දහම් දෙසීම පිළිබඳ සිකපද.

star_outline

“න භික්ඛවෙ ආයතකෙන ගීතස්සරෙන ධම්මො ගායිතබ්බො, යො ගායෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[1]

මහණෙනි, දික් වූ ගීතස්වරයෙන් ධර්මය ගායනය නො කළ යුතු ය. යමෙක් ගායනා කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

ශාසනයෙහි සූත්‍ර‍ධර්ම කීමේ ක්‍ර‍මයක් ද, ජාතක කථා කීමේ ක්‍ර‍මයක් ද, ගාථා කීමේ ක්‍ර‍මයක් ද ඇත්තේ ය. ඒවා විනය අටුවාවෙහි “වත්” යන නමින් දක්වා ඇත. ඒ වත් බිඳ වචනය නැසෙන ලෙස අකුර නැසෙන ලෙස පමණට වඩා දික් කොට කීමෙන් ඇවැත් වේ. පමණට වඩා දික් කොට කියන කල්හි සමහර විට වචනය මැදින් කැඩී තේරුම් ගත නො හැකි වෙයි. එය වචනය නැසීම ය. පමණට වඩා දික් කොට කියන කල්හි අකුර ද වීණාශබ්දාදියක් මෙන් වී තේරුම් ගත නො හැකි තත්ත්වයට පැමිණේ. එය අකුර විනාශ වීම ය. මේ සිකපදය පැන වූ පසු භික්ෂූන්ට හඬ නඟා ධර්මය කීමෙන් ද ඇවැත් වේ දෝයි සැක ඇති විය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි “අනුජානාමි භික්ඛවෙ සරභඤ්ඤං.”[2] යනුවෙන් සරභඤ්ඤය අනුදැන වදාළ සේක.

තරංගවත තරංගභේදවත ගලිතවත යනාදි සරභඤ්ඤයේ ක්‍ර‍ම දෙතිසක් ඇතය යි අටුවාවෙහි කියා තිබේ. ඒවා ගැන විස්තරයක් අටුවා ටීකාවල දක්නට නැත. කියන ලදනම් තුන හැර ඉතිරි වත්වල නම් පවා අටුවාටීකාවල සඳහන් වී නැත. දැනට ඒවා දන්නා කෙනකු ඇති බව ද අසන්නට නැත. “තරංගවත්තාදීනං උච්චාරණවිධානානි නට්ඨප්පයොගානී”[3] යන සාරත්ථදීපනි ටීකා පාඨයෙන් පෙනෙන්නේ ටීකා ලියන කාලයේදී ද ඒවා දත් අය නො විසූ බව ය.

“න භික්ඛවෙ සංඝමජ්ධෙ අනජ්ඣිට්ඨෙන ධම්මො භාසිතබ්බො. යො භාසෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ථෙරෙන භික්ඛුනා සාමං වා ධම්මං භාසිතුං පරං වා අජ්ඣෙසිතුං.”[4]

මහණෙනි, සඟ මැද ආරාධනා නො කන ලද්දාහු විසින් දහම් නො දෙසිය යුතු ය. යමෙක් දෙසුයේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, ස්ථවිර භික්ෂුව විසින් තමා ම දහම් දෙසීමට හෝ අනිකකුට ආරාධනා කිරීමට හෝ අනුදනිමි.

