නඩුකීම

star_outline

නඩු කීම සම්බන්ධයෙන් වන ඇවැත් දැක්විය යුත්තේ ද්විතීය පාරාජිකා ශික්ෂාපදය හා භික්ෂුණී විභංගයේ උස්සයවාදිකා ශික්ෂාපදය අනුව ය. නඩුකීම සම්බන්ධයෙන් භික්ෂූන්ට විශේෂයෙන් පනවන ලද සිකපදයක් නැත. උස්සයවාදිකා ශික්ෂාපදය නඩුකීම සම්බන්ධයෙන් භික්ෂුණීන්ට පනවන ලද සිකපදයෙකි. එය එක්තරා ප්‍ර‍මාණයකින් භික්ෂූන්ට ද සාධාරණය. ඒ මෙසේය.

“යා පන භික්ඛුනී උස්සයවාදිකා විහරෙය්‍ය ගහපතිනා වා ගහපතිපුත්තෙන වා දාසෙන වා කම්මකාරෙන වා අන්තමසො සමණපරිබ්බාජකෙනාපි, අයං භික්ඛුණී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සංඝාදිසෙසං.”[1]

යම් මෙහෙණක් ගැහැවියකු හා හෝ ගැහැවිපුතකු හා හෝ දසකු හා හෝ කම්කරුවකු හා හෝ යටත් පිරිසෙයින් මහණ පිරිවැජියකු හා ද නඩු කියන්නියක්ව හැසිරෙන්නී ද ඒ මෙහෙණ විනිශ්චය අවසන් වනු සමඟ ම පැමිණීම ඇති භික්ෂුණී සංඝයා කෙරෙන් බැහැර කිරීමට සුදුසු වන සංඝාදිසේසාපත්තියට පැමිණියා වන්නීය.

යම් මෙහෙණක් ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ දාසයකුට හෝ කම්කරුවකුට හෝ යටත් පිරිසෙයින් බුදුසසුනෙන් පිටත පැවිදිබවක් ලබා සිටින පිරිවැජියකුට හෝ විරුද්ධව විනිසකරුවකු ඉදිරියේ නඩුවක් කීමට සිතා සහකාරයකු සොයා නම් දුකුළා ඇවැත් වේ. විනිසකරු වෙත යා නම් දුකුළා ඇවැත් වේ. එකකුගේ කථාව විනිසකරුට කීමෙන් දුකුළා ඇවැත් වේ. දෙවැන්නාගේ කථාව විනිසකරුට කීමෙන් ථුලැසි ඇවැත් වේ. නඩුවෙන් දිනුව ද පැරදුණ ද විනිශ්චයාවසානයේ දී මෙහෙණට සංඝාදිසේසාපත්ති වේ. මෙහෙණ විසින් ම දෙදෙනාගේ ම කථා විනිසකරුට කීව ද විත්තිකරු විසින් දෙදෙනාගේ කථාව විනිසකරුට කීව ද පළමු කථාවෙන් භික්ෂුණියට දුකුළා ඇවැත් ද දෙවන කථාවෙන් ථුලැසි ඇවැත් ද වේ. භික්ෂුණිය අනිකකු ලවා නඩුව කියවුව ද එසේ ම ඇවැත් වේ. එසේ කිරීමෙන් භික්ෂූන්ට තුන් තැනදී ම දුකුළා ඇවැත් වේ. සංඝාදිසේස නො වේ.

“අනාපත්ති මනුස්සෙහි ආකඩ්ඪියමානා ගච්ඡති, රක්ඛං යාචති, අනොදිස්ස ආචික්ඛති.”[2]

මෙසේ අනාපත්තිවාරයේ වදාරා ඇති බැවින් නඩුවක් සඳහා අන්‍යයන් විසින් භික්ෂුණිය විනිසකරු වෙත පමුණුවනු ලැබීම නිසා එහිදී තමාගෙන් විමසන කරුණක් විනිසකරුට කීමෙන් ද ආරක්ෂාව ඉල්ලීමෙන් ද පුද්ගල නියමයක් නො කොට තමාට කළ වරද පමණක් කීමෙන් ද ඇවැත් නො වේ.

