බුද්ධාදීන් කෙරෙහි උපදනා සැකයට විචිකිච්ඡාවය යි කියනු ලැබේ. විශේෂයෙන් ම යෝගාවචරයකු හට තමාගේ ශාස්තෘවරයා කෙරෙහි හා තමා කරන භාවනාව ගැන ද විශ්වාසය තිබිය යුතු ය. විශ්වාසය හීන වූ පමණට භාවනා පිළිබඳ ගෞරවය හා උත්සාහය ද හීන වේ. ඒවා හීන වූ පමණට භාවනා ඵලය ද හීන වේ. භාවනා ඵලය හීන වන කල්හි විචිකිච්ඡාව වඩා දියුණු වී අන්තිමේදී යෝගාවචරයාට සම්පූර්ණයෙන් ම යෝග කර්මය අත්හැර දමන්නට සිදු විය හැකි ය. එ බැවින් විචිකිච්ඡාව ද යෝගාවචරයනට බාධා කරන එක් නීවරණයෙකි. සමහර විට යෝගාවචරයාගේ සන්තානයෙහි විමසීමේ වේශයෙන් ද විචිකිච්ඡාව පහළ විය හැකි ය. එසේ අන්‍ය වේශයකින් පහළ වන විචිකිච්ඡාව යෝගාවචරයාහට විචිකිච්ඡාවක් බව ලෙහෙසියෙන් නො දැනෙන බැවින් වඩාත් අන්තරායයෙක් වන්නේ ය.
මෙකල බෞද්ධ නාමයෙන් පෙනී සිටින ගිහි පැවිදි දෙපක්ෂය අතර ම රත්නත්‍රය කෙරෙහි විශ්වාසය නැති, ප්‍රතිපත්තිය කෙරෙහි විශ්වාසය නැති, පරලොවක් ඇති බව විශ්වාසය නැති අය බොහෝ ය. ඔවුන් ඇසුරු කිරීමත් ඔවුන්ගේ කීම් ඇසීමත් ඔවුන්ගේ ලියුම් කියවීමත් නූපන් විචිකිච්ඡාව ඉපදීමටත් උපන් විචිකිච්ඡාව වැඩීමටත් බලවත් හේතු වේ. යෝගාවචරයා සැදැහැවතකු වුවත් කොපමණ උගතකු වුවත් කොපමණ නුවණැතියකු වුවත් මාර්ගයෙන් විචිකිච්ඡාව ප්‍රහාණය නො කළ බැවින් ඔහුගේ සන්තානයෙහි ද අළු යට තිබෙන ගිනි අඟුරක් මෙන් එය සැඟවී ඇත්තේ ය.
විදර්ශනාව මස්තකප්‍රාප්ත වී මතු නූපදනා පරිදි එය දුරු වී යන්නට මත්තෙන් නූපන් විචිකිච්ඡාව උපදවන උපන් විචිකිච්ඡාව වඩන විෂම පුද්ගලයන් ඇසුරු කළහොත්, අනුශය වශයෙන් පවත්නා විචිකිච්ඡා මතු වී අවුත් යෝගකර්මයට හානි විය හැකිය. එ බැවින් යෝගාවචරයින් විසින් විෂම අදහස් ඇතියවුන් ගේ කියුම් වලට ඇහුම් කන් නොදී ඔවුන් හා භජනයට නො ගොස් ඔවුන්ගෙන් පරෙස්සම් විය යුතු ය. සමහර විට ඒ විෂම අදහස් ඇත්තේ යෝගාවචරයන් ගේ කටයුතු අවුල් කැර දැමීමට දුබල යෝගාවචරයන් ගෙන් නොයෙක් ප්‍රශ්න අසති. ඒවාට උත්තර දෙන්නට හෝ ඔවුන් හා විවාදයට හෝ නො ගොස් යෝගාවචරයා විසින් තමාගේ කටයුතු පමණක් බලා ගත යුතු ය. තව ද විචිකිච්ඡාව මැනවින් නො හැඳිනීමත් විචිකිච්ඡාවේ ආදීනවය නුවණින් නො මෙනෙහි කිරීමත් විචිකිච්ඡාව ඉපැදීමට හේතු වේ.
කුශලා කුශල ධර්ම විෂයෙහි යෝග්නිසෝමනසිකාර බහුල බවය, ධර්මය පිළිබඳව දැනුම ඇති බව ය, තෙරුවන් පිළිබඳ ප්‍රශ්න ඇසීම ඇති බව ය, විනය දන්නා බව ය, ශ්‍රද්ධා බහුල බව ය, කල්‍යාණ මිත්‍ර සේවනය ය, සත්ප්‍රාය කථා ඇසීම ය යන මොහු විචිකිච්ඡාව දුරු වීමට හේතහු ය.