මහානාම ශික්ෂාපදය.

“අගිලානෙන භික්ඛුනා චතුමාසපච්චය පවාරණා සාදිතබ්බා, අඤ්ඤත්‍ර‍ පුන පවාරණාය අඤ්ඤත්‍ර‍ නිච්චපවාරණාය තතො චෙ උත්තරිං සාදියෙය්‍ය පාචිත්තියං.”[1]

බුදුන් වහන්සේගේ සුළුපියාගේ පුත්‍ර‍යකු වන වයසින් උන් වහන්සේට මසකින් වැඩි මහානාමශාක්‍ය නම් වූ සකෘදාගාමි ආර්‍ය්‍යශ්‍රාවකයෙක් විය. ඡබ්බග්ගිය භික්ෂූන් විසින් එතුමාට කළ කරදරයක් නිමිත්ත කොට මේ සිකපදය පනවන ලදී. මේ සිකපදයට මහානාම සිකපදය යන නම දී ඇත්තේ ඒ නිසා ය. සිකපදයේ වචන අනුව එය තේරුම් කරන්නට ගිය හොත් තේරුම් ගැනීම අපහසු වන බැවින් එහි අදහස පමණක් දක්වනු ලැබේ.

මේ සිකපදයෙහි පවාරණ යන වචනයෙන් දැක්වෙන්නේ ප්‍ර‍තික්ෂේපය නොව ආරාධනාවය. සැදැහැවතකු විසින් කාල නියමයක් හෝ බෙහෙත් නියමයක් හෝ බෙහෙත්වල ප්‍ර‍මාණ නියමයක් හෝ කොට තමාගෙන් බෙහෙත් පිළිගන්නා ලෙස ආරාධනාවක් කළ හොත්. ඒ අවස්ථාවෙහි බෙහෙත් වුවමනා නැත ද රෝගයක් සැදුණු විටෙක ගන්නා අදහසින් ඒ ආරාධනාව පිළිගත යුතුය. තෙමසක් මගෙන් බෙහෙත් ඉල්ලන්නය සිවුමසක් ඉල්ලන්නය යනාදි කාල නියමයක් කොට පවාරණය කළ (ආරාධනය කළ) දායකයාගෙන් යම් භික්ෂුවක් ඒ කාලය ඉක්මීමෙන් පසු බෙහෙත් ඉල්ලා නම් පචිති ඇවැත් වේ. බෙහෙත් නියමයක් ඇතිව පැවරූ දායකයාගෙන් ඔහු නියම කළ බෙහෙත් හැර අන් බෙහෙතක් ඉල්ලා නම් පචිති ඇවැත් වේ. බෙහෙත්වල ප්‍ර‍මාණයක් නියම කොට පැවරූ දායකයාගෙන් ප්‍ර‍මාණයට අධිකව බෙහෙත් ඉල්ලුව ද ඇවැත් වේ. බෙහෙත්වලින් වුවමනාවක් නැතිව සනීපයෙන් සිට බෙහෙත් ඉල්ලා නම් එයින් ද පචිති ඇවැත් වේ. පවාරණයේ කාලය ඉක්ම ගිය පසු රෝගයක් වැළඳුණ හොත් කාරණය කියා ඒ දායකයාගෙන් බෙහෙත් ඉල්ලුව ද ඇවැත් නැත. ඇවැත් වන්නේ කාලය ඉක්මීමෙන් පසු ඒ පවාරණය ඉදිරිපත් කොට බෙහෙත් ඉල්ලීමෙනි. ගිලන් භික්ෂුවකට කාගෙන් බෙහෙත් ඉල්ලුව ද ඇවැත් නැත. ආහාර පිළිගැනීම හා වැළඳීම පිළිබඳ ශික්ෂාපද තිහක් සේඛියාවෙහි ඇත. ඒවා ශාසනාවතරණයෙහි[2] විස්තර කර ඇති බැවින් මෙහි නො දක්වනු ලැබේ.

  1. පාචි - 120 පි.

  2. ශාසන - 107 පි. (7 මුද්‍ර‍ණය - 85 පි.)