භික්ෂුණිය වෙසෙන ස්ථානය අයිති කර ගැනීම් ආදිය සඳහා අනිකකු පැමිණිල්ලක් කිරීම පිණිස බලයෙන් භික්ෂුණිය විනිසකරු ඉදිරියට පැමිණ වූ විටෙක තමාගේ අයිතිය විනිසකරුට කීමෙන් ද අනිකාගේ කතාව විනිසකරුට කීමෙන් ද නඩුව තීන්දු කිරීමෙන් ද භික්ෂුණියට ඇවැත් නො වේ. ඇවැත් වන්නේ භික්ෂුණිය තමාගේ ඕනෑකමින් ම විනිසකරුට පැමිණිල්ලක් කළ හොත් ය.

පුද්ගලනියමයක් කොට පැමිණිලි කිරීම ය, පුද්ගල නියමයක් නැතිව පැමිණිලි කිරීමය යි පැමිණිලි කිරීම දෙයාකාර වේ. ආරාමයට වැද ගස්වල ගෙඩි කඩා ගැනීම, ගස්කපා ගැනීම, බඩු පැහැර ගැනීම ආදී යම්කිසි වරදක් අනිකකු කළකල්හි අසවලා අපට මේ වරද කෙළේය යි විනිසකරුවන්ට පැමිණිලි කිරීම පුද්ගල නියමයක් ඇතිව පැමිණිලි කිරීමය. එසේ පැමිණිලි කිරීම නුසුදුසු ය. එසේ පැමිණිල්ලක් කළ කල්හි විනිසකරු විත්තිකරුගෙන් දඩයක් අය කෙලේ නම් විත්තිකරුට ඒ අලාභය භික්ෂුණිය නිසා වූ බැවින් ඇය ඔහුට අලාභය ගෙවිය යුතුය, දඬුවම භික්ෂුණියගේ ඉල්ලීමෙන් නො කළ බැවින් ඈ පරිජි ඇවතට නො පැමිණේ. අලාභය නො ගෙවුව හොත් පසුව පරිජි ඇවත ද විය හැකිය. දඩ අය කරන බව නො දැන වුව ද පුද්ගලනියමය ඇතිව පැමිණිලි කිරීමෙන් යමකුට දඩ ගෙවන්නට සිදුවී නම් භික්ෂුණිය අලාභය ගෙවිය යුතුය.

ඇතැම්හු අපගේ ආරාමයේ ගස්වල ගෙඩි කඩා ගනිත්ය. ගස් කපා ගනිත්ය, බඩු පැහැර ගනිත්ය, අපට ආරක්ෂාව සලසා දෙන්නය යි විනිසකරුවන්ට සැලකරති. එසේ සැලකිරීම පුද්ගලනියමයක් නැතිව පැමිණිලි කිරීමය. එය පැවිද්දන්ට කැපය. විනිසකරු එසේ කරන්නෝ කවරහු දැ යි විචාළ හොත් පුද්ගලයන් කීම අපට අකැපය. ආරක්ෂාව පමණක් අපට ඇති කර දෙන්නයයි ද පැහැර ගත් අපගේ බඩුත් ලබා දෙන්නයයි ද කිය යුතුය. එසේ කී කල්හි විනිසකරු වරද කරුවන් සොයා ඔවුන්ගෙන් දඩ අය කළ ද ඔවුනගේ සකල සම්පත්තිය ම දඩ වශයෙන් ගත ද භික්ෂුණියට ඇවැත් නො වේ. ඇය අලාභයක් ද නො ගෙවිය යුතු ය.

