි වාසය පිණිස සියල්ලට ලාමක සෙනසුන ගත යුතු ය. පොහෝ කිරීමට පවාරණය කිරීමට සඞ්ඝයා රැස්වූ කල්හි ද වත ආරෝචනය කළ යුතු ය. ඒ කාලයේදී වත්මානත් පුරන ඇවතකට නැවත නො පැමිණිය යුතු ය. එවැනි අන් ඇවැතකට ද නො පැමිණිය යුතු ය. වත සමාදන්ව ඉන්නා අවස්ථාවේදී නැවත ගරුකාපත්තියකට පැමිණිය හොත් මුල පටන් නැවත වත්මානත් පුරන්නට සිදු වේ. ඒ ගැන විස්තර චූලවග්ග පාළියෙන් හා විනය අටුවාවෙන් දැන ගත යුතු ය.

පිරිවෙස නික්ෂේප නො කොට ම පුරනවා නම් ආරෝචනය කළ භික්ෂූන්ට නැවත ආරෝචනය නො කළාට වරදක් නැත. ආගන්තුකයකු මුණ ගැසුණහොත් ආරෝචනය කළ යුතු ය. දිනපතා නික්ෂේප කරමින් රාත්‍රි කාලයෙහි පමණක් සමාදන් වේ නම්, සමාදන් වන වාරයක් පාසා දිනපතා ම ආරෝචනය කළ යුතු ය. මානත වනාහි නික්ෂේප නො කෙළේ ද, දිනපතා සඞ්ඝයාට ආරෝචනය කළ යුතු ය.