බොහෝ ජනයා මෙන්, අන්‍ය ශාස්තෲවරයන් මෙන් නො මඟ නොගොස් යහපත් මඟ ගිය හෙයින් ද, එමඟින් නිර්වාණ සංඛ්‍යාත පරමසුන්දර ස්ථානයට පැමිණ වදාළ හෙයින් ද, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුගත නම් වන සේක.
ලෝකයෙහි ඇතමෙක් කාමයන්ගේ ආදීනවයන් සලකා ගත නො හී පඤ්චකාමය ම ලොව ඇති උසස් දෙය වශයෙන් වරදවා ගෙන, මනුෂ්‍යයාට කරන්නට ඇති උසස් දෙය හැකි පමණ පස්කම් සැප විඳීම යයි වරදවා ගෙන කාමසුඛල්ලිකානුයෝග සංඛ්‍යාත අමාර්ගයෙහි ගමන් කොට අපායට පැමිණෙන්නාහ.
ඇතැමෙක් සත්ත්වයනට සුවදුක් ලැබෙන්නේ පෙර කළ කර්මවල විපාක වශයෙන්ම යයි වරදවා ගෙන තපසින් පුරාණ කර්ම ගෙවා අභිනව කර්ම නොකර හැරීමෙන් කර්මයන් ක්ෂය කොට දුකින් මිදිය හැකි ය, දුක් කෙළවර කළ හැකිය යි ද, ඇතැමෙක් සැපයෙන් සැපය නො ලැබිය හැකිය. සැපය ලැබිය යුත්තේ දුකින් ම ය යි වරදවා ගෙන දැඩි තපස්කම් වලට බැස වස්ත්‍ර වර්ජන, ආහාර වර්ජන, වාසස්ථාන වර්ජන කරමින් කයට දැඩි දුක් දෙති. ගෝව්‍රත කුක්කුරව්‍රතාදි ව්‍රතයන් පිරීමෙන් ද කයට දැඩි දුක් දෙති. ඔවුහු ආත්මක්ලමථානුයෝග නම් වූ අමාර්ගයෙහි යන්නෝය. ඔවුහු ඒ අමාර්ගයේ ගමන් ගෙන දුකින් දුකටම පත් වන්නාහ. තථාගතයන් වහන්සේ කාමසුඛල්ලිකානුයෝග. අත්තක්ලමථානුයෝග යන දෙමඟ ම නො ගෙන මධ්‍යමප්‍රතිපදා සංඛ්‍යාත මාර්ගයෙහි ගමන් කරන බැවින් සුගත නම් වන සේක.
ලෝකයෙහි ඇතැමෙක් පින් පව් කරමින් සුවදුක් විඳිමින් ජාතියෙන් ජාතියට යන, නොනැසෙන ආත්මයක් ඇතය යි ශාශ්වත දෘෂ්ටිය ගෙන අමාර්ගයෙහි ගමන් කරති. ඇතැමෙක් සත්ත්ව ශරීරයෙහි මරණින් ඔබ තවත් තැනකට යන කිසිවක් නැත. ගස් වැල් මැරෙන්නාක් මෙන් සත්ත්වයෝ ද මැරෙන්නාහ. මළ සත්ත්වයා නැවත උපතක් නො ලබන්නේ ය යි උච්ඡේද දෘෂ්ටිය ගෙන අමාර්ගයෙහි ගමන් කොට අපාගත වෙති.
තථාගතයන් වහන්සේ පරම ගම්භීර ප්‍රතීත්‍ය සමුද්පාද ධර්මය අවබෝධ කර ශාශ්වතෝච්ඡේද දෘෂ්ටි සංඛ්‍යාත අමාර්ගද්වය හැර මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත සුමාර්ගයේ ගමන් කළ සේක. ඒ මගින් නිවනට පැමිණ වදාළ සේක. එබැවින් තථාගතයන් වහන්සේ සුගත නම් වන සේක.
බුදුන් කල විසූ පූරණකස්සප නමැති ශාස්තෲවරයා “මැරීම් - සොරකම් - බොරුකීම් ආදි නපුරුකම් කොපමණ කළත් ඒවායින් වන පවක් නැත. දීම් - සිල් රැකීම් ආදියෙන් වන පිනකුත් නැතය” යන දෘෂ්ටිය ගෙන නොමග ගියේය.
