වත්මානත් පිරීම ගැන දතයුතු කරුණු.

ඉංග්‍රීසි ක්‍රමයේ සැටියට පැය සූවිස්සක් එක් දිනයෙකි. නක්ෂත්‍ර ක්‍රමයේ සැටියට සැට පැයක් එක් දිනයකි. ඉංග්‍රීසි ක්‍රමයේ සැටියට දිනයේ පටන් ගැනීම හා අවසානය වන්නේ මධ්‍යම රාත්‍රියෙහිය. නක්ෂත්‍ර ක්‍රමයේ සැටියට සූර්යයාගේ උදාවෙන් දිනයේ පටන් ගැනීම සලකනු ලැබේ. විනය ක්‍රමයේ සැටියට අරුණෝදයෙන් දිනයේ පටන් ගැනීම සලකනු ලැබේ.

“සූරස්සොදයතො පුබ්බුට්ඨිතරංසි සියාරුණො”

යනුවෙන් අභිධානප්පදීපකාවෙහි උදාවන සූර්යයාගේ පළමු නැගී එන රශ්මිය ‘අරුණය’ යි දක්වා තිබේ. අරුණ යනු මඳරත් පැහැයට ද නමකි. ඒ නම පළමුවෙන් උදාවන හිරු-රැසට තබා ඇත්තේ, ඒ හිරු-රැසත් මඳ රත් පැහැය ඇති බැවිනි. ඒ රශ්මිය සූර්යෝදයට පැය බාගයකට කලින් නැගෙනහිරදිග අහසෙහි දක්නා ලැබේ. ඒ ආලෝකය අහසෙහි දෘශ්‍යමානවීමෙන් විනය ක්‍රමයේ සැටියට අතීත දිනයේ ඉක්මීමත්, වර්තමාන දිනයේ පඉන් ගැනීමත් සලකනු ලැබේ.

වත්-මානත් පිරීමේදී දිනය ගණන් ගනුයේ, දිනයට අයත් සම්පූර්ණ පැය ගණන ම වත සමාදන්ව විසීමෙන් නොව, අරුණෝදයේදී සමාදන්ව විසීමෙනි. දවසේ පැය සූවිස්සෙන් කවර පැයකදී වත සමාදන් වුව ද අරුණෝදය තෙක් එය රැකියහොත් එක් දිනයක් ලැබුණු සැටියට සලකනු ලැබේ. උදයේ වත සමාදන්වූ භික්ෂුව අරුණෝදයට මොහොතකට වුව ද කලින් වත නික්ෂේප කළේ නම්, ඒ භික්ෂුවට දිනය නො ලැබේ. මෙහි දින ගණන් ගැනීම කරනුයේ අරුණෝදයෙනි.

වත්-මානත් සමාදන්ව වෙසෙන කාලයේදී දුර යන භික්ෂුවක් වුවත් දුටහොත්, භික්ෂුවකගේ හඬක් හෝ ඇසුණ හොත්, ඒ භික්ෂුවට ආරෝචනය කළ යුතු ය. නො කළහොත් රත්තිච්ඡේදය වේ. වත්ත භේදයෙන් දුකුළා ඇවතකුදු වේ. රත්තිච්ඡේද වීමය යන්නෙහි තේරුම ඒ දිනය ගණන් ගැනෙන දිනයක් නො වීම ය. ආරෝචනය කරන්නට උත්සාහ කොට නො කළ හැකි වී නම් ඇවැත් නො වේ. රත්තිච්ඡේදය වේ. එබැවින්න බොහෝ භික්ෂූන් යන-එන තැන්වල හා දුර යන භික්ෂූන් පෙනෙන තැන්වල ද වත් පිරීම අපහසු ය. දුර යනෙන භික්ෂූන් ඇති බැවින් හා පෙනෙන බැවින් ද දහවල් කාලයේ වත පිරීම ද අපහසු ය.

කොහෙත් ම භික්ෂූන් නැති තැන ද වත නො පිරිය හැකි ය. පිරිවෙස පිරිය හැකි වීමට යටත් පිරිසෙයින් එක් භික්ෂුවක්වත් සිටිය යුතු ය. මානත පිරිය හැකි වීමට සතර නමකට නොඅඩු භික්ෂු පිරිසක් සිටිය යුතු ය. එබැවින් තමා වෙසෙන විහාරයෙහි තවත් භික්ෂූන් නො මැති නම්, භික්ෂූන් ඇති විහාරයකට යා යුතුය. තමා වෙසෙන විහාරයට හෝ භික්ෂූන් පමුණුවා ගත යුතු ය. නිතර රථවාහන ගමන් කරන මහා මාර්ගාසන්නයේ පිහිටි විහාරවල ද වත් පිරීම අපහසු ය. වාහනවලින් යන-එන භික්ෂූන් දුටු විට, ඔවුනට ආරෝචනය කරන්නට නො ලැබෙන හෙයිනි. වත් පුරන භික්ෂුව තමා වෙසෙන විහාරය එයට සුදුසු තැනක් වේ නම්, එහි ම වත පිරිය යුතු ය. එසේ නො වේ නම්, සුදුසු විහාරයකට ගොස් වත පිරිය යුතු ය. දුර යන භික්ෂූන් දැක ආරෝචනය කර ගත නො හැකි නම්, රත්තිච්ඡේදය වන බැවින් රාත්‍රීකාලයේ වත සමාදන් වී අරුණෙන් පසු නික්ෂේප කළ යුතු ය. දින ගණන පිරෙන තුරු එසේ කළ යුතු ය.