සුගත - තථාගත යන දෙපය රූපයෙන් හා අර්ථයෙන් ද බෙහෙවින් සමානය. බුදුරදුන් තමන් වහන්සේ ගැන බෙහෙවින් ව්‍යවහාර කර තිබෙනු පෙනෙන්නේ තථාගත යන වචනය ය. එබැවින් මෙතැන්හි තථාගත යන වචනය ද විස්තර කළ යුතු ය. බුදුරදුන් විසින් ම ද තථාගත යන වචනයේ අර්ථ විවරණයක් දීඝනිකායේ පාසාදික සූත්‍රයෙහි කර ඇත්තේය. අටුවාවල එහි අර්ථවිවරණය කර ඇත්තේ මෙසේ ය.
අට්ඨහි කාරණෙහි භගවා තථාගතො,
- තථා ආගතොති තථාගතො,
- තථා ගතොති තථාගතො,
- තථලක්ඛණං ආගතොති තථාගතො,
- තථධම්මෙ යථාවතො අභිසම්බුද්ධොති තථාගතො,
- තථ දස්සිතාය තථාගතො,
- තථවාදිතාය තථාගතො,
- තථා කාරිතාය තථාගතො,
- අභිභවනට්ඨෙන තථාගතො,
(සුමඞ්ගල විලාසිනී. 47)
1. පෙර බුදුවරුන් ආ පරිදි ආ බැවින් බුදුන් වහන්සේ තථාගත නම් වෙති. අතීතයෙහි ලොවුතුරා බුදුබවට පැමිණ වදාළා වූ සියලු බුදුවරයෝ සකල සත්ත්වයන්ට ම යහපත සැලසීමේ අදහසින් සකල සත්ත්වයන්ට ම යහපත සිදු කිරීමේ උත්සාහයෙන් ආවාහු ය. විපස්සී බුදුන් වහන්සේ ද එසේ ආහ. සිඛී වෙස්සභූ කකුසන්ද කෝණාගමන කස්සප යන බුදුවරයෝ ද එසේ ම ආහ. යම් බලාපොරොත්තුවකින් ඒ අතීත බුදුවරයෝ ආවාහු ද, ඒ බලාපොරොත්තුවෙන් ම අප බුදුරජාණන් වහන්සේ ද ආහ. යම් සේ පෙර බුදුවරයෝ දාන, ශීල, නෛෂ්ක්‍රමය, ප්‍රඥා, වීර්‍ය්‍ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන දශපාරමිතාවන්, දශඋපපාරමිතාවන්, දශ පරමාර්ථපාරමිතාවන් සම්පූර්ණ කොට අංග පරිත්‍යාග, නේත්‍ර පරිත්‍යාග, ධන පරිත්‍යාග, රාජ්‍ය පරිත්‍යාග, පුත්‍රදාර පරිත්‍යාග යන පඤ්චමහාපරිත්‍යාගයන් කොට ආවාහු ද අප බුදුරජාණන් වහන්සේ ද එසේ ආහ. යම් සේ අතීත බුදුවරයෝ සතර සතිපට්ඨානයන්, සතර සම්‍යක්ප්‍රධානයන්, සතර සෘද්ධිපාදයන්, පඤ්චේන්ද්‍රයයන්, පඤ්චබලයන්, සප්තබෝධ්‍යංගයන් වඩා ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩා ආවාහු ද, අප බුදුරජාණන් වහන්සේ ද එසේම ආහ. එසේ ආ බැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති.