තමාගේ දෙයක් සොරකු ගත් කල්හි අසවලා අපගේ මෙනම් භාණ්ඩය සොරා ගත්තේය. ඔහුට දඬුවම් නො කොට අපගේ භාණ්ඩය ගෙන්වා දෙන්නය යි තමාගේ වචනයට ගරු කරන විනිසකරුවකුට කීම සුදුසුය. එසේ කී කල්හි විනිසකරු සොරාගෙන් දඩ අය කෙළේ ද භික්ෂුණිය විසින් එය ගෙවිය යුතු නො වේ. ඇයට ඇවතක් ද නො වේ. සොරාගෙන් දඩ අය කරනු ඇතය සිතා පැමිණිල්ල කළ කල්හි සොරාගෙන් දඩ ගත ද භික්ෂුණිය පාරාජිකා නො වේ. සොරාට අලාභය ගෙවිය යුතු වේ. භික්ෂුණියගේ කීමෙන් විනිසකරු වරදකරුගෙන් පාරාජිකාවට වස්තු වන තරමේ දඩයක් ගත හොත් භික්ෂුණිය එකෙණෙහි පාරාජිකා වේ. අලාභය ගෙවා ඇවතින් නො මිදිය හැකිය. නඩු කීමෙන් භික්ෂූන්ට ඇවැත්වීම නො වීම කිය යුත්තේ ද භික්ෂුණීන් සම්බන්ධයෙන් කියන ලද කරුණු අනුව ම ය. වෙනස නඩු කීමෙන් භික්ෂූන්ට සංඝාදිසේසාපත්තියක් නො වීම පමණෙකි.

විනය ග්‍ර‍න්ථයන්හි නඩුකීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ අතීත කාලයේ පැවති අධිකරණ විනිශ්චය කිරීමේ ක්‍ර‍මයටය. මෙකල ඇත්තේ එයට වෙනස් අධිකරණ විනිශ්චය ක්‍ර‍මයකි. අපරාධයක් කළ කල්හි සොරකමක් කළ කල්හි මෙ කල පැමිණිලි කළ යුත්තේ විනිශ්චයකාරයාට නො ව පොලීසියට ය. විනිශ්චයකාරයා වෙත නඩුව පැමිණිලි කරන්නේ පොලීසිය ය. පොලීසියට පැමිණිලි කිරීම ද විනිසකරුට පැමිණිලි කිරීමට සමාන බව කිය යුතු ය.

සංඝයාට අයත් වූ හෝ තමාට පෞද්ගලික වශයෙන් අයත් වූ හෝ කප්පිය වස්තුවක් අනිකකු අල්ලාගෙන සිටිනා කල්හි එය තමාට ලබා දෙන ලෙස පොලීසියෙන් හෝ විනිසකරුවකුගෙන් හෝ ඉල්ලීම වරද නැත. සමහරවිට අනිකා ඒ අන්සතු වස්තුව තමාගේ දෙයක කියා ඔප්පු කිරීමට බොහෝ ධනය වියදම් කරනු ඇත. එයින් භික්ෂුවට වරදක් නො වේ. නඩු කියා අනුන් අයත් පන්සල් කෙත්වතු ආදිය අයිතිකර ගැනීම බරපතල කරුණෙකි. එයින් පාරාජිකා වේ.

“ආරාමං අභියුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. සාමිකස්ස විමතිං උප්පාදෙති. ආපත්ති ථුල්ලච්චයස්ස. සාමිකො න මං භවිස්සතීති ධුරං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො සාමිකං පරාජෙති. ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො පරජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස.”[3]

භික්ෂූන් විසින් විනිශ්චය කිරීමේදී පක්ෂයක් ගැනීමෙන් හෝ අල්ලස් ගෙන හෝ යම් භික්ෂුවක් හිමියා අහිමි කොට විනිශ්චය කෙළේ නම් විනිශ්චයකාර භික්ෂුවට ද පරිජි ඇවැත් වේ. එවැනි නඩුවකදී භික්ෂූන් බොරු සාක්කි කීවේ නම් ඔවුනට ද පාරාජිකාපත්තිය වේ. බොරු නඩුවකදී පැමිණිලි කරන විනිශ්චය කරන බොරු සාක්කි කියන භික්ෂූන් පාරාජිකා වන්නේ වස්තුවේ නියම හිමියා විනිශ්චය පිළිගෙන වස්තුව ගැන බලාපොරොත්තුව අත්හළ හොත්ය. වස්තුවේ නියම අයිතිකරු විනිශ්චය නො පිළිගෙන ඉදිරියට ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එතෙක් විනිශ්චයකාරාදි භික්ෂූහු පරිජි නො වෙති.