මක්ඛලීගෝසාල නම් ශාස්තෲවරයා “සත්ත්වයන්ගේ සංක්ලේශයට හේතුවක් ද නැත, විශුද්ධියට හේතුවක් ද නැත, පින් කරන්නෝ ය, පව් කරන්නෝ ය, පණ්ඩිතයෝ ය, බාලයෝ ය යන සෑම දෙනාම සංසාර ස්වභාවය අනුව ඒ ඒ ජාතිවල ඉපද සුවදුක් විඳ දුක් කෙළවර කරන්නාහ, ප්‍රතිපත්තියකින් එය වෙනස් නොවන්නේ ය” යන දෘෂ්ටිය ගෙන නො මඟ ගියේ ය.
අජිත කේසකම්බල නමැති ශාස්තෲවරයා “සුකෘත දුෂ්කෘත කර්මවලින් වන විපාකයක් නැත, මේ සත්ත්වයා සතර මහා භූතයන්ගෙන් සැදුණේය. මළ පසු ඔහුගේ ශරීරයේ පෘථිවිධාතුව පෘථිවිධාතුවටම එකතු වන්නේ ය, ආපෝධාතුව ආපෝධාතුවටම එකතු වන්නේ ය, තේජෝධාතුව තේජෝධාතුවට ම එකතු වන්නේ ය, වායෝ ධාතුව වායෝ ධාතුවට ම එකතු වන්නේ ය, ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ, දානය මෝඩයන්ගේ වැඩකි. බාලයෝ ද පණ්ඩිතයෝ ද යන සැම දෙන ම මරණින් කෙළවර වන්නාහ, නැවත උපදින්නෙක් නැත” යන උච්ඡේද දෘෂ්ටිය ගෙන නො මඟ ගියේ ය.
පකුධකච්චායන නම් ශාස්තෲවරයා “පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සුඛය, දුක්ඛය, ජීවය කියා සප්තකාය කෙනෙක් ඇත්තාහ. ඔවුහු ස්ථීරයහ, ඔවුහු කිසිවකු විසින් මවන ලද්දාහු නො වෙති, කිසිවකු විසින් මැවිය හැක්කෝ ද නො වෙති, ඔවුහු ඔවුනොවුන්ට හිංසා කරන්නෝද නො වෙති, එකෙක් අනිකෙකුට සැපදුක් ඇති කිරීමට නො සමත්ය. මරන්නෙක් හෝ මරවන්නෙක් නැත, තියුණු කඩුවකින් හිස සිඳින කල්හි සප්තකායයන් අතරට කඩුව යනු මිස, මරන එකෙක් හෝ මැරෙන එකෙක් නැත, යන මිථ්‍යා දෘෂ්ටිය ගෙන නො මඟ ගියේ ය.
නිගණ්ඨනාතපුත්ත නම් ශාස්තෲවරයා “චාතුයාමසංවරයක පිහිටිය යුතුය” යන දෘෂ්ටිය ගෙන සිසිල් දිය ද සත්ත්වයෙකැ යි සලකමින් සිසිල් දින පීමෙන් වැළකිම් ආදියෙන් නො මඟ ගියේය.
සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත නම් ශාස්තෲවරයා “පරලොවක් ඇත්තේ ද නැත, නැත්තේ ද නැත, නැවත උපදනා සත්ත්වයන් ඇත්තේ ද නැත, නැත්තේ ද නැත” යනාදි අමරාවික්ෂේප දෘෂ්ටිය ගෙන නො මඟ ගියේය.
බොහෝ ශාස්තෲවරයන් තමන් ද නො මඟ යෙමින් සෙස්සන් ද නො මඟ යැවූ අතර සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ද සුමග යෙමින් අපමණ දෙවි මිනිසුන් ද ඒ සුන්දර මාර්ගයෙන් අමෘතමහා නිර්වාණසංඛ්‍යාත පරමසුන්දරස්ථානයට යැවූ සේක.