2. පෙර බුදුවරයන් වහන්සේ ගිය පරිදි ගිය බැවින් බුදුරජාණෝ තථාගත නම් වෙති. විපස්සී බෝධිසත්ත්වයෝ මවුකුසින් බිහි වූ කෙණෙහි ම සමවූ පතුල්වලින් පොළොවෙහි සිටි සියලු දිග් බලා දෙවියන් විසින් චාමර සේසත් ඔසවා සිටියදී උතුරුදිග බලා සත්පියවරක් ඉදිරියට ගමන් කොට “අග්ගොහමස්මි ලොකස්ස” යනාදීන් අභීත ප්‍රකාශනයක් කළහ. සිඛී වෙස්සභූ කකුසන්ද කෝණාගමන කස්සප යන මහබෝධිසත්හු ද එසේම කළහ. අප සිද්ධාර්ථ ගෞතම බෝධිසත්ත්වයෝ ද එසේ ගමන් කළහ. ඒ ගමන අනේක විශේෂාධිගමනයන්ට පෙරනිමිත්තක් වන ගමනකි. බිම පය තබන සෙස්සන්ගේ පතුල් සම්පූර්ණයෙන් පොළොවෙහි සැපී එහි නො පිහිටයි. බෝසතුන්ගේ පතුල් සෑම තැනම පොළොවෙහි සැපී සිටින සේ බිම පිහිටයි. බෝසතුන් උපන් කෙණෙහි ම සැම තැනම බිම සැපෙන සේ පොළොවෙහි පා තබා සිටීම චතුරිද්ධිපාදයන් ලැබීමේ පෙර නිමිත්තය. උතුරට ගමන් කිරීම සකල ලෝකෝත්තර ධර්මයන් ලැබීමේ පෙරනිමිත්තය. සත්පියවරක් ගමන් කිරීම සප්තබෝධ්‍යංගරත්නයන්ගේ ප්‍රතිලාභයට පෙරනිමිත්තය. රන්ඳඩු ඇති චාමර එසවීම සකල තීර්ථකන් මැඩලීමේ පෙරනිමිත්තය. ශ්වේතච්ඡත්‍රය දැරීම අර්හත්ඵල විමුක්ති සංඛ්‍යාත ශ්වේතච්ඡත්‍රය ලැබීමේ පෙරනිමිත්තය. සකල දිශාවන් බැලීම අනාවරණ සර්වඥාතාඥානය ලැබීමේ පෙරනිමිත්තය. අභීත ප්‍රකාශනය කිරීම කිසිවකුන් විසින් පෙරළිය නො හෙන උත්තම ධර්මචක්‍රය පැවැත්වීමේ පෙරනිමිත්තය. මහබෝසතුන්ගේ ඒ ගමන නො වරදින පෙරනිමිත්තක් වන ගමනෙකි. ඒ ගමන නිමිත්තෙන් සිදුවන සියල්ල නොවරදවා එසේම සිදුවෙයි. නො වරදවා ම සිදුවන කරුණුවලට පෙරනිමිති වන ගමනක්, උපන් කෙණෙහි ම ගිය බැවින් සර්වඥයන් වහන්සේ තථාගත නම් වෙති.
තවද පෙර බුදුවරයෝ ද අප ගෞතම බුදු රජාණන් වහන්සේ ද නෛෂ්ක්‍රාම්‍යයෙන් කාමච්ඡන්දය ප්‍රහාණය කොට ඉදිරියට ගියහ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය ද, ආලෝකසංඥාවෙන් ථීනමිද්ධයන් ද, අවික්ෂේපයෙන් උද්ධච්චකුක්කුච්චයන් ද, ධර්මව්‍යවස්ථාවෙන් විචිකිච්ඡාව ද දුරුකොට ඉදිරියට ගියහ. ඥානයෙන් අවිද්‍යාව ප්‍රදාලනය කොට ගියහ. ප්‍රීතියෙන් අරතිය දුරුකොට ගියහ. ප්‍රථමධ්‍යානාදියෙන් නීවරණාදිය දුරුකොට ගියහ. සෝවාන් මාර්ගයෙන් දෘෂ්ටිය හා තදේකස්ථ ක්ලේශයන් ද, සකෘදාගාමී මාර්ගයෙන් ඖදාරික ක්ලේශයන් ද, අනාගාමී මාර්ගයෙන් අනුසයිත ක්ලේශයන් ද, අර්හන්මාර්ගයෙන් සකල ක්ලේශයන් ද ප්‍රහාණය කොට පරමසුන්දර නිර්වාණයට ගියහ. එසේ ගිය බැවින් බුදුවරු තථාගත නම් වෙති.
3. තථ යනු සත්‍යයට නමකි. නාමරූපයෙන්ගේ නියම ලක්ෂණයන් සත්‍ය ලක්ෂණයන් දැන ගැනීම දුෂ්කර ය. එබැවින් සාමාන්‍ය ලෝකයා ඒ නාමරූපයන් සත්ත්ව පුද්ගලාදි වශයෙන් ගෙන ඒවා ගැන රැවටී සිටිති. භාග්‍යවතුන් වහන්සේ ඒ නාමරූප ධර්මයන්ගේ තථ ලක්ෂණය නියම ස්වාභාවය ඇති සැටියට ම නො වරදවා දැන සිටින සේක. නාමරූප ධර්මයන්ගේ තථ ලක්ෂණය හෙවත් නියම ලක්ෂණය දැනීම තථ ලක්ෂණයට ඥානයෙන් පැමිණීමකි. තථ ලක්ෂණයට ඥාණයෙන් ඒමකි. එබැවින් ඥාණ ගමනින් තථ ලක්ෂණයට ආයේ ය, පැමිණියේ ය යන අර්ථයෙන් සර්වඥයන් වහන්සේ තථාගත නම් වෙති.
