5. ලෝකවිදු ගුණය

ලෝකය ඉතා විශාලය. එයින් අප දන්නා ඉතා සුළු කොටසකි. නොදන්නා හරිය ම ඉතා බොහෝ ය. ලෝකයෙන් අප දන්නා හරිය දිය බිඳක් පමණ ය. නොදන්නා හරිය මහසයුර පමණය යි කිවද උපමාව හරි නැත. අප දන්නා හරිය එක් වැලිකැටයක් පමණය, නොදන්නා හරිය පොළොවේ වැලිකැට පමණය යි කිව ද උපමාව වැරදි ය. අප දන්නා හරිය නියපිටට ගත් පස් ටිකක් තරම ය, නො දන්නා හරිය පොළොවේ පස් පමණයයි කිව ද උපමාව හරි නැත. ලෝකයෙන් අප දන්නා නොදන්නා ප්‍රමාණ දැක්විමට උපමාවකුදු නැත. භාග්‍යවත් අර්හත් සම්‍යක් ‘සම්බුද්ධයන් වහන්සේ සකල ලෝකය සර්වාකාරයෙන් දැන වඳළ සේක. එබැවින් උන්වහන්සේ ලෝකවිදු නම් වන සේක.

සියල්ල දත් බව කියැවෙන සම්මාසම්බුද්ධ යන පදයෙන් ලෝකය දත් බව ද කියැ වේ. ලෝකය සම්මාසම්බුද්ධ පදයෙන් කියැවෙන සියල්ලට අයත් දෙයකි. එසේ තිබියදී මේ නවගුණපාඨයට ලෝකවිදු යනු ඇතුළත් කළේ කුමකටද? යන පැනය මෙහිදී මතුවෙයි. එහෙත් අටුවා ටිකාවල, පැරණි බණ පොත් වල ඒ ප්‍රශ්න විසඳා තිබෙනු නො දක්නා ලදී. එය පිළිබඳ අප අදහස මෙසේ ය.

ලෝකයෙහි සෙස්සන් ඒ ඒ දේ දැන ගන්නේ උගෙන ගන්නේ ගුරුන්ගෙනි. සම්මාසම්බුද්ධ යන පදයෙන් ලෝකය දන්නා බව කියැවෙන නුමුත් එය අසන්නහුයේ සිතට වඩා මතු වී දැනෙන්නේ තථාගතයන් වහනසේ දත් දෙය නොව උන්වහන්සේ ගුරුන් ඇසුරු නො කොට ස්වශක්තියෙන් දත්බව හා නිවැරදි ලෙස දත්බව ය. සෑම සත්ත්වයෙක් ම ලෝකයට අයත් ය, ලෝකයෙන් කොටසක්ය. එහෙත් සත්ත්වයෝ ලෝකය ගැන හා තමන් ගැන නො දනිති. තමන් ඇති වූයේ කෙසේ ද? තමන්ගේ අනාගතය කෙසේ ද? මරණින් පසු තමන්ට වන්නේ කුමක් ද? යන මේ කරුණු දැනගැනීමේ ආශාව බොහෝ දෙකනුන්ට ඇත්තේ ය. එබැවින් ලෝකවිදු යන ගුණය ඇසූ කල්හි ඔවුනට තථාගතයන් වහන්සේ ඇසුරු කිරීමේ ආශාව, උන් වහන්සේගේ දේශනා ඇසීමේ ආශාව ඇති වේ. එබැවින් මේ බුදුගුණ පාඨයට ලෝකවිදු යන පදය ඇතුළත් කරන ලදැ යි සිතමු.

ලෝකවිදු ගුණය විස්තර කළ යුත්තේ ලෝකය යනු කුමක් ද? ලෝකය සෑදී තිබෙන්නේ කුමකින්ද? ලෝකය ඇතිවූයේ කෙසේ ද? ලෝකය කොතෙක් පරණ ද? ලෝකයේ විශාලත්වය කොපමණ ද? ලෝකයේ ප්‍රභේද කවරහූද? යන මේ ප්‍රශ්න විසඳීමෙනි. ඉදිරියට මේ ප්‍රශ්න බුද්ධ දේශනය අනුව විසඳනු ලැබේ.

