වැඳිය යුතු ආකාරය.

star_outline

“නවකතරෙනුපාලි, භික්ඛුනා වුඩ්ඪතරස්ස භික්ඛුනො පාදෙ වන්දන්තෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පාදා වන්දිතබ්බා. කතමෙ පඤ්ච? නවකතරෙනුපාලි, භික්ඛුනා වුඩ්ඪතරස්ස භික්ඛුනො පාදෙ වන්දන්තෙන එකංසං උත්තරාසංගං කරිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා උභොහි පාණිතලෙහි පාදානි පරිසම්බාහන්තෙන පෙමං ච ගාරවං ච උපට්ඨපෙත්වා පාදා වන්දිතබ්බා. නවකතරෙනුපාලි වුඩ්ඪතරස්ස භික්ඛුනො පාදෙ වන්දන්තෙන ඉමෙ පඤ්චධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පාදා වන්දිතබ්බා.”[1]

මහලු භික්ෂුවකගේ පා වඳනා නවක භික්ෂුව විසින් කොතෙක් ධර්ම තමා කෙරෙහි පිහිටවා ගෙන ඒ වන්දනාව කළ යුතුදැයි උපාලි මහාස්ථවිරයන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඉහත දැක්වූ පාඨය වදාළ සේක. එයින් ප්‍ර‍කාශ වන්නේ කරුණු පසක් තමා කෙරෙහි පිහිටවා ගෙන වැඳීම කළ යුතු බවය. ඒ කරුණු පස නම් සිවුර ඒකාංස කොට පෙරවීම, සිටගෙන ම දොහොත් එකතු කොට එසවීම, ඉක්බිති මහලු භික්ෂුවගේ පතුල් තමාගේ අත්වලින් පිරිමැදීම, ආදරයෙන් යුක්තවීම, ගෞරවයෙන් යුක්තවීම යන මේවා ය. වැඳීමේදී තමාගේ දෙදණ දෙවැලමිට නළල යන පඤ්චාංගය බිම පිහිටුවා වැඳිය යුතුය. අනේකප්‍ර‍කාර වන්දනාක්‍ර‍ම අතුරෙන් මේ ඉතා හොඳ වන්දනා ක්‍ර‍මය ය. මෙකල භික්ෂූහු වැඩිමහල්ලන්ට වඳිතත් බුදුරදුන් වදාරන ලද ඒ ක්‍ර‍මයේ සැටියට වැඳීම පුරුදු කරගෙන නැත. බුදුන් වහන්සේ වදාළ ක්‍ර‍මය හැර අන් ක්‍ර‍මවලින් වැඳීම ආපත්තිකර කරුණක් නො වතුදු එය භික්ෂූන්ගේ පරිහාණියට කරුණකි. අන්‍යෝන්‍ය ගෞරවය භික්ෂූන්ගේ දියුණුවට බලවත් හේතුවකි. කියන ලද පරිදි පතුල් පිරිමැද ආදරයෙන් ගෞරවයෙන් වඳින්නා වූ නවකයා ගැන ඉමහත් මෛත්‍රියක් කරුණාවක් මහලු භික්ෂුවට ඇති වේ. එයින් මහලු භික්ෂුව “නිදුක් වේවා, නීරෝගි වේවා, සුවපත් වේවා” යි ඉතා ආදරයෙන් සුබ පතයි. එය නවක භික්ෂුවගේ ආයුරාරෝග්‍ය වර්ධනයට බලවත් හේතුවක් වේ. මේ වන්දනාව භික්ෂූන් අතර සමගිය අන්‍යෝන්‍ය හිතවත්භාවය ඇතිවීමට ද බලවත් හේතුවක් වේ. ගෝලයන් තනන මහතෙරවරුන් විසින් තම තමන්ගේ ගෝලයන්ට නියම ක්‍ර‍මයෙන් වැඳීම පුරුදු කරවිය යුතු ය. එය වයස්ගත වූවන්ට පුරුදු කරවීම දුෂ්කරය.

  1. පරිවා - 252 පි.