4. දුඃඛසත්‍යය, සමුදයසත්‍යය, නිරෝධසත්‍යය, මාර්ගසත්‍යය යන මේ ආර්‍ය්‍යසත්‍යයෝ සතර දෙන එසේ ම ඇති බැවින් තථ ධර්ම නම් වෙති. කිසි කලෙක අසත්‍ය නො වන බැවින් අවිතථ ධර්ම නම් වෙති. අන් අයුරකින් නො වන බැවින් අනන්‍යථ ධර්ම නම් වෙති. ඒකාන්තයෙන් ඇති බැවින් තථ නම් වූ චතුරාර්‍ය්‍යසත්‍යය ධර්මය ඇති සැටියෙන් ම අවබෝධ කළ බැවින් බුදුරජාණෝ තථාගත නම් වෙති. එහි ගත යනුවෙන් කියවෙන්නේ අවබෝධ කිරීමය යන අර්ථය ය. තවද අවිද්‍යාව සංස්කාරයන්ට හේතුවන බව ද එසේම ය. සංස්කාරයන් විඥානයට හේතුවන බව ද එසේම ය. විඥානය නාමරූපයන්ට හේතුවන බව ද එසේම ය. නාමරූපයන් ෂඩායතනයන්ට හේතු වන බව ද එසේ ම ය. ෂඩායතනයන් ස්පර්ශයට හේතු වන බව එසේම ය. ස්පර්ශය වේදනාවට හේතු වන බව ද එසේම ය. වේදනාව තෘෂ්ණාවට හේතු වන බව ද එසේම ය. තෘෂ්ණාව උපාදානයන්ට හේතු වන බව ද එසේමය. උපාදානයන් භවයට හේතු වන බවද එසේම ය. භවය ජාතියට හේතු වන බවද එසේම ය. ජාතිය ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාශයන්ට හේතු වන බව ද, එසේ ම ය එසේ ම වන බැවින් තථ නම් වූ ඒ කරුණු අවබෝධ කළ බැවින් ද බුදුරජාණෝ තථාගත නම් වෙති.
5. සත්ත්වයන්ගේ චක්ෂුරාදි ද්වාරයන්ට පැමිණෙන්නා වූ, ද්වාරයන්හි ගැටෙන්නා වූ, ද්වාරානුසාරයෙන් සත්ත්වයන් දැනගන්නා වූ රූප ශබ්දාදි ධර්මයන් මනුෂ්‍ය දේව බ්‍රහ්මාදි සත්ත්වයෝ ආත්මනීයාදි වශයෙන් වැරදි ලෙස දනිති, ගනිති. භාග්‍යවතුන් වහන්සේ වනාහි සත්ත්වයන් වශයෙන් ද, සංස්කාරයන් වශයෙන් ද අනේකචක්‍රවාළයන්හි ඇති රූප ශබ්දාදි සියල්ල ඇති සැටියට ම දක්නාහ. සකල සත්ත්වයන් විසින් දක්නා ලද , අසන ලද, පැමිණෙන ලද, සොයා ගන්නා ලද සියල්ල ඇති සැටියට ම දක්නා සේක. එබැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති.
6. සත්‍යය, නො වරදින දෙය තථ නම් වේ. තථාගතයන් වහන්සේ බෝධිමූලයේ අපරාජිත පර්‍ය්‍යංකයෙහි වැඩ හිඳ පස් මරුන් පරදවා ලොවුතුරා බුදුබවට පැමිණි තැන් පටන් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවීම දක්වා ඒ අතර කාලයේදී යමක් ප්‍රකාශ කරන ලද නම් ඒ සියල්ල එසේ ම වන බැවින් නො වරදින බැවින් තථ නම් වේ. නො වරදින දෙයක් ම ප්‍රකාශ කරන බැවින් සර්වඥයන් වහන්සේ තථාගත නම් වන සේක.
තථාගතයන් වහන්සේ ථුලු නම් ජනපදයෙහි වැඩවෙසෙන සේක්, ලිච්ඡවිපුත්‍ර සුනක්ඛත්ත නම් භික්ෂුව හා උත්තරකා නම් නියම්ගමට පිඬු පිණිස වැඩ වදාළ සේක. එකල්හි එහි බලු වත පුරන කෝරක්ඛත්තිය නම් තවුසෙක් වාසය කෙළේ ය. ඔහු වස්ත්‍ර නො හඳනේය. භාජන නො පිළිගන්නේ ය. බිම දැමූ ආහාර සතර ගාතයෙන් සිට කටින් ම සුනඛයෙකු සේ අනුභව කරන්නේ ය. සුනඛයෙකු සේ වකුටු වී බිම නිදන්නේ ය. බුදුරජුන් පසුපස ඇවිදිතත් රහතුන් නො හඳුනන සුනක්ඛත්ත, ඒ තවුසා දැක “වස්ත්‍ර ලෝභය, භෝජන ලෝභය, ආසන ලෝභය දුරුකොට බිම දැමූ දෙය වළඳන මේ තවුසා ඒකාන්තයෙන් රහත් කෙනෙක, මොහු වැනි අන් පැවිද්දෙක් නැත. අපේ පැවිද්ද කුමක් ද? මොහුගේ පැවිද්ද ම නියම පැවිද්ද නොවේ දැ”යි සිතුවේ ය. සුනක්ඛත්ත මහණ, ස්වාභාවයෙන් ම ලාමක අදහස් ඇතියකු බව දන්නා තථාගතයන් වහන්සේ “මේ තවුසා දැක ඔහු කුමක් සිතුවේ දැ”යි බලා වදාරන සේක්, ඔහු සිතූ සැටි දැක, “සුනක්ඛත්ත, නුඹත් ශ්‍රමණශාක්‍යපුත්‍රයකැයි කියා ගන්නවා නොවේ දැ”යි වදාළහ. එකල්හි සුනක්ඛත්ත “ස්වාමීනි, කිනම් වරදක් නිසා මා හට එසේ කී සේක් දැ”යි විචාළේ ය. “නුඹ අර බලුවත පුරන කෝරක්ඛත්තිය රහතන් වහන්සේ කෙනකැ යි සිතුවේ නොවේ දැ”යි තථාගතයන් වහන්සේ වදාළහ.
