ශරීරයේ කාය ප්‍රසාදය ඇති තැනක යම්කිසි වස්තුවක් හැපුණු කල්හි ඒ වස්තුවල ඇති තද බව, මොළොක් බව, කැපෙන බව, ඇනෙන බව, සිසිල් බව, උණුසුම් බව, තල්ලු කරන බව, සෙලැවෙන බව, පිළිබඳ දැනුමක් ඒ ඒ තැන්වල වූ කාය ප්‍රසාදයෙහි ඇති වේ. කාය ප්‍රසාදය ඇසුරු කොට උපන් බැවින් ඒ සිතට කාය විඥානය යි කියනු ලැබේ.
ස්පර්ශය පිළිබඳ දැනුම ඇති වන්නේ තුන් ආකාරයෙකිනි. සැපයක් හෝ දුකක් හෝ අධිකව ඇති නොවන දෙයක් ස්පර්ශ වූ කල්හි තද බව මොළොක් බව ආදි යම්කිසි ස්වාභාවයක් සැටියට දැනීම පහළ වන්නේය. ස්පර්ශය සනීපයට හේතුවන කල්හි තද බව මොළොක් බව ආදි වස්තු ස්වභාවය යට වී සුඛ වේදනාව මතු වී සනීපයක් හැටියට දැනෙන්නේය. ස්පර්ශය රිදුමකට හේතුවන තන්හි වස්තුවේ ස්වභාවය යටවී දුඃඛ වේදනාව මතුවී රිදුමක් සැටියට දැනුම වන්නේය. හිසරදය කන් කැක්කුම දත් කැක්කුම ආදි වේදනා හට ගනුයේ ශරීරය ඇතුළෙහි වූ වාතාදිය තවත් තැනක ස්පර්ශ වීමෙනි. ස්පර්ශයෙන් තොරව කාය විඥානයක් ඇති නො වන්නේය. “මට සනීපය” යි කියනුයේ සුඛ සහගත කාය විඥානය ආත්මය කොට ගැනීමෙනි. මට රිදෙන්නේ යැයි කියනුයේ දුඃඛ සහගත කායවිඥානය ආත්මය කොට ගැනීමෙනි.