සංඥාපනය

බෞද්ධයකු වීමෙන් ලැබිය යුතු උසස් ප්‍රතිඵල ලැබිය හැකි වනුයේ භාවනාවෙති. දන් දීමෙන් හා සිල් රැකීමෙන් ලැබිය හැකි ඵල ද භාවනාවෙන් ලැබිය හැකි නුමුත්, භාවනාවෙන් ලැබිය යුතු උසස් ඵල භාවනාවෙන් ම මිස, දන් දීමෙන් සිල් රැකීමෙන් නො ලැබිය හැකිය. භාවනාවෙහි යෙදෙන්නකුට එයින් ලැබෙන ඵල පරලොවෙහි දී ම නොව, මෙලොවදී ද ලැබෙන්නේ ය. ක්‍රමානුකූල කොට භාවනාවෙහි යෙදෙන තැනැත්තේ ධ්‍යාන මාර්ගාදි උසස් ඵල නො ලැබුයේ ද, ඉන් මොබ ලැබිය හැකි බොහෝ අනුසස් මෙලොවදී ම ලබන්නේය.

භාවනා ඵලය ගෘහස්ථ ප්‍රව්‍රර්ජිත ස්ත්‍රී පුරුෂ සැම දෙනාට ම නො වෙනස්ව ලැබිය හැකිය. ක්‍රමානුකූලව භාවනාවෙහි කලක් යෙදුනහොත් සිත කය දෙක භාවනාවට හැඩ ගැසුණු පසු ඒ තැනැත්තා හට භාවනාව මහත් සුවයෙක් වන්නේය. යෝගාවචරයනට ආහාර පාන වාසස්ථානාදියෙන් කිසි ම සුවයක් නැති ව වනගත වී දීර්ඝ කාලයක් මුළුල්ලෙහි භාවනාවෙහි යෙදිය හැකි වන්නේ, උසස් සුවයක් එහි ඇති බැවිනි. භාවනාව අමිහිරි වන්නේ ඒ සුවය ලැබෙන තැනට භාවනාව දියුණු නො වන තුරුය. සුවයක් වනතුරු භාවනාව දියුණු කරගත් යෝගාවචරයා නැවත භාවනාව අත්හැර දමන්නට නො සිතන්නේ ය. එ වේලේ ම ලැබෙන භාවනාමය සුඛය ද, භාවනාවේ එක් ආනිශංසයෙකි. තවත් මෙලොවදී ම ලැබෙන බොහෝ ඵල භාවනාවෙහි ඇත්තේය.

මෙකල අප රටේ යෝගාවචරයන් අඩුවී ඇත්තේත් ගිහියනට තබා පැවිද්දන්ට ද භාවනාව අරළු කසාය වැනි වී තිබෙන්නේත්, ඵල දැකිය හැකි සැටියට භාවනා කිරීමේ ක්‍රමය නො දැනීම නිසා ය. භාවනා ක්‍රමයක් අන්‍යයනට කියා දීමට සමත්, භාවනා කිරීම පිළිබඳ දැනුම, පළපුරුද්ද ඇති ගුරුවරු ද, අප රටේ සුලභ නැත. භාවනා ක්‍රම ගැන දැනුම ඇතියවුන් අතින් ලියැවුණු පොත පත ද දුර්ලභය. දැනට අප රටේ, ඇති භාවනා ක්‍රම ගැන විස්තරයක් දැක්වෙන, එකම පොත විශුද්ධිමාර්ගයයි. පාළි භාෂාවෙන් ලියැවී තිබෙන ඒ පොතින් පාළි භාෂාව නො දන්නවුනට ප්‍රයෝජනයක් ලැබිය නො හැකිය. පාලි භාෂාව දත් කෙනකුට වුව ද, තවත් ගුරුවරයන්ගෙන් උපදෙස් නො ලබා එයින් භාවනා ක්‍රමය දැන ගැනීමට පහසු නැත. ශමථ ක්‍රමය තේරුම් ගත හැකි වුව ද, විදර්ශනා භාවනා ක්‍රමය එයින් ලෙහෙසියෙන් තෝරා ගත හැකි නොවේ.

ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සියය පිරෙන්නට ළංව තිබෙන මේ කාලයේ විදර්ශනා වඩා මාර්ගඵල ලබා ගැනීමේ අදහසක්, ඇතැම් පින්වතුනට ඇති වී තිබෙන බව ඔවුන්ගේ කථා වලින් පෙනේ. ටික දෙනකුට වුව ද, එබඳු උතුම් අදහසක් ඇතිවීම, ළඟ අනාගතයේ බුදු සසුන නැවතත් බැබළීමේ පෙර නිමිත්තක් වශයෙන් සැලකිය හැකිය. දෙදහස් පන්සියය ළං වත් ළං වත් ම, උත්සව පැවැත්වීම නම් බහුල වනු ඇත. කොතෙක් උත්සව පැවැත්වුවත්,එය නියම ශාසන දියුණුව නොවේ. සැබෑ ශාසන දියුණුව නම්, සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ග සතර ඵලයනට පැමිණි පුද්ගලයින් ඇතිවීමය. ආර්‍ය්‍ය පුද්ගලයින් පහළ නුවූව ද මාර්ගාධිගමය සඳහා විදර්ශනා වඩන පුද්ගලයන් බහුල වුව හොත් එය ද මනා ශාසන දියුණුවක් හැටියට සැලකිය යුතුය.

කොතරම් වීර්ය කොට කොතෙක් දුක්ගෙන කොතෙක් කලක් භාවනාවෙහි යෙදුනත් ක්‍රමානුකූලව භාවනාව නො කැරුණ හොත්, එයින් මෙලොවදී ම දැකිය හැකි තරම් ඵලයක් නො ලැබේ. ඉක්මනින් ඵල දැකීමට නම්, භාවනා ක්‍රමය නිවැරදිව හොඳින් දැනගෙන භාවනා කළ යුතුයි. මෙකල භාවනාවේ යෙදීමේ අභිලාෂය ඇතිව වෙසෙන, ගිහි පැවිදි පින්වතුනට බරපතල කරුණක් වී තිබෙන්නේ මාර්ගදේශකයන් නැති බවය. ඒ පින්වතුනට අපගේ ශක්ති පමණින්වත් උපකාරීවීමේ අදහසින්,අප විසින් ‘විදර්ශනා භාවනා ක්‍රමය’ නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙය විශුද්ධි මාර්ගය හා එහි පරිවාර ග්‍රන්ථයන් ද, බුරුමයේ ප්‍රසිද්ධ යෝගාවචරයන් විසින් සම්පාදිත පොත් කිහිපයක් ද ඇසුරුකොට අප විසින් ඇසුරු කළ යෝගාවචරයන්ගෙන් හා සාකච්ඡා කළ යෝගාවචරයන්ගෙන් ද දැනගන්නා ලද බොහෝ කරුණුවලට ද අපගේ ම අත්දැකීම් වලට ද අනුව සම්පාදනය කරන ලද්දකි.

දහම් පොත් කියවා තේරුම් ගැනීමේ අපහසු බව නොයෙක් විට බොහෝ දෙනා කියනු ඇසුණු බැවින් කා හටත් පහසුවෙන් තේරුම් ගත හැකි සේ මෙය සම්පාදනය කිරීමට විශේෂ උත්සාහයක් ගතිමු. ගැඹුරු කරුණු පිළිබඳ වූ මෙබඳු පොත්, වරක් දෙකක් කියැවූ පමණින් තේරුම් ගත හැකි නොවේ. පොතින් ප්‍රයෝජන ලැබීමට නම්, කාරණය වැටහෙන තුරු කොතෙක් කල් වුවත් නැවත නැවත පොත කියවිය යුතුයි. මේ පොත හොඳින් තේරුම් ගෙන පොතේ දැක්වෙන ක්‍රමය අනුව නො වරදවා භාවනාව කරගෙන ගියහොත්, වැඩි දෙනකුට භාවනාවේ ප්‍රතිඵලය, මෙලොව දී ම දක්නට ලැබෙනු ඇත යනු අපගේ ස්ථිර විශ්වාසයයි.

මීට ශාසනස්ථිතිකාමී

රේරුකානේ චන්දවිමල

2491 / 1947 නොවැම්බර් 20 දින දීය.

ශ්‍රී විනයාලංකාරාරාමය,

පොකුණුවිට.