සංස්කාරෝපේක්ෂා ඥානයෙන් ත්‍රිලක්ෂණය නැවත නැවත බැලීම හැර අනුලෝම ඥානය සඳහා කළ යුතු විශේෂ කාර්යයක් විශේෂ භාවනාවක් නැත. සංකාරෝපේක්ෂා ඥානයෙන්, සංස්කාරයන් බලමින් වෙසෙන යෝගාවචරයා හට ශ්‍රද්ධාව බලවත් ව පහළ වෙයි. බලවත් වීර්‍ය්‍යය ද ඇතිවෙයි. සිහිය ද මැනවින් එළඹ සිටී. සමාධිය ද බලවත්ව ඇති වේ. එයින් සංස්කාරෝපේක්ෂා ඥානය වඩාත් තියුණුව පහළ වෙයි. දියුණු තියුණු වූ සංස්කාරෝපේක්ෂා ඥානය ඇති යෝගාවචරයා ගේ සිත හෙවත් සංස්කාරෝපේක්ෂා ඥානය මාර්ගයට පැමිණීමට ඉතාම සමීප අවස්ථාවේදී අනිත්‍ය කියා හෝ දුකය කියා හෝ අනාත්මය කියා හෝ සංස්කාරයන් සම්මර්ශනය කොට භවාංගයට බැස ගනී.
ඉක්බිති ඔහුට ඒ සංස්කාරෝපේක්ෂා ඥානයෙන් සම්මර්ශනය කළ පරිදි සංස්කාර අනිත්‍යය කියා හෝ දුකය කියා හෝ අනාත්මය කියා හෝ අරමුණු කරමින් මනෝද්වාරාවජ්ජන චිත්තය උපදනේ ය. ඉක්බිති මනෝද්වාරාවජ්ජනයෙන් අරමුණු කළ පරිද්දෙන් ම සංස්කාරයන් අරමුණු කරමින් ජවන චිත්තයක් පහළ වේ. එයට පරිකර්ම ජවනය යි කියනු ලැබේ. එයට අනතුරුව එය ම අරමුණු කොට දෙවන ජවන චිතයක් උපදී. එයට උපචාර ජවනය යි කියනු ලැබේ. එයට අනතුරුව එසේ ම සංස්කාරයන් අරමුණු කොට තුන් වන ජවන චිත්තයක් උපදී. එයට අනුලෝම ඥානය යි කියනු ලැබේ. මේ ජවන් සිත් තුන හා උපන් ඥානය උදයව්‍යය ඥානාදි අටක් වූ ඥානයනට හා මතු ලැබෙන ගෝත්‍රභූඥාන මාර්ග ඥානයට ද අනුකූල බැවින් අනුලෝම ඥානය යි කියනු ලැබේ. මේ අනුලෝම ඥානය සංස්කාරයන් අරමුණු කරන ව්‍යුත්ථානගාමිනී විදර්ශනාවන්ගේ අවසානය වන්නේ ය. ගෝත්‍රභූඥානයට පැමිණීමෙන් ව්‍යුත්ථානගාමිනී විදර්ශනා ඥානය සර්වාකාරයෙන් මස්තකප්‍රාප්ත වන්නේ ය.