මනෝ විඥානය

චක්ෂුරාදි ප්‍රසාදය රූප පස නිසා උපදනා වූ චක්ෂුර් විඥානාදි සිත් පසින් අන්‍ය සියලු ම චිත්තයෝ මනෝ විඥාන නම් වෙති. විඥානයාගේ නියම ලක්ෂණය විජානනයයි. හෙවත් දැනීමයි. නමුත් සැම කල්හි ම විඥානයාගේ විජානන ලක්ෂණය ප්‍රකට නොවේ. ප්‍රකට වනුයේ යම්කිසි වස්තුවක් හෝ කරුණක් දැන ගැනීම් වශයෙන් එය පහළ වූ කල්හිය. අන්‍ය අවස්ථා වලදී මනෝ විඥානය ප්‍රකට වනුයේ එහි ඇත්තා වූ යම්කිසි චෛතසිකයෙක ලක්ෂණයෙකි. ඇතැම් චෛතසිකයෝ සමහර අවස්ථාවලදී තමාගේ ලක්ෂණයෙන් චිත්තයාගේ විජානන ලක්ෂණය වසා ගනිති. යට කරති. තුමූ මතුවී පෙනී සිටිති. යෑම් - ඊම් - කෑම් - බීම් - තැබීම් - එසැවීම් - දිවීම් - ගැනීම් ආදි ක්‍රියා සිදුකරන චෛතසිකය චේතනාව ය. යෑම් ඊම් ආදි ක්‍රියාවක් සිදු කිරීම් වශයෙන් විඥානයක් පහළ වූ කල්හි එය පුද්ගලයාට වැටහෙනුයේ විඥානයක් ඇති වූ සැටියට නොව, ක්‍රියාවක් කිරීමට උත්සාහයක් ඇති වූ සැටියට ය. එසේ වන්නේ විඥානයාගේ විජානන ලක්ෂණය වසාගෙන එහි චේතනා චෛතසිකය පැවති බැවිනි.

යම්කිසි කරුණක් ගැන බලවත් ප්‍රීතියක් සමඟ විඥානය පහළ වුවහොත් ඒ අවස්ථාවෙහි පුද්ගලයාට වැටහෙන්නේ විඥානයක් පහළ වූ සැටියට නොව ප්‍රීතියක් ඇති වූ සැටියට ය. එසේ වනුයේ උත්සන්න වූ ප්‍රීති ලක්ෂණයෙන් විඥාන ලක්ෂණය වැසුණු බැවිනි. බලවත් ලෝභයෙන් යුක්ත වූ විඥානයක් පහළ වුවහොත් සත්ත්වයාට වැටහෙනුයේ විඥානයක් ඇති වූ සැටියට නොව, ලෝභයක් ඇති වූ සැටියට ය. එසේ වනුයේ ලෝභයාගේ ලක්ෂණයෙන් විඥානය වැසුණු බැවිනි. මෙසේ විඥාන ලක්ෂණය වසන්නා වූ යට කරන්නා වූ චෛතසික බොහෝ ගණනකි. පිහිටීමට වස්තුවක් නොමැතිව වර්ණයක් ඇති නො වන්නාක් මෙන් විඥානයක් නොමැතිව කිසි කලෙක චෛතසිකයන් නූපදනේය. චෛතසිකයාගේ ලක්ෂණයෙන් විඥානය වැසීම, යට වීම, වර්ණයෙන් පිහිටි වස්තුව වැසී යාම සේ සැලකිය යුතුය.

යම්කිසි චෛතසික ලක්ෂණයක් වැටහෙතොත් ඒ සෑම තැන ම විඥානය ඇති බව දත යුතුය. චෛතසික ලක්ෂණයන් ගෙන් නොයෙක් විට විඥාන ලක්ෂණය වැසී යන බැවින් විජානන ලක්ෂණයෙන් ම මනෝ විඥානය සොයන්නට නො යා යුතුය. පඤ්ච විඥානයන්ගෙන් අන්‍ය වූ දැනීම් සියල්ල ද, ක්‍රියා කිරීමේ උත්සාහය ය, සැපය ය, දුකය, ඕනෑකම ය, ආදරය ය, ක්‍රෝධය ය, ශෝකය ය, පිළිකුල ය, භය ය, ඊර්‍ෂ්‍යාව ය, සැකය ය, ශ්‍රද්ධාව ය, ලජ්ජාව ය, මෛත්‍රිය ය, කරුණාව ය ආදී වශයෙන් සත්ත්ව සන්තානයෙහි ඇති වන්නා වූ සියලු ම ස්වභාවයන් මනෝ විඥාන බව දත යුතුය.