ලෝකය යි කියනුයේ සත්ත්වයන් වශයෙන් හා අසත්ත්ව වස්තු වශයෙන් ද, ධාතු වශයෙන් ද, ගුණ වශයෙන් ද, ඇත්තා වූ සියල්ලට ය.

ලෝකය සෑදී ඇත්තේ කුමකින් ද? යන බව ඉතා කොටින් කියතොත් ‘නාමරූප දෙකිනැ’යි කිය යුතු ය. නාම නම් සත්ත්වයන් තුළ ඇති වන දැනීම් විදීම් කිපීම් ඇලීම් ආදිය ය. රූප නම් මහා භූත සතර හා ඒවා නිසා පවත්නා වූ වර්ණ ගන්ධාදිය ය. ලෝකයෙහි හරය වශයෙන් ඇත්තේ පරමාර්ථ වශයෙන් ඇත්තේ ඒ නාම රූප දෙකය.

තවත් ක්‍රමයකින් කියත හොත් බුදුසමයෙහි ස්කන්ධ යන නාමය ව්‍යාවාහර කරන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේවායින් ලෝකය සෑදි ඇතැ යි කිය යුතු ය. ලෝකය විභාග කළා ම එහි ඇති දේවල් සැටියට ලැබෙන්නේ ඒ ස්කන්ධ පඤ්චකය ය.

තවත් ක්‍රමයකින් කියත හොත් ද්වාදසායතනයන්ගෙන් ලෝකය සෑදී ඇත යි කිය යුතු ය. ආයතන දොළොස නම් චක්ඛායතනය, රූපයාතනය, සෝතායතනය, සද්දායතනය, ඝාණායතනය, ගන්ධායතනය, ජිව්හායතනය, රසායතනය, කායාතනය, ඵොට්ඨබ්බායතනය, මනායතනය, ධම්මායතනය යන මොහු ය. ආයතන වශයෙන් ලෝකය විභාග කළා ම එහි හරය වශයෙන් ලැබෙන්නේ ආයතන දොළොස ය.

තවත් ක්‍රමයකින් කියත හොත් අටළොස් ධාතුන්ගෙන් ලෝකය නිර්මිත වී ඇතය යි කිය යුතු ය. ධාතු අටළොස නම් චක්ඛුධාතු, රූපධාතු, චක්ඛුවිඤ්ඤාන ධාතු, සෝතධාතු, සද්දධාතු, සෝතවිඤ්ඤාණධාතු, ඝාණධාතු, ගන්ධධාතු, ඝාණවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු, රසධාතු, ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු, ඵොට්ඨබ්බධාතු, කායවිඤ්ඤධාතු, මනෝධාතු, ධම්මධාතු, මනොවිඤ්ඤාණධාතු යන මොහුය. ධාතු ක්‍රමයෙන් ලෝකය විභාග කළා ම එහි හරය වශයෙන් ලැබෙන්නේ ධාතු අටලොස ය. මෙහිදී ස්කන්ධ ආයතන ධාතුන් විස්තර කළ යුතු වුවද, ග්‍රන්ථය දීර්ඝ වන බැවින් මෙහි විස්තර නොකරනු ලැබේ. ඒවා අභිධර්මය ග්‍රන්ථවලින් දත යුතුය. අප විසින් සම්පාදි අභිධර්ම මාර්ගය, විදර්ශනා භාවනා ක්‍රමය, චතුරාර්‍ය්‍ය සත්‍යය යන ග්‍රන්ථවලින් ද ඒවා පිළිබඳ දැනුමක් ලැබිය හැකිය.