එකල්හි සුනක්ඛත්ත “ස්වාමීනි, නුඹ වහන්සේ අර්හත්වයට මසුරු වන සේක් දැ”යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක්, “මෝඝපුරුෂය, මම අර්හත්වයට මසුරු වන්නෙම් නො වෙමි. නුඹට රහත් නො වන්නෙකු ගැන රහත්ය යන දෘෂ්ටිය ඇති විය. එය හරුව, එය නුඹට දීර්ඝකාලයක් අනර්ථය පිණිස නො පවතීවා”යි වදාරා “නුඹ රහතන් වහන්සේ කෙනෙකුන් සේ සිතූ කෝරක්ඛත්තිය අදින් සත්වන දින අජීර්ණ රෝගයෙන් මැරෙන්නේය. ඔහු සියල්ලන්ට හීන කාලකඤ්ජිකා නම් අසුරයෝනියෙහි උපදින්නේ ය, ඔහුගේ සිරුර ඛීරණත්ථම්භක නම් සොහොනට ඇද දමන්නාහ, නුඹ කැමති නම් එහි ගොස් කොහි උපන්නෙහි දැයි ඔහුගෙන් අසන්න, ඔහු උපන් තැන කියනු ඇතැ”යි වදාළ සේක.
ඉක්බිති සුනක්ඛත්ත, කෝරක්ඛත්තිය වෙත ගොස් බුදුරජුන්ගේ ප්‍රකාශනය ඔහුට කියා “ශ්‍රමණ ගෞතමයන්ගේ කීම බොරුවන්නට, ඔබ පමණ දැන අහර ගනිමින් පරෙස්සම් වන්නය”යි ඔහුට අවවාද කොට සත්වන දවස පැමිණෙන තුරු දින ගනිමින් සිටියේය. කෝරක්ඛත්තිය ඔහුගේ බස් අසා බුදු වදන් බොරු කරන්නට සිතා එදින පටන් නිරාහාරව ම සිටියේය.
සත්වන දිනයේ කෝරක්ඛත්තියගේ දායකයෙක් “වෙනදා අප නිවසට පැමිණෙන ශ්‍රමණයන් වහන්සේ දින ගණනකින්ම නො පැමිණියහ. උන්වහන්සේ බලන්නට යෙමි”යි සිතා ඌරුමස් පිසවාගෙන බත් ද සමඟ ගෙන ගොස් කෝරක්ඛත්තිය ඉදිරියේ බිම සැලුයේ ය. දින ගණනක් නිරාහාරව සිටි කෝරක්ඛත්තියට ඒ ආහාරය නොවළදා සිටිය නො හැකි විය. ඔහු “ශ්‍රමණ ගෞතමයන්ගේ කීම හරි ගියත් නොගියත් නිරාහාරව මැරෙනවාට වඩා මට අහරක් වළදා මැරීම හොඳය”යි සිතා නැඟිට සතර ගාතයෙන් සිට බඩපුරා ඒ ආහාරය අනුභව කෙළේ ය. දින ගණනක් නිරාහාරව සිට අනුභව කළ ඒ ආහාරය ඔහුට දිරවා ගත හැකි නො වීය.
