සාහත්ථික පඤ්චකය

  1. සාහත්ථිකාවහාරය
  2. ආණත්තිකාවහාරය
  3. නිස්සග්ගියාවහාරය
  4. අත්ථසාධකාවහාරය
  5. ධුරනික්ඛෙපාවහාරය

1. සාහත්ථිකාවහාරය

අන් සතු වස්තුව සියතින් සොරසිතින් ගැනීම සාහත්ථිකාවහාර නමි. පාදයක් හෝ එයට වැඩි මිලක් වටනා අන්සතු වස්තුවක් සොරසිතින් අග ගෑමේදී දුකුළා ඇවැත් ද, සෙලවීමේදී ථුලැසි ඇවැත් ද, ස්ථානයෙන් වෙන් කිරීමේදී පරිජි ඇවැත ද වේ.

2. ආණත්තිකාවහාරය.

අනුන් ලවා සොරකම් කරවීම ආණත්තිකාවහාර නමි. උපසම්පන්නයකු අන් උපසම්පන්නයකු ලවා පාදයක් වටනා දෙයක් සොරකම් කරවීමේදී දෙදෙනා ම පරිජි ඇවතට පැමිණේ. උපසම්පන්නයකු අසවල් දෙය සොරෙන් ගෙනෙන්නය යි උපසම්පන්නයකුට කී කල්හි ඔහු කී දෙය හැර අනිකක් සොරකම් කළ හොත් අණ කළහුට ඇවැත් නැත. සොරකම කළ භික්ෂුව පරිජි වේ. නියම කළ භාණ්ඩය ම සොරකම් කළ හොත් දෙදෙනාම පාරාජිකා වෙති.

භික්ෂුවක් අසවලා ලවා, අසවල් දෙය සොරකම් කරවන්නය යි භික්ෂුවකට කී කල්හි දුකුළා ඇවැත් වේ. ඒ භික්ෂුව සොරකම කරන භික්ෂුවට කී කල්හි ඔහුට ද දුකුළා ඇවැත් වේ. සොරකම කරන භික්ෂුව එය පිළිගත් කල්හි මූලිකයාට ථුලැසි ඇවැත් වේ. සොරකම කළ කල්හි තිදෙනාට ම පරිජි ඇවැත් වේ.

අසවල් දෙය සොරකම් කරන්නට අසවල් භික්ෂුවට කියවයි භික්ෂුවක් විසින් කී කල්හි දුකුළා ඇවැත් වේ. අණ ලැබූ භික්ෂුව වරදවා අනිකෙකුට කියා නම් කියන්නහුට දුකුළා ඇවැත් වේ. මූලිකයාට ඇවැත් නැත. එය පිළිගත හොත් සොරකම කරන්නහුට දුකුළා ඇවැත් වේ. සොරකම කළ කල්හි දෙදෙනාට ම පරිජි ඇවැත් වේ. මූලිකයා ඇවතින් මිදේ.

භික්ෂුවක් සොරකමක් කිරීමට භික්ෂුවකට කී කල්හි ඔහු ගොස් සොරකම නො කළ හැකි වී පෙරළා අවුත් ඒ බව අණ කළ මහණ හට කී කල්හි ඉඩ ලැබෙන විටෙක එය කරන්නය යි නැවත අණ කළ හොත් අණ ලැබූ භික්ෂුව සැට වසකට පසු වුවද එය කරන්නේ නම් අණ කළ භික්ෂුව එකෙණෙහි ම පරිජි ඇවතට පැමිණේ. අණ ලැබූ භික්ෂුව සොරකම කළ විටෙකදී පරිජි වේ. යම්කිසිවක් සොරකම් කරනු පිණිස එක් භික්ෂුවකට ද ඒ භික්ෂුව තවත් භික්ෂුවකට ද මෙසේ භික්ෂුවක් අන් භික්ෂූන් සියයකට වුව ද පිළිවෙළින් අණ කොට සියවැනියා සොරකම කළ හොත් සැමදෙන ම පාරාජිකා වෙති.

3. නිස්සග්ගියාවහාරය.

බඩුවක් තැනක සිට තැනකට විසි කිරීම් වශයෙන් සිදුකරන අවහාරය නිස්සග්ගියාවහාර නමි. මෙය සිදු වන්නේ එහා මෙහා ගෙන යන බඩුවලින් බදු අය කරන ස්ථානවලදී ය. භාණ්ඩවලට රජයෙන් බදු ගන්නා ස්ථානයකදී බද්ද නො ගෙවා භාණ්ඩය ගෙන යනු සඳහා බදු ගන්නා ස්ථානයේ සිට රාජපුරුෂයන්ගේ ප්‍ර‍මාදයක් බලා පාදයක් වූ හෝ පාදයකට අධික මුදලක් හෝ බදු වශයෙන් ගෙවිය යුතු භාණ්ඩයක් පිටතට දැමුයේ නම් භික්ෂුව පරිජි වේ. බදු නො ගෙවා අන් ක්‍ර‍මයකින් සඟවා බඩුවක් ගෙන ගිය ද පරිජි වේ.