ධර්මදේශනාවට ආරාධනා කිරීම වනාහි සංඝයා විසින් ආරාධනා කිරීමට සම්මත කරන ලද භික්ෂුවට හා සංඝස්ථවිරයන් වහන්සේට ද අයත් ය. සෙස්සන් විසින් තම තමන්ගේ අදහස් අනුව සඟමැද දහම් දෙසීමට ආරාධනා නො කළ යුතු ය. ධර්මදේශනයට ආරාධනා කරන්නකු නැති කල්හි සංඝස්ථවිරයන් වහන්සේගෙන් විචාරා හෝ උන් වහන්සේගේ ඉල්ලීමෙන් හෝ දහම් දෙසිය හැකිය. ඉදින් විහාරයෙහි බොහෝ ධර්ම කථිකයන් ඇති නම් සංඝස්ථවිරයන් වහන්සේ විසින් වාර පිළිවෙළින් දහම් දෙසීමට ආරාධනා කළ යුතු ය. සංඝස්ථවිරයන් වහන්සේ ඔබ දහම් දෙසන්නය යි අනියමින් ආරාධනා කළ හොත් දේශක භික්ෂුවට කැමති පරිදි දහම් දෙසිය හැකිය. ඔබ පාළිය කියන්නය යි ආරාධනා කළ හොත් පාළිය පමණක් කිය යුතුය. අර්ථ කියන්නය යි ආරාධනා කළ හොත් පාළියේ අර්ථය පමණක් කිය යුතු ය. සරභඤ්ඤයෙන් දහම් දෙසන්නය යි ආරාධනා කළ හොත් සරභඤ්ඤයෙන් පමණක් දහම් දෙසිය යුතුය. “සරභඤ්ඤ” යනු ශබ්ද නඟා හොඳින් කීම ය. ආරාධනා කිරීමේ දී සංඝස්ථවිරයන් විසින් දේශකයා හිඳින අසුනට උස් අසුනක හිඳ ආරාධනා නො කළ යුතුය. ඉදින් උපාධ්‍යාය වූ සංඝස්ථවිරයන් වහන්සේ විසින් උසසුනක හිඳ සද්ධිවිහාරිකයකුට දහම් දෙසන්නය යි කියුව හොත් සද්ධිවිහාරිකයා විසින් ධර්මය සජ්ඣායනා කරමියි ඉටා දහම් දෙසිය යුතු ය. පහත් අසුන්වල හිඳිනා නවක භික්ෂූන් ඇති නම් ඔවුන්ට දෙසමි යි දහම් දෙසිය යුතු ය. සංඝස්ථවිරයන් නැති අතර දහම් දෙසීම ආරම්භ කළ භික්ෂුව ධර්මය දේශනා කරමින් සිටින අතර සංඝස්ථවිරයන් පැමිණියේ ද නවත්වා අවසර ගැනීමක් නො කොට දිගට ම ධර්මදේශනාව කරගෙන යාමෙන් වරද නැත. නවතා සිටින අතර සංඝස්ථවිරයන් පැමිණියේ නම් පසුව දහම් දෙසීමේදී අවසර ගෙන කළ යුතුය. දානශාලාදියෙහි දහම් දෙසීම හා ආරාධනා කිරීම ද සංඝස්ථවිරයන්ට ම අයත් ය. දානශාලාදියෙහි ගිහියන් විසින් ඔවුන් කැමති භික්ෂුවකට දහම් දෙසීමට ආරාධනා කළ හොත් ඒ භික්ෂුව සංඝස්ථවිරයන් වහන්සේගෙන් අවසර ලබා දම් දෙසිය යුතු ය.

“අනුජානාමි භික්ඛවෙ භත්තග්ගෙ චතූහි පඤ්චහි ථෙරානුථෙරෙහි භික්ඛූහි ආගමෙතුං”[5] යි වදාරා ඇති බැවින් දානගෙයකදී සංඝස්ථවිරයන් වහන්සේ විසින් හෝ උන්වහන්සේගේ ආරාධනාව ලත් භික්ෂුවක් විසින් හෝ දහම් දෙසන කල්හි ධර්මදේශකයා තනි කර දමා සෙසු භික්ෂූන් නො යා යුතු ය. ධර්මදේශකයා සමග එනු පිණිස භික්ෂූන් සතරපස්නමක් එහි නැවතිය යුතුය. සංඝස්ථවිරයන් වහන්සේ දහම් දෙසත් නම් දෙවන ස්ථවිරයන්ගේ පටන් සතර නමක් එහි නැවතිය යුතු ය. දහම් දෙසීම දෙවනතෙරුන් විසින් කරත හොත් සංඝස්ථවිරයන් හා පහළින් තුන් නමක් නැවතිය යුතු ය. පස්වන ස්ථවිරයන් දහම් සෙත හොත් සංඝස්ථවිරයන්ගේ පටන් සතරනමක් නැවතිය යුතු ය. සංඝස්ථවිරයන් වහන්සේගේ ඉල්ලීමේන නවක භික්ෂුවක් දහම් දෙසන කල්හි ද සංඝස්ථවිරයන්ගේ පටන් සතර නමක් නැවතිය යුතු ය. ඉදින් ධර්ම දේශකයා “ස්වාමීනි, වැඩමවන්නය නො නැවතුනාට කම් නැත” යි කියා නම් යා හැකිය. ධර්මදේශකයාගේ අනුමැතිය ලබා ද යා හැකිය. නැවතුනු භික්ෂූන් අතරින් යම් කිසිවකුට යාමට හදිසි කරුණක් ඇති වී නම් සමීපයේ සිටින භික්ෂුවකට දන්වා යා හැකිය. ගිහියන් විසින් ඔවුන් කැමති භික්ෂුවක් ලවා දහම් දෙසීම කරවන කල්හි නො විචාරා යාමෙන් ද වරද නැත.

  1. චූල - 191 පි.

  2. චූල - 191 පි.

  3. සාර්ථි - 3,381 පි.

  4. මහා - 272 පි.

  5. පාචි - 24 පි.