ලෝකයේ ඇතිවූයේ කෙසේද? යනු ගැඹුරු පැනයෙකි. ලෝකය ඇති වීම ගැන කල්පනා කළ ඇතැම්හු ඇඳ පුටු මේස රිය ගෙවල් ආදිය කෙනකු විසින් නො සෑදුව හොත් ඉබේ ඇති නො වන්නාක් මෙන් අනේකප්‍රකාර සත්ත්වයන්ගෙන් වෘක්ෂලතාදි වස්තූන්ගෙන් යුක්තවන මේ ලෝකය කෙනකු විසින් නො සාදන ලද නම් මෙසේ ක්‍රමානුකූලව ඇති විය නො හැකි ය. ලෝකය මෙසේ ක්‍රමානුකූලව ඇති වී පවත්වන්නේ යම් කිසිවකු විසින් මෙය ඇති කරන ලද නිසාය යි සිතූහ. වඩුවකු ඇඳක් - පුටුවක් තනන්නාක් මෙන් ද්‍රව්‍ය එකතු කොට කපා කොටා ද මේ ලෝකය නො තැනිය හැකිය. මෙය තැනිය හැකි වීමට සිතීම් මාත්‍රයෙන් ඒ ඒ දෙය නිර්මාණ වීමේ බලයක් ඇති පුද්ගලයෙකු විය යුතුය යි ද සිතූහ. එ බඳු මහාබලයක් ඇතියකු මේ ලෝකයේ මිනිසුන් අතර දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන් ලොවක වෙසෙන පුද්ගලයෙකු විය යුතුය යි සිතා ගත්හ. දෙවියන් වහන්සේ ය, බ්‍රහ්මයා ය, ඊශ්වරයා ය කියා නොයෙක් නම් ඔවුහු මැවුම්කරුට තබා ගත්හ. මැවුම්කාරයකු ඇති නම් ඔහුත් ලෝකයේ කොටසක් විය යුතු බව හෝ ඔහුත් රූපාදිය ම විය යුතු බව හෝ මැවීමට කෙනෙකු සිටිය යුතු නම් මැවුම් කරු මවන්නටත් කෙනෙකු උවමනා බව හෝ ඔවුහු කල්පනා නො කළහ. ඔවුහු තමන් විසින් ම සිතින් මවා ගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිදීමටත් සැපයට පැමිණීමටත් සිතූහ. සියල්ල පිළිබඳව ම සම්මෝහය දුරු කර ගත් තථාගතයන් වහන්සේ වනාහි ලෝකය කෙනකු විසින් මැවිය හැකියක් නො වන බව දත් සේක. ලෝකය පුද්ගලයෙකු විසින් මැවිය යුත්තක් නම්, සත්ත්ව ලෝකයට අයත් වන මැවුම්කරුට ඇති විය නො හැකි බවත් දැන වඳළ සේක. බීජයෙන් ගසත් ගසින් බීජයක් ඇතිවීමෙන් ගස් පරම්පරාව නො සිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වු සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්වලෝක සංස්කාරලෝක අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වඳළ සේක. මවන්නකු නැති ව සංසාරයේ නො සිඳී පැවැත්ම සිදු වන සැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වඳරා ඇත්තේය. එක් භවයක දී ඇති වන තණ්හාව නිසා මරණින් භවය සිඳී නොගොස් නැවත ද උපදී. උපන් පසු එහි ද නැවත තණ්හාව ඇති වේ. ඒ නිසා මරණින් පසු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නො සිඳී පවති. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇතිවීම් වශයෙන් නැවත ද උපදී. උපන් පසු නැවත ද කර්මය කරයි. මෙසේ කර්මය නිසා විපාක ද විපාක නිසා කර්මය ද ඇතිවීමෙන් සංසාරය නො සිඳී පවති. අවිද්‍යාදි හේතු ධර්මයන් නිසාද සංස්කාරාදි ඵල ඇතිවීම නිසා ද සංසාරය නො සිඳී පවති.

අනු මාතෘකා
keyboard_arrow_rightලෝකයේ මුල