පෘථිව්‍යාදි රූප ධාතුන්ගෙන් නිර්මිත වූ මේ ශරීරයේ විඥාන නම් වූ එක් ධාතුවෙක් ඇත්තේය. පෙනෙන්නේ ද ඇසෙන්නේ ද සැප දුක් හොඳ නරක ආදිය දැනෙන්නේ ද යෑම් ඊම් කෑම් බිම් කතා කිරීම් ආදි ක්‍රියා පිණිස ශරීරය මෙහෙය වන්නේ ද ඒ විඥාන ධාතුව ය. විඥාන ධාතුවෙන් තොර වූ ශරීරය, කිසිවක් නො දන්නා වූ, කිසිවක් නො ඇසෙන්නා වූ, සැප දුක් ආදි කිසිවක් නො දන්නා වූ, යෑම් - ඊම්, කෑම් - බීම් ආදි කිසි ක්‍රියාවක් නො කරන්නා වූ, දර කඩක් සේ දිරා යන තෙක් තිබූ තැන ම නිශ්චල ව තිබෙන්නා වූ දෙයකි. මළ සිරුරෙහි විඥාන ධාතුව නැති බැවින් එයට නො පෙනෙන්නේය. නො ඇසෙන්නේය. සැප දුක් ආදිය නො දැනෙන්නේය. එය කිසි ක්‍රියාවක් නො කරන්නේය. සත්ත්වයකු පුද්ගලයකු නැති රූප කය කෙරෙහි සත්ත්වයකු පුද්ගලයකු යන සංඥාව ඇති වන්නේ රූප කය හා බැඳී තිබෙන විඥාන ධාතුව නිසා ය. රූප කය හා විඥාන ධාතුව දෙකක් සැටියට තේරුම් ගැනීමෙන් රූප කය පිළිබඳ සත්ත්ව සංඥාව දුරු වේ. සත්ත්ව සංඥාව දැඩි සේ පවත්වන්නේ විඥාන ධාතුව පිළිබඳව ය. එය රූප කයේ සත්ත්ව සංඥාව තරම් පහසුවෙන් දුරු කළ නොහේ. එබැවින් විඥාන ධාතුව පිළිබඳ භාවනාව වඩාත් සැලකිල්ලකින් කළ යුතුයි.
සත්ත්ව ශරීරය සෑදී තිබෙන පෘථිව්‍යාදි ප්‍රධාන රූප සතර නිසා පවතින්නා වූ උපාදායරූප නම් වූ තවත් සූවිසි රූප කෙනෙක් ඇතියහ. ප්‍රධාන රූප සතර ඒවායේ නිසත්ත්වතාව දුටු කල්හි අප්‍රධාන රූප පිළිබඳ සත්ත්ව සංඥාව ඉතිරි නොවන බැවින් යට දැක්වූ රූප භාවනා ක්‍රමයට ඒවා නො ගන්නා ලදී. එහෙත් ඒවා ද සාමාන්‍යයෙන් දැන ගෙන තිබීම යෝගාවචරයනට ප්‍රයෝජනය. උපාදාය රූපයන් අතුරෙනුදු විඥාන ධාතුවේ උප්පත්තියට හේතුවන විඥානයට නිශ්‍රය වන රූප සයෙක් ඇත්තේත්ය. විඥාන තත්ත්වය අවබෝධ කර ගැනීමට ඒ සය විශේෂයෙන් ම දත යුතුයි. චක්ෂුඃ ප්‍රසාදය, ශ්‍රෝත ප්‍රසාදය, ඝ්‍රාණ ප්‍රසාදය, ජිහ්වා ප්‍රසාදය, කාය ප්‍රසාදය, හෘදය රූපය යන මේ රූප සය විඥාන ධාතුවට නිශ්ශ්‍රය වන රූපයෝ ය.
