සන්දිට්ඨිකො අකාලිකො, එහිපස්සිකො, ඔපනයිකො, පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි යන පදවලින් කියැවෙන ගුණ පස විශේෂයෙන් ඇත්තේ ලෝකෝත්තර ධර්මයන්හිය.
සන්දිට්ඨිකො යන වචනයේ තේරුම, අනුන් කියනු අසා එබඳු දෙයක් ඇතය යි අනුමානයෙන් සිතා ගන්නා දෙයක් නොව, මේ නවලෝකෝත්තර ධර්මය තම තමන් විසින් ම දැක තමන් විසින් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ධර්මයක්ය යනුයි.
වෛද්‍යකු විසින් වර්ණනා කරන බෙහෙතක් සෙස්සන් විසින් නො ලැබිය හැකි - ලබා වැළඳුව ද කියන ගුණ නො දැකිය හැකි දෙයක් වේ නම්, එය පිළිගත හැකි උසස් කොට සැලකිය හැකි බෙහෙතක් නොවේ. යමකු යම් ධර්මයක් තමා තුළ ඇති කර ගෙන එයින් උසස් ඵල ලබා සිටිමි යි කිව ද එය සෙස්සන්ට තම තමන් තුළ ඇති කර ගත නො හෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය නො හෙන ධර්මයක් වේ නම් එය උසස් කොට සැලකිය හැකි පිළිගත හැකි ධර්මයක් නොවේ. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන සතරමාර්ග සතරඵල ධර්ම සෙස්සන්ටත් තම තමන් තුළ උපදවා ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. නිර්වාණ ධර්මය ද ලෝකෝත්තර ඥානයෙන් සෙස්සන්ට ද ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. කෙනෙකු දෙදෙනකු විසින් පමණක් දැන සිටිනවාය කියන දෙය අසත්‍යය ද විය හැකිය. සත්‍ය වුව ද නිසැකව පිළිගැනීමට දුෂ්කරය. බොහෝ දෙනෙකුන් දැන ඇති, දැක ඇති, ප්‍රත්‍යක්ෂ කර ඇති, ධර්මයක් වේ නම් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කර නොගත් අය විසින් ද එය පිළිගත හැකිය. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශනය කරන නවලෝකෝත්තර ධර්මය උන් වහන්සේ විසින් පමණක් නොව තවත් බොහෝ දෙනෙකු විසින් ද තම තමන් තුළ උපදවා ගෙන ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටින ධර්මයෙකි. එබැවින් ඒ ධර්මය පිළිගැනීමට සුදුසු පිළිගත හැකි ධර්මයකි. අර්හත්වය සෙස්සන් විසින් ලැබිය හැකි නො ලැබිය හැකි බව පිළිබඳ බුදුරදුන් හා වච්ඡ නම් තවුසා අතර ඇති වූ සාකච්ඡාවක් මෙසේය:-
“පින්වත් ගෞතමයෙනි, මා මේ කථා කරන්නේ ඔබ වහන්සේ ගැන නොවෙයි. ඔබ වහන්සේ විසින් පවසන කාමාදි ආශ්‍රවයන් ක්ෂය කොට පැමිණෙන අර්හත්වයට පැමිණ සිටින ඔබ වහන්සේගේ ශ්‍රාවක වූ එක් භික්ෂුවකුදු ඇත්තේ ද?
“වච්ඡ, සියයකුත් නොවෙයි, දෙසියයකුත් නො වෙයි, තුන්සියයකුත් නො වෙයි, සාරසියකුත් නො වෙයි, පන්සියයකුත් නො වෙයි, මාගේ ශ්‍රාවක වූ බොහෝ භික්ෂූහු ආශ්‍රවයන් ක්ෂය කොට අර්හත්වයට පැමිණ සිටින්නාහ.”
“පින්වත් ගෞතමයෙනි, ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවන් වන භික්ෂුණීන් අතර ආශ්‍රවයන් ක්ෂය කොට අර්හත්වයට පැමිණ ඇති එක් භික්ෂුණියකුදු ඇත්තී ද?”
“වච්ඡ, සියයකුදු නො වේ, දෙසියයකුදු නො වේ, තුන්සියයකුදු නො වේ, හාරසියයකුදු නො වේ, පන්සියයකුදු නො වේ, මාගේ ශ්‍රාවිකාවන් වූ බොහෝ භික්ෂුණීහු අර්හත්වයට පැමිණ ඇත්තාහ.
“පින්වත් ගෞතමයෙනි, ඔබ වහන්සේගේ උපාසකයන් අතර පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ප්‍රහාරණය කොට මරණින් මතු බඹලොව ඉපිද එහිම පිරිනිවෙන්නා වූ නැවත මේ ලෝකයට නො පැමිණෙන්නා වූ බ්‍රහ්මචාරි ගෘහස්ථ ශ්‍රාවකයෙක් ඇත්තේ ද?
“වච්ඡය, සියයක්, දෙසියයක්, තුන්සියයක්, සාරසියයක්, පන්සියයක් නො වේ. මාගේ එබඳු බොහෝ ගෘහස්ථ ශ්‍රාවකයෝ ඇතහ.”.
“පින්වත් ගෞතමයනි, ඔබ වහන්සේගේ අවවාදානුශාසනා පිළිපදින්නා වූ සියලු සැක දුරු කර ගෙන සිටින්නා වූ නුඹ වහන්සේගේ සසුනෙන් පිටතින් පිහිටක් නො සොයන නුඹ වහන්සේගේ ධර්මය ස්ථීර වශයෙන් ම පිළිගෙන සිටින ඔබ වහන්සේගේ ශ්‍රාවක කාමභෝගී එක් ගෘහස්ථ උපාසකයෙකුදු ඇත්තේ ද?”
“වච්ඡය, සියයක්, දෙසියයක්, තුන්සියයක්, සාරසියයක්, පන්සියයක් නො වේ. මාගේ ශ්‍රාවක වූ එබඳු ගෘහස්ථෝපාසකයෝ බොහෝ ඇත්තාහ.”
“පින්වත් ගෞතමයෙනි, පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය කොට මරණින් මතු බඹලොව උපදනා වූ එහි ම පිරිනිවෙන්නා වූ නැවත මේ ලෝකයට නො එන්නා වූ ගෘහස්ත වූ එක් උපාසිකාවකුදු ඇත්තේ ද?”
“වච්ඡය, සියයක්, දෙසියයක්, තුන්සියයක්, සාරසියයක්, පන්සියයක්, නො වේ. මාගේ එබඳු බොහෝ ගෘහස්ථ ශ්‍රාවිකාවෝ ඇතහ.”
“පින්වත් ගෞතමයනි, නුඹ වහන්සේගේ අනුශාසනය අවවාදය පිළිපදින්නා වූ සියලු සැක දුරු කරගෙන සිටින්නා වූ නුඹ වහන්සේගේ ධර්මය ස්ථීර වශයෙන් ම පිළිගෙන සිටින්නා වූ නුඹ වහන්සේගේ සසුනෙන් පිටතින් පිහිටක් නො සොයන්නා වූ ගෘහස්ථ වූ කාමභෝගිනී වූ නුඹ වහන්සේගේ එක් ශ්‍රාවිකාවකුදු ඇත්තී ද?”
“වච්ඡය, සියයක් දෙසියයක් තුන්සියයක් සාරසියයක් පන්සියයක් නො වේ. මාගේ එබඳු ගෘහස්ථ ශ්‍රාවිකාවෝ බොහෝඇත්තාහ.”
මේ කථාවෙන් තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ධර්මය කාහටත් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක් බව දැන පැහැදුනා