බිම හෙළූ සුළං බෝලයක් සේ ආරම්මණයෙහි සැලෙමින් පවත්නා වූ චිත්තයාගේ ඒ සැළෙන බව උද්ධච්චය ය. කළ වරද පිළිබඳ ව හා කර ගත නුහුණු යහපත පිළිබඳව ද තැවෙන්නා වූ චිත්තයාගේ ඒ ස්වභාවය කුක්කුච්ච ය. සමාධියට බාධකත්වයෙන් සම බැවින් ඒ දෙක එක ම නීවරණයක් කොට තථාගතයන් වහන්සේ වදාළ සේක. උද්ධච්ච කුක්කුච්ච සහගත සිත බොහෝ සෙයින් ඇති වන්නට පටන් ගතහොත් භාවනාව කළේ ද සමාධිය නො වැඩේ. සමාධිය නො වැඩුණ හොත් මාර්ගයට ඵලයට පැමිණීමට තරම් බලවත් ව විදර්ශනා ඥානය ද ඇති නොවේ. එබැවින් උද්ධච්ච - කුක්කුච්ච නීවරණයක් වන්නේ ය. උද්ධච්ච - කුක්කුච්චය වීර්‍ය්‍යයේ ආකාරයෙන් යෝගාවචරයන්ගේ සන්තානයට සමහර විට පැමිණේ. සමහර විට එය ශික්ෂාකාමිත්වයේ වේශයෙන් ද පහළ වන්නේ ය. යම් කිසි කුසල ධර්මයෙක වේශයෙන් පැමිණි කල්හි එය යෝගාවචරයාට තේරුම් ගැනීමට අපහසු වන බැවින් එසේ උපදනා උද්ධච්ච - කුක්කුච්චය යෝගාවරයනට වඩා අන්තරායකරය.
සමාධියට වඩා වීර්‍ය්‍යය වැඩීම ය, පමණට වඩා ශීල විශුද්ධිය ගැන කල්පනා කිරීම ය, චිත්තයාගේ නො සන්සුන් බව පිළිබඳව කාරණානුකූලව කල්පනා නොකිරීම ය යන මේවා උද්ධච්ච - කුක්කුච්චයා ගේ ඉපදීමට හා වැඩීමට හේතු ය.
සමාධියේ සැටි නුවණින් මෙනෙහි කිරීම ය, උද්ධච්ච - කුක්කුච්චයන් හොඳින් හැඳින ගැනීම ය, නො දත් කරුණු අසා දැන ගැනීම ය, විනය දැනුම ය, බහුශ්‍රැත බව ය, කල්‍යාණ මිත්‍ර සේවනය ය, වෘද්ධ සේවනය ය, සත්ප්‍රාය කථා ඇසීම ය යන මොහු උද්ධච්ච - කුක්කුච්ච දුරු වීමේ හේතූහු ය.