මෙය පිටරට යන එන භික්ෂූන් විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණෙකි. විනය නො දත් ඇතැම් භික්ෂූහු “තමන්ගේ බඩුවට රජයට කුමට නිකම් මුදල් ගෙවන්නෙමුදැ”යි සිතා බඩු සඟවා ගෙන යාමට උත්සාහ කරති. ඒ තැන්වලදී කිනම් උපායකින් හෝ බදු නො ගෙවා තමාගේ බඩුටික මෑත් කර ගන්නට උත්සාහ කරති. එසේ කර ගන්නට ලැබීම තමන්ගේ සමත්කමක් ලෙස සිතා ඒ ගැන ආඩම්බර වෙති. එයින් තමන් පාරාජිකා වූ බව ඔවුහු නො දනිති. බදු අය කරන ස්ථානයට විනය පාළියෙහි ව්‍යවහාර කරන නාමය සුංකඝාත යනුයි. බදු නො ගෙවීම සම්බන්ධයෙන් පාරාජිකාපාළියෙහි දැක්වෙන්නේ මෙසේ ය.

“සුංකඝාතං නාම රඤ්ඤා ඨපිතං හොති. පබ්බතඛණ්ඩෙ වා නදීතිත්ථෙ වා ගාමද්වාරෙ වා අත්‍ර‍ පවිට්ඨස්ස සුංකං ගණ්හන්තූති. තත්‍ර‍ පවිසිත්වා රාජග්ඝං භණ්ඩං පඤ්චමාසකං වා අතිරේක පඤ්ච මාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති ආපත්ති ථුල්ලච්ච යස්ස. පඨමං පාදං සුංකඝාතං අතික්කාමෙති ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාරාජිකස්ස. අන්තො සුංකඝාතෙ ඨිතො බහි සුංකඝාතං පාතෙති ආපත්ති පාරාජිකස්ස. සුංකං පරිහරති ආපත්ති දුක්කටස්ස.”[1]

4. අත්ථසාධකාවහාරය.

භාණ්ඩය ගැනීමට කලින් ම පාරාජිකා වීම නමැති කාරණය සිදුවන්නා වූ අවහාරය අර්ථසාධකාවහාර නමි. භික්ෂුවක් අසවල් භාණ්ඩය ඉඩ ලැබුණු විටෙක සොරකම් කරන්නයයි අණ කල කල්හි අණ ලත් භික්ෂුව එය නො වරදවා කෙරේ නම් අණ කළ භික්ෂුව එකෙණෙහි ම පාරාජිකා වේ. අර්ථසාධක චේතනාව වනාහි එකෙණෙහි ම ඵලය ඇති කරන ලෝකෝත්තර මාර්ග චේතනාව මෙන් පාරාජිකාපත්ති සංඛ්‍යාත ඵලය එකෙණෙහි ම ඇති කරයි. අණ පිළිගත් භික්ෂුව පාරාජිකා වන්නේ සොරකම කළ දිනෙක ය. සොරකම කෙරෙන්නේ අණ කළ භික්ෂුව මළ පසු වුව ද ඔහු මැරෙන්නේ පාරාජිකා වී ය. ආණත්තිකාවහාර අත්ථසාධකාවහාර යන මේ දෙක්හි එතරම් වෙනසක් නැත. එහි වෙනස: එද එදා ඒ ඒ වෙලාවේ ම ගැනීමට අණ දීම ආණත්තිකාවහාරය ය. සැට වසකින් පසුව වුවද හැකි වූ විටෙක ගැනීමට අණ දීම අත්ථසාධකාවහාරය ය.

“තං ඛණං ඒව ගහණෙ නියුජ්ජනං ආණත්තිකප්පයොගො, කාලන්තරෙන ගහණත්ථං නියොගො අත්ථසාධකො.”[2]

5. ධුරනික්ඛෙපාවහාරය.

යම්කිසි වස්තුවක් ගැන ඇති ආශාව නමැති බර බහා තැබීම ධුරනික්ඛෙප නමි. එනම්: යම්කිසිවක් ගැන තුබූ ආශාව බලාපොරොත්තුව අත්හැරීම ය. හිමියාගේ බලාපොරොත්තුව අත් හැරීමෙන් සිදුවන අදින්නාදානය ධුරනික්ඛෙපාවහාරය ය. භික්ෂුවක් වෙත පරෙස්සමට තැබූ වස්තුවක් ආපසු නො දෙන කල්හි හිමියාගේ ධුරනික්ෂේපයෙන් භික්ෂුව පරිජි වේ. ණය නො ගෙවීමෙන් ද එසේ ම වේ. තමා විනාශ කළ අනුන්ගේ දෙයක අලාභය නො ගෙවන භික්ෂුව හිමියාගේ ධුරනික්ෂේපයෙන් පරිජි වේ.

  1. පාරා - 55 පි.

  2. විනයත්ථමඤ්ජුසා - 72 පි - යූ. පී. ඒකනායක.