“දාසදාසීවාපි ආදීනං අත්ථාය අට්ටං කරොන්ති. අයං අකප්පිය අට්ටො නාම න වට්ටති.”[4]

දාසිදාසීන් හා වැව් කුඹුරු වතු ආදිය පිණිස නඩු කියා නම් එය අකැප නඩුවය. එබඳු නඩු භික්ෂූන්ට නො වටීය යනු එහි තේරුමය. එය නො වටීය යි දක්වා ඇත්තේ වස්තුව අකැප නිසාය. තමාට අයත් අකප්පිය වස්තුව පිළිබඳ ව නඩු කීමෙන් දුකුළා ඇවැත් වේ. පාරාජිකාවක් වැනි බරපතල දෙයක් නො වේ. සංඝයාහට කප්පිය විධියෙන් පූජා කර ඇති කෙත්වතු ආදිය පිළිබඳ අධිකරණයක් ඇති වුව හොත් පිළිපැදිය යුතු ආකාරය සාරත්ථදීපනි ටීකාවේ මෙසේ දක්වා ඇත්තේය.

“සචෙ අධිකරණට්ඨානං ගන්ත්වා අම්හාකං එසො දාසො දාසී වාසී ඛෙත්තං ආරාමො ආරාමවත්ථු ගාවො අජා කුක්කුටාති ආදිනා වොහරති, අකප්පියං. අයං අම්හාකං ආරාමිකා අයං වාපි ඉත්ථන්නාමෙන සංඝස්ස භණ්ඩධොවනත්ථාය දින්නා, ඉතො ඛෙත්තතො ආරාමතො උප්පජ්ජනකචතුපච්චයා ඉතො ගාවිතො මහිංසිතො අජතො උප්පජ්ජනකගොරසා ඉත්ථන්නාමෙන සංඝස්ස දින්නාති පුච්ඡිතෙ වා අපුච්ඡිතෙ වා වත්තුං වට්ටතීති වදන්ති.”[5]

තේරුම:

ඉදින් භික්ෂුවක් අධිකරණ විනිශ්චයස්ථානයට ගොස් මේ අපගේ දාසයෙකි, දාසියකි, වැවකි, කුඹුරකි, ආරාමයකි, ඉඩමකි, ගවයෝය, එළුවෝය, කුකුළෝය යනාදීන් කථා කෙරේ නම් එය අකැපය. මොහු අපගේ ආරාමිකයෙකි, මේ වැව මෙනම් ඇතියහු විසින් සංඝයාහට භාණ්ඩ සේදීම පිණිස දෙන ලද්දක්ය, මේ කුඹුරෙන් මේ වත්තෙන් උපදනා සිවු පසය මේ එළදෙනගෙන් මේ මී දෙනගෙන් මේ එළුදෙනගෙන් උපදනා ගෝරසයන් මෙනම් ඇතියහු විසින් සංඝයාහට දෙන ලද්දේය යි විචාළ කල්හි ද නො විචාළ කල්හි ද කීම වටනේය යි විනයධරයෝ කියති.

එසේ කීම සුදුසු බව වජිරඛුද්ධිටීකාවෙහි පැහැදිලි ලෙස කෙළින් ම කියා ඇත්තේ ය. මේ සම්බන්ධයෙන් විමතිවිනෝදනී ටීකාවේ දැක්වෙන්නේ මෙසේය.

“දාසාදීනම්පි අත්ථාය රක්ඛං යාචිතුං, වොහාරිකෙහි පුට්ඨෙන සංඝස්ස උප්පන්නං කප්පියක්කමං වත්තුං, ආරාමිකාදීහි ච අට්ටං කාරාපෙතුඤ්ච වට්ටති එව. විහාරවත්ථාදි කප්පියඅට්ටං පන භික්ඛුනො සයම්පි කාතුං වට්ටති.”[6]

තේරුම:

දාසාදීන් පිණිස ආරක්ෂාව ඉල්ලීමට ද විනිශ්චයකාරයන් විසින් විචාරන ලද්දේ සංඝයාහට ලැබුණු කැප ක්‍ර‍මය කරන්නට ද ආරාමිකාදීන් ලවා නඩු කියවන්නට ද වටනේ ම ය. විහාර, විහාරභූමි ආදි කප්පියවස්තූන් ගැන භික්ෂූන්ට තමා විසින් ම නඩු කියන්නට ද වටී.

  1. පාචි - 248 පි.

  2. පාචි - 249 පි.

  3. පාරා - 52 පි.

  4. ස.පා. – 677 පි.

  5. සාරත්ථ - 3 -116 පි.

  6. විමති - 348 පි.