ධර්මදේශනාව

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සස්න පිහිටවන ලද්දේ ධර්මදේශනයෙනි. සර්වඥශාසනයේ චිරස්ථිතියට ඇති ප්‍ර‍ධාන හේතුව ධර්මදේශනාව ය.

“ගිහීනමුපකරොන්තානං - නිච්මාමිසදානතො,

කරොථ ධම්මදානෙන - තෙසං පච්චුපකාරකං.”[1]

යනුවෙන් “නිත්‍යයෙන් ආමිෂදානයෙන් පැවිද්දන්ට උපකාර කරන්නා වූ ගිහියන්ට ධර්මදානයෙන් ප්‍ර‍ත්‍යුපකාර කරව්ය” යි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට වදාරා ඇත්තේය. එබැවින් සියලු භික්ෂූන් විසින් ම යටත් පිරිසෙයින් ධර්මදේශනා සතරක් පසක්වත් කිරීමේ ශක්තිය ඇතා කඑ ගත යුතුය. නො මනා පරිදි දහම් දෙසීමෙන් දේශකයාටත් ලෝකයාටත් අනර්ථය සිදුවන්නේය. දහම් දෙසීම ධර්මයට විනයට අනුව ම කළ යුතුය. ධර්මදේශනාව සම්බන්ධයෙන් දේශිත බොහෝ සූත්‍ර‍ ධර්ම ඇත්තේ ය. ඉන් එක් සූත්‍ර‍යක් මෙසේ ය.

“න ඛො ආනන්ද, සුකරං පරෙසං ධම්මං දෙසෙතුං, පරෙසං ආනන්ද ධම්මං දෙසෙන්තෙන පඤ්චධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො. කතමෙ පඤ්ච?

ආනුපුබ්බිකථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෛතබ්බො,

පරියායදස්සාවිකථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො,

අනුද්දයතං පටිච්ච කථං කථෙස්සාමීති පරෙස්සං ධම්මො දෙසෙතබ්බො.

අත්තානඤ්ච පරඤ්ච අනුපහච්චකථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො,

න ඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දෙසෙතුං. පරෙසං ආනන්ද ධම්මං දෙසෙන්තෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො.”[2]

තේරුම:

ආනන්දය, අනුන්ට දහම් දෙසීම පහසු නොවේ. ආනන්දය, පහරට දහම් දෙසන්නහු විසින් කරුණු පසක් තමා තුළ පිහිටවා ගෙන දහම් දෙසිය යුතුය. කවර කරුණු පසක් ද යත්?

අවුලෙන් තොර පිළිවෙළක් ඇති කථාවක් කරමියි පරහට දහම් දෙසිය යුතුය, ඒ ඒ අර්ථයට සුදුසු පරිදි කරුණු දක්වන කථාවක් කරමියි පරහට දහම් දෙසිය යුතුය. දුකට පත් සත්ත්වයන් දුකින් මුදවමියි යන අනුකම්පාවෙන් කථාවක් කරමියි පරහට දහම් දෙසිය යුතුය. තමාට ආමිෂයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් තොර කථාවක් කරමියි පරහට දහම් දෙසිය යුතුය. තමාත් අන්‍යයාත් ගුණ නැසීම් වශයෙන් නො නසන කථාවක් කෙරෙමියි පරහට දහම් දෙසිය යුතුය. ආනන්දය, අනුන්හට දහම් දෙසීම පහසු නැත. ආනන්දය අන්හට දහම් දෙන්නහු විසින් මේ කරුණු පස තමා කෙරෙහි පිහිටවා අනුන්ට දහම් දෙසිය යුතුය.

මේ කරුණු පස තමා කෙරෙහි නො පිහිටවා දහම් දෙසන භික්ෂුවගේ ධර්මදේශනාව ශුද්ධ නැත. අශුද්ධ ධර්මදේශනාවෙන් වන්නේ දේශකයාටත් අසන්නාටත් අවැඩකි.

  1. බුද්ධවංසට්ඨකථා - හේ. වි. සං. – 17 පි.

  2. අංගුත්තර නිකාය - පඤ්චකනිපාත.