චක්ෂුර්විඥානාදි විඥානධාතු පස ප්‍රසාදයන් මත අරමුණු ගැටීමේ හේතුවෙන් උපදී. මනෝවිඥානයන් බොහෝ සෙයින් උපදිනුයේ චක්ෂුර්විඥානාදි විඥාන පසෙහි ඉපදීම හේතු කොටය. රූපච්ඡායාවක් චක්ෂුඃ ප්‍රසාදයෙහි ගැටුණු කල්හි ඒ හේතුවෙන් ප්‍රථම කොට චක්ෂුර් විඥානය පහළවීමක් දර්ශනය වේ. ඉක්බිති දක්නා ලද දෙය හොඳ නම් එනිසා එය හොඳය කියා ලෝභ සහගත මනෝවිඥානයක් පහළ වේ. නැවත තමාටත් එය ඕනෑය කියා මනෝ විඥානයෙක් පහළ වේ. ඉක්බිති එය ලැබීමේ උපාය දක්නා මනෝවිඥානයෝ පහළ වෙති. ඉක්බිති ඒ උපාය අනුව ක්‍රියා සිදු කරන මනෝ විඥානයෝ පහළ වෙති. ඉක්බිති ලබා ගත් දෙය ආරක්‍ෂා කරන මනෝ විඥානයෝ පහළ වෙති. මෙසේ එක් දර්ශනයක් නිසා මනෝ විඥාන පරම්පරාවක් ම ඇති වේ. චක්ෂුර් විඥානයෙන් දක්නා ලද දෙය භයානක දෙයක් වී නම් ඒ දර්ශනයෙන් පසු දැක් ද්වේශ සහගත මනෝ විඥානයක් පහළ වේ. ඉක්බිති එයින් ඈත්වන එයින් බැහැරට යන එතැනින් පලා යන මනෝ විඥානයෝ පහළ වෙති. ශ්‍රෝත්‍රවිඥානාදි ඉතිරි විඥානයන් අනුව ද මෙසේ මනෝ විඥාන පරම්පරා ඉතා දිගට පහළ වෙති.

මෙසේ පහළ වන්නා වූ ඒ විඥාන පරම්පරාවල් ඇති කරවන ඒවාට අධිපති වූ සත්ත්වයෙක් පුද්ගලයෙක් නම් නැත. කිසිවකුගේ උත්සාහයක් මෙහෙයවීමක් නොමැතිව චක්ෂුඃප්‍රසාද - රූප දෙදෙනාගේ ගැටීමේ හේතුවෙන් චක්ෂුවිඥාන ම පහළ වන්නාක් මෙන් ම චක්ෂුර්විඥානයේ හා දක්නා ලද ආරම්මණයේ හේතුවෙන් දක්නා ලද දෙයට ඇලුම් කරන්නා වූ හෝ විරුද්ධ වන්නා වූ හෝ විඥානයෝ ද, ඒවායේ හේතුවෙන් හොඳ අරමුණු සොයන්නා වූ ද හයානක අරමුණු කෙරෙන් පලා යන්නා වූ ද පිළිකුල් අරමුණු කෙරෙන් මුහුණ ඉවතට ගන්නා වූ ද විඥානයෝ පහළ වෙති.

ඒවායේ නියම තත්ත්වය වටහා ගත නොහෙන පුද්ගලයෝ “මම දකිමිය, මම ආලය කරමිය, මම සොයමිය, මම වැඩ කරමිය, මම බිය වෙමිය, මම පිළිකුල් කරමිය, මම කල්පනා කරමිය, ප්‍රීති වෙමිය, ශෝක කරමිය, දන් දෙමිය, සිල් රකිමිය යනාදීන් ඒ ඒ ආකාරයෙන් ඒ ඒ හේතූන්ගෙන් ඇති වූ විඥානයන් ආත්මය කොට හෝ ආත්මයට අයත් කොට හෝ වරදවා පිළිගනිති. ඒ වැරදි හැඟීම් දුරු කරන තෙක්, උපදවන කර්තෘ කෙනකු නැතිව විඥාන පරම්පරා හේතූන්ගේ සංයෝගයෙන් ඇති වන සැටි නැවත නැවතත් කල්පනා කරනු. ගුරුන්ගෙන් විමසනු. දතුවන් හා සාකච්ඡා කරනු. එසේ කොට විඥාන ධාතූන්ගේ සැටි දැන ගත් පසු ඒ දැනුම දියුණු වනු පිණිස තහවුරු වනු පිණිස මතු දක්වන පරිදි විඥාන ධාතුව පිළිබඳ භාවනාව කලක් කරනු.