සාමණේරයන්ගේ වෘද්ධපටිපාටිය.

පසුව උපසපන් වූවහු විසින් කලින් උපසපන්වූවහුට වැඳියයුතුය යන මේ නීතිය අනුව පසුව පැවිදි වූ සාමණේරයා විසින් කලින් පැවිදි වූ සාමණේරයාට වැඳිය යුතුය යි කිය යුතු ය. එහෙත් සාමණේර වෘද්ධපටිපාටිය ගැන විනයපාළියේ කිසිවක් සඳහන් වී නැත. අටුවාටීකාවල ද කිසිවක් කියා නැත. නැත්තේ සාමණේර වෘද්ධපටිපාටියක් ස්ථිර වශයෙන් පැවැත්විය නො හෙන නිසා විය හැකි ය. දසනාසනාංගයන් අතුරෙන් යම්කිසිවකට පැමිණි සාමණේරයාගේ සාමණේරභාවය එයින් කෙළවර වේ. මදුරුවකු මැරීමෙන් වුව ද කවට කමට බොරුවක් කීමෙන් වුව ද සාමණේරභාවය නැති වේ.

“සාමණේරො හි කුන්ථකිපිල්ලකං’ පි මාරෙත්වා මංකුණණ්ඩකම්පි භින්දිත්වා නාසෙතබ්බං යෙව පාපුණාති. තාවදෙවස්ස සරණගමනානි ච උපජ්ජායගහණඤ්ච සෙනාසනග්ගාහො ච පටිප්පස්සම්භති. සංඝලාභං න ලභති. ලිංගමත්තමෙව එකං අවසිට්ඨං හොති.”[1]

මේ අටුවාපාඨයෙන් කියැවෙන්නේ සාමණේරයා උකුණකු කුහුඹුවකු වුව ද මරා මකුණු බිත්තරයක් වුව ද බිඳ නැසිය යුත්තකු බවට පැමිණේය, එකෙණෙහිම ඔහුගේ සරණගමනය ද උපාධ්‍යායග්‍ර‍හණය ද සෙනසුන් ගැනීම ද නැති වන්නේය. සංඝලාභය නො ලබන්නේ ය. ඔහුට එකක් වූ ශ්‍ර‍මණ වේශය පමණක් ඉතිරි වේය කියාය. ඔහුට ඉතිරි වන ශ්‍ර‍මණ වේශය වැඩිමහලු භාවය පැවතීමට සෑහෙන කරුණක් නො වේ. නැසිය යුතු බවට පැමිණි සාමණේරයා ආයතිසංවරයේ පිහිටා නැවත සරණසමාදානය කළහොත් ඔහු අලුත් සාමණේරයෙක් වේ. උපසම්පන්නයකු ශික්ෂාපත්‍ර‍්‍යාඛ්‍යානය කොට සිවුරෙන් ම සිට නැවත උපසම්පදා වුවහොත් ඔහුට භික්ෂූන් අතර පළමු සිටි තැන නො ලැබේ. ඔහු නවකයෙක් වේ. නවකභාවයට පැමිණි ඔහු විසින් කලින් තමාට බාලව සිටි භික්ෂූන්ට වැඳිය යුතු වේ. එමෙන් නැසිය යුතු බවට පැමිණ සරණ සමාදන් වූ සාමණේරයා ද නවකයෙක් වේ. සාමණේරශීලය දිගු කලක් පැවැත්වීමට දුෂ්කර ය. සාමණේරයන්ට ශීල භේදයට පැමිණිමෙන් නැවත නැවත සරණ සමාදන් වීමෙන් අලුත් වන්නට සිදු වේ. එබැවින් සාමණේරයන් අතර වෘද්ධපටිපාටියක් පැවැත්වීම දුෂ්කර ය. නැසිය යුතු බවට පැමිණ සිටින කොතරම් පරණ සාමණේරයකුට වුව ද එදින පැවිදි වූවකුගෙන් වුව ද වැඳුම් ලැබීම නුසුදුසු ය. මේ සාමණේරයන් විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණෙකි.

  1. ස.පා. – 757 පි.