චක්ෂුඃ ප්‍රසාදය
ප්‍රසාදය යන වචනයේ තේරුම ඔපය යනුයි. ඇස සැම තැනම ඔපයක් නම් ඇත. එහෙත් චක්ෂුඃ ප්‍රසාදය යි නො කියනු ලැබේ. කළු ඉංගිරියාව යයි කියනු ලබන ඇසේ කළු ලපය මැද ප්‍රමාණයෙන් උකුණු හිසක් පමණ වූ තැන සිවි සතක පවත්නා ඔපයක් ඇත. එයට චක්ෂුඃ ප්‍රසාදය යි කියනු ලැබේ. ඉදිරියේ තිබෙන වස්තූන්ගේ ඡායා කැඩපතක පහළ වන්නාක් මෙන් ඇස ඉදිරියේ ඇති දේවල ඡායා ඒ ඔපය තුළ පහළ වන්නේය.
ශ්‍රෝත ප්‍රසාදය
කන් අඩියේ කුඩා ස්ථානයක ශ්‍රෝත ප්‍රසාදය රූප පිහිටා තිබේ. රූපයන්ගේ මෙන් ම ශබ්දයන්ගේ ද හැඩහුරුකමෙන් ආකාර විශේෂයෙක් ඇත්තේය. එය ඇසට පෙනෙන ඔපයෙක් නොවේ. රූපච්ඡායාව කැඩපත් ආදියේ ඔපයෙහි පහළ වන්නාක් මෙන් ශබ්දයන්ගේ ඡායාව ඒ ඒ ශබ්දයේ හැඩහුරුකමින් ශ්‍රෝත ප්‍රසාදය පහළ වේ.
ඝ්‍රාණ ප්‍රසාදය
මෙය නාසය තුළ එළු කුරයක සටහනට බඳු සටහනක් ඇති තැනක පිහිටි ඔපයකි. සුන්දරාසුන්දර ගන්ධයන් ගෙන නාසා කුහරය තුළට වැදගන්නා වාතයෙහි ඇති ගන්ධය එහි ස්පර්ශ වේ.
ජිහ්වා ප්‍රසාදය
මෙය දිවේ මැද කොටසෙහි නෙළුම් පෙත්තක අගට බඳු සටහන ඇති තැනක අනුභව කරන ආහාරයන්ගේ රසය ස්පර්ශ වීමට සුදුසු පරිද්දෙන් පිහිටි ඔපයකි.
කාය ප්‍රසාදය
මෙය ඒ ඒ වස්තුවෙහි ඇති තද බව මොළොක් බව උණුසුම් බව සිසිල් බව ආදි ගුණයන් ස්පර්ශ වීමට සුදුසු පරිද්දෙන් ශරීරය සැම තැන ම වාගේ පිහිටි එක්තරා ස්වභාවයකි.
හෘදය රූපය
මෙය හෘදය කෝෂය තුළ පවත්නා අඩ පතක් පමණ ලේ ඇසුරු කොට විඥාන ධාතුවට නිඃශ්‍රය වීමට සුදුසු සේ පවත්නා වූ එක්තරා ස්වභාවයකි. විඥානයන්ගෙන් වැඩි කොටසක් උපදිනුයේ හෘදය රූපය නම් වූ ස්වභාවය ඇසුරු කොට ගෙන ය.
විඥාන ධාතුව
විඥාන ධාතුව දැනීම හෙවත් සිතය. එහි ලක්ෂණ වශයෙන් එකක් වුව ද උපදින ස්ථානයන්ගේ හා ඉපදීමේ හේතූන්ගේ වශයෙන් චක්ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිහ්වා විඥානය, කාය විඥානය, මනෝ විඥානය යි සවැදෑරුම් වේ. අභිධර්මයේ හැටියට සිත හා උපදින චෛතසික ධර්ම කොටසක් ඇතත් මෙහි දී ඒවා ගැන විභාගයක් කරන්නට නො යා යුතුය. විදර්ශනා කිරීමේදී චෛතසික ධර්ම ද විඥාන ධාතුවට ම එකතු කොට චෛතසිකත් සමඟ සිත විඥාන ධාතුව සැටියට සැලකිය යුතුය.