එදින රාත්‍රියෙහි අජීර්ණයෙන් ඔහු මැරී බුදුරජුන් වදාළ පරිදි කාලකඤ්ජිකා නම් අසුරයෝනියෙහි උපන්නේ ය. තීර්ථකයෝ කෝරක්ඛත්තියගේ මරණය අසා රැස්ව දවස් ගැන බලා “ශ්‍රමණ ගෞතමයන්ගේ එක් බසක් හරි ගියේ ය. දැන් මේ මිනිය අන් තැනකට ඇද දමා ඔහුගේ වචනය බොරු කොට නිග්‍රහ කරම්හ”යි සිතා කෝරක්ඛත්තියගේ මිනිය වැලකින් බැඳ බලුකුණක් මෙන් ඇදගෙන ගියෝ ය. ඔවුනට ගිය ගිය තැන මිදුල්ම විය. දැමීමට සුදුසු තැනක් නො ලැබ ඉදිරියට ගියා වූ ඔවුහු ඉබේම ඛීරණත්ථම්භ නම් සොහොන් බිමට පැමිණියෝ ය. ඔවුහු එය බුදුරදුන් වදාළ සොහොන බව දැන අන් තැනකට ගෙන යනු පිණිස මිනිය අදින කල්හි බැඳි වැල් සිඳී ගියේ ය. මිනිය එතැනින් සෙලවිය නොහැකි විය. ඔවුහු “වන්නාක් වේවා”යි මිනිය එහි දමා ගියහ.
ඉක්බිති සුනක්ඛත්ත භික්ෂුව “ශ්‍රමණ ගෞතමයන් කී දේවලින් කොටසක් හරි ගියේය. මළ එකකු නැඟිට අනිකකු හා කථා කිරීම නම් සිදු නොවන්නකි. දැන් මම ගොස් ඔහුට කථා කරන්නෙමි. ඔහු කථා කළ හොත් හොඳය, නො කළ හොත් ශ්‍රමණ ගෞතමයන් හට මුසාවාදයෙන්, නිග්‍රහ කරන්නෙමි”යි සිතා ඛිරණත්ථම්භ සොහොනට ගියේ ය. එහි ගොස් කෝරක්ඛත්තියගේ, සිරුරට තෙවරක් අතින් තට්ටු කර “ඇවැත්නි, කෝරක්ඛත්තිය, ඔබ උපන් තැන දන්නෙහි දැ”යි ඇසී ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් අසුරයා ගෙන්වා කෝරක්ඛත්තියගේ මළ සිරුරට ප්‍රවේශ කරවා ඔහු කාලකඤ්ජිකා නම් වූ සියල්ලට හීන අසුර යෝනියෙහි උපන් බව ප්‍රකාශ කර වූහ. බුදුරදුන්ගේ වදන ඔවුනට බොහෝ උත්සාහ කොට ද වරදවන්නට බොරු කරන්නට නො පිළිවන් විය.
තථාගතයන් වහන්සේ වෛශාලිනගරාසන්නයේ මහවනයේ කූටාගාර ශාලාවක වැඩ වෙසෙන කල්හි වෛශාලියෙහි පාථිකපුත්ත නම් කීර්තිමත් අචේලක තවුසෙක් විය. ඔහු වෛශාලී නගරයෙහි පිරිස් මැද මෙසේ කියයි, “ශ්‍රමණ ගෞතම තෙමේ ඥානවාදියෙකි, මම ද ඥානවාදී වෙමි. ඥානවාදී වූ මම ඥානවාදී ගෞතමයන් හා තරඟයට සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය කිරීමට සුදුසු වෙමි. ප්‍රාතිහාර්‍ය්‍ය සඳහා ශ්‍රමණ ගෞතමයෝ මාර්ගයෙන් අඩක් දුර එත්වා. මම ද මාර්ගයෙන් අඩක් දුර එන්නෙමි. ශ්‍රමණ ගෞතමයන් එක් ප්‍රාතිහාර්‍ය්‍යක් කළ හොත් මම දෙකක් කරමි. ශ්‍රමණ ගෞතමයන් ප්‍රාතිහාර්‍ය්‍ය දෙකක් කළහොත් මම සතරක් කරමි. ඔවුන් සතරක් කළ හොත් මම අටක් කරමි. ශ්‍රමණ ගෞතමයන් කොතෙක් ප්‍රාතිහාර්‍ය්‍ය කළත් මම ඔවුන් කරන ප්‍රාතිහාර්‍ය්‍ය මෙන් දෙගුණයක් ප්‍රාතිහාර්‍ය්‍ය දක්වමි.”
ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත පාථිකපුත්‍රගේ කථාව අසා බුදුරදුන් වෙත ගොස් පාථිකපුත්‍ර කියන කරුණ උන්වහන්සේට සැල කෙළේය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් “සුනක්ඛත්තය, පාථිකපුත්‍රයා හට ඒ කීම අස්කර නො ගෙන, තමාත් බුදු කෙනෙක්ය යන සිත ඉවත් නො කොට, තමාත් බුදු කෙනෙක යන දෘෂ්ටිය ඉවත් නො කර, මා ඉදිරියට නො ආ හැකි ය. ඉදින් එන්නට උත්සාහ කළහොත් ඔහුගේ හිස බොටුවෙන් ගැලවී බිම වැටෙන්නට ද පිළිවන, සත්කඩකට පුපුරා යන්නට හෝ පිළිවනැ”යි වදාළ සේක. එකල්හි සුනක්ඛත්ත මහණ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ පරෙස්සම් වන්න. නුඹ වහන්සේ පරිස්සම් වන්නය”යි කීය. “නුඹ කුමක් නිසා මට එසේ කියන්නෙහිදැ“යි තථාගතන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, පාථිකපුත්‍ර යම්කිසි ක්‍රමයකින් නුඹ වහන්සේ ඉදිරියට පැමිණිය හොත් නුඹ වහන්සේගේ කීම බොරු වන්නේය”යි සුනක්ඛත්ත කීය. එකල්හි තථාගතයන් වහන්සේ “සුනක්ඛත්තය, තථාගතයන් වහන්සේ හරි නො යන කථා කියත්දැ”යි වදාළහ. “ස්වාමීනි, පාථිකපුත්‍ර හට නුඹ වහන්සේ ඉදිරියට නො ආ හැකි බව නුඹ වහන්සේ විසින් නුවණින් දක්නා ලද ද? නැත හොත් දෙවියන් විසින් හෝ නුඹ වහන්සේට කින ලදදැ”යි සුනක්ඛත්ත ඇසීය. “සුනක්ඛත්ත, මම ඒ බව දුටිමි, දෙවියෝ ද එය මට කීහ”යි තථාගතයන් වහන්සේ වදාළහ. ඉක්බිති තථාගතයන් වහන්සේ “සුනක්ඛත්ත, මම වෛශාලියෙහි පිඬු පිණිස හැසිර දිවා විහරණය පිණිස පාථිකපුත්‍රගේ ආරාමයට යෙමි. නුඹ කැමති නම් ඒ බව පාථිකපුත්‍ර හට දන්වන්නය”යි වදාළහ.
පසු දින තථාගතන් වහන්සේ වෛශාලියෙහි පිඬු පිණිස හැසිර දිවා විහරණය සඳහා පාථිකපුත්‍රගේ ආරාමය බලා වැඩම කළ සේක. සුනක්ඛත්ත වත පිළිවත කරමින් බුදුරදුන් සමීපයෙහි හැසිරෙන්නෙකු වුව ද බුදුරදුන්ට සතුරු බුදුරදුන් පරදිනු දක්නට කැමති පුද්ගලයෙකි. ඔහු වෛශාලිට ගොස් “පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ පාථිකතපුත්‍රගේ ආරාමයට වැඩම කළහ. අද උසස් පැවිද්දන් දෙදෙනෙකු අතර ප්‍රාතිහාර්‍ය්‍ය තරඟයක් වන්නේ ය. එය බැලීමට සැම දෙනාම පැමිණෙත්වා”යි කියමින් ඇවිද්දේ ය. ඔහුගේ බස් අසා ප්‍රසිද්ධ අප්‍රසිද්ධ ලිච්ඡවීහු ද බ්‍රාහ්මණ ගෘහපතීහු ද නානාලබ්ධික ශ්‍රමණයෝ ද පාථිකපුත්‍රගේ ආරාමයට ගලා ආහ. පිරිස දහස් ගණනක් වූහ. තමාට ප්‍රාතිහාර්‍ය්‍ය පෑ නො හෙන බව පාථිකපුත්‍ර දනී. ඔහු කලින් කීයේ බුදුරදුන් ප්‍රාතිහාර්‍ය්‍ය තරඟයකට ඉදිරිපත් නො වෙතිය යන අදහසිනි. භාග්‍යවතුන් වහන්සේ දවල් කාලයේ විසීම පිණිස ඔහුගේ ආරාමයට පැමිණ ඇති බවත් ප්‍රාතිහාර්‍ය්‍ය දක්නට මහ සෙනඟක් එමින් සිටින බවත් පාථිකපුත්‍රට සැල වී ඔහු බිය විය. කළ හැකි අනිකක් නැත්තෙන් ඔහු තින්දුකඛාණු නම් පිරිවැජි අරමට පලාගියේය.
ප්‍රාතිහාර්‍ය්‍ය දක්නට රැස්වූ පිරිස පාථිකපුත්‍ර බිය වී තින්දුකඛාණු නම් පරිබ්‍රාජකාරාමයට පලා ගිය බව අසා ඔහු කැඳවා ගෙන එනු පිණිස පුරුෂයකු යැවූහ. ඔහු පාථිකපුත්‍ර වෙත ගොස් “ඇවැන්නි පාථිකපුත්‍ර, ඔබ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හා ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමට කැමති බව කීයෙහි ය. ශ්‍රමණ ගෞතමයන් මගින් අඩක් දුර ආව හොත් ඔබත් අඩක් මඟ ගොස් ශ්‍රමණ ගෞතමයන් කරන ප්‍රාතිහාර්‍ය්‍ය මෙන් දෙගුණයක් ප්‍රාතිහාර්‍ය්‍ය කරන බව ජනයා මැද තැන තැන කීයෙහි ය, දැන් ශ්‍රමණ ගෞතමයෝ මඟින් අඩක් ඉක්මවා ඔබගේ අරමට ම පැමිණ සිටින්නාහ, ප්‍රාතිහාර්‍ය්‍ය දකිනු රිසියෙන් බොහෝ ජනයා ද එහි පැමිණ සිටිති. දැන් ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීමට කාලය පැමිණ ඇත. එහි යනු මැනව”යි කීය. පාථිකපුත්‍ර “එන්නම් ඇවැන්ති, එන්නම් ඇවැන්ති”යි කියමින්, හුන් ගල් තලාවෙහි ම නො සැලී හිඳී. ඔහු නො නැඟිටින කල්හි ඒ පුරුෂයා “කිමෙක්ද, පාථිකපුත්‍ර ඔබගේ උකුල් ඇට ගලේ ඇලුණේ ද? ගල හෝ ඔබේ උකුල් ඇටවල ඇලී ගියේ ද? එන්නම් එන්නම්'යි කියමින් ඔබ නො සෙල්වෙන්නෙහිය”යි කීය. පාථිකපුත්‍ර නැවත ද “එන්නම් ඇවත්නි, එන්නම් ඇවැත්නි”යි කියමින් එහි ම නො සැලී හිඳී. පාථික පුත්‍ර නො ගැටින කල්හි ඔහු පරාජිතව කරකියා ගත හැකි දෙයක් නැතිව ගලෙහි ඇලී ඉන්නා බව ඒ පුරුෂයාට වැටහී ආපසු අවුත් පිරිසට කාරණය දැන්වීය.
එකල්හි තථාගතයන් වහන්සේ පිරිස අමතා “ඇවැත්නි, පාථිකපුත්‍රහට තමා බුදු කෙනෙකු යන ප්‍රකාශනය ඉවත් කර නො ගෙන ඒ සිත ඒ දෘෂ්ටිය අත් නො හැර මා ඉදිරියට නො ආ හැකිය, ඉදින් එන්නට සිතුයේ නම් ඔහු ගේ හිස ගිලිහී බිම හෝ වැටෙන්නේ ය. පුපුරා හෝ යන්නේ ය”යි වදාළ සේක.
එකල්හි ඒ පිරිසෙහි උන් ලිච්ඡවි මහාමාත්‍යයෙක් නැගිට “පින්වත්නි, මා එන තුරු මොහොතක් නවතින්න. පාථික පුත්‍ර මේ පිරිසට ගෙන එන්නට මම ද උත්සාහ කර බලමි”යි කියා ඔහු වෙත ගියේය. ඔහු එහි ගොස් පාථික පුත්‍රයා අමතා “ඇවැත්නි, ඔබ විසින් කළ තමා බුදු කෙනෙකු යන ප්‍රකාශනය ඉවත් කර නො ගෙන, තමා බුදු කෙනෙක යන සිත, තමා බුදු කෙනෙක යන දෘෂ්ටිය නො හැර ඔබට ශ්‍රමණ ගෞතමයන් ඉදිරියට නො පැමිණිය හැකිය. ඉදින් ඔබ පැමිණෙන්නට සිතුයේ නම්, ඔබ ගේ හිස ගැළවී හෝ වැටෙන්නේ ය, පුපුරා හෝ යන්නේය”යි ශ්‍රමණ ගෞතමයෝ පිරිස් මැද ප්‍රකාශ කළහ. ඔබ ශ්‍රමණ ගෞතමයන් වෙත යනු මැනවි. අන් ප්‍රාතිහාර්‍ය්‍යයකින් කම් නැත, යාමෙන් ම ඔබට ජය ලබා දෙමි”යි කීය. පාථීක පුත්‍ර “එන්නම් ඇවැත්නි, එන්නම් ඇවැත්නි”යි කියමින් ගලටම ඇලී නිසල ව සිටී. ඔහු නැවත ද පාථික පුත්‍ර හට එන ලෙස කීය. පාථික පුත්‍ර, එමි ය, එමි ය, කියමින් නිසල ව හිඳී. අමාත්‍ය තෙමේ පාථික පුත්‍ර පරාජිත ව ඉන්නා බව තේරුම් ගෙන පෙරළා ගොස් ඒ බව දැන්වී ය.
එකල්හි තථාගතයන් වහන්සේ පාථිකපුත්‍රයා කඹවලින් බැඳ ගවයන් ලවා අද්දවා ද තමන් වහන්සේ ඉදිරියට නො ගෙන ආ හැකි බව වදාළසේක. එ කල්හි ජාලිය නමැත්තෙක් පිරිසට කියා ඔහු කැඳවා ගෙන එන පිණිස පාථික පුත්‍රයා නැඟිටවන්නට උත්සාහ කෙළේය. නොයෙක් ලෙසින් කරුණු කියමින් අවමන් කරමින් උත්සාහ කළ නුමුත් පාථිකපුත්‍රයා නැගිටවිය හැකි නො වී ය. පාථිකපුත්‍රයා නැගිටවනු බැරි බව තේරුම් ගත් ජාලිය පෙරළා අවුත් ඒ බව පිරිසට කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ රැස් වූ මහා පිරිසට දහම් දෙසා බොහෝ දෙනකුන් ක්ලේශබන්ධනයෙන් මුදවා සත්තලක් අහසට නැඟ තමන් වහන්සේගේ ශරීරයෙන් ගිනිදැල් නික්මවා දුම් නික්මවා ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා මහවනයේ කූටාගාර ශාලාවට වැඩම කළ සේක. පාථික පුත්‍රයා පිළිබඳව වදාළ දෙය අසත්‍ය කරන්නට බොහෝ දෙනකුන් උත්සාහ කළ ද නො පිළිවන් වී ය.
(මේ කථා දෙක පාථීකසූත්‍රයෙනි)
7. ලෝකයේ බොහෝ දෙනා එකක් කියමින් අනිකක් කරති. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් ආකාරයකින් කියන සේක් නම් ඒ ආකාරයෙන් ම කරන සේක. එ බැවින් උන් වහන්සේ තථාගත නම් වෙති. ලෝකයෙහි බොහෝ දෙනා එකක් කරමින් අනිකක් කියති. භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින් කරන සේක් නම්, ඒ ආකාරයෙන් ම කියන සේක. එබැවින් උන් වහන්සේ තථාගත නම් වෙති.
8. අගද යනු බෙහෙතට නමෙකි. නොවරදින්නා වූ සත්‍ය වූ බෙහෙත “තථ අගද” නමි. නො වරදින බෙහෙත් ඇත්තේ තථාගත ද නම් වේ. එයම දකාරයට තකාර කිරීමෙන් තථාගත නම් වේ. දිව්‍යඖෂධයෙන් සර්පයන් මඬින්නාක් මෙන් වසඟයට ගන්නාක් මෙන් ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත දේවබ්‍රහ්මයන් සහිත සකල ලෝකය අභිභවනය කිරීමට, වශයෙහි පැවැත්වීමට සමත් නොවරදින්නා වූ බෙහෙතක් භාග්‍යවතුන් වහන්සේට ඇත්තේ ය. එබැවින් උන්වහන්සේ තථාගත නම් වෙති. ඒ බෙහෙත නම්, අනූපම දේශනා විලාසය, චතුරසංඛ්‍යකල්පලක්ෂයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුශලස්කන්ධය, ආර්‍ය්‍යශීලස්කන්ධය, ආර්‍ය්‍යසමාධිස්කන්ධය, ආර්‍ය්‍යප්‍රඥාස්කන්ධය යන මේවාය.
තථාගතයන් වහනසේ තමන් වහන්සේ වෙත පැමිණෙන, නුවණ නමැති කඩුවෙන් පරවාදයන් සිඳලීමට සමත් තියුණු නුවණැති ක්ෂත්‍රිය පණ්ඩිතයන් ද, බ්‍රාහ්මණ පණ්ඩිතයන් ද, ශ්‍රමණ පණ්ඩිතයන් ද, දේශනා විලාස නමැති ඖෂධයෙන් අභිභවනය කොට තමන් වහන්සේගේ වශයට ගනිති. බොහෝ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ පණ්ඩිතයෝ තථාගතයන් වහන්සේ පරදවන්නට සිතා විසඳීමට දුෂ්කර වූ නොයෙක් ප්‍රශ්නයක් ගොතා ගෙන උන් වහන්සේ වෙත පැමිණ උන් වන්සේගේ දේශනය අසා ගොතා ගෙන ආ ප්‍රශ්න නො විචාරා උන් වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙති. තථාගතයන් වහන්සේ අප්‍රමාණ චක්‍රවාළයන්හි වෙසෙන මනුෂ්‍ය දේවබ්‍රහ්මාදි සකලසත්ත්වයන් ම පිනෙන් ද ශීලයෙන් ද සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද අභිභවනය කොට සිටින සේක. එබැවින් උන් වහන්සේ ලෝකයෙහි අතුල්‍ය වෙති, අප්‍රමෙය්‍ය වෙති, අනුත්තර වෙති, රජුන්ට රජ වෙති, දෙවියන්ට දෙවි වෙති, බ්‍රාහ්මයන්ට අතිබ්‍රහ්ම වෙති. මෙසේ කරුණු අටකින් බුදුන් වහන්සේ තථාගත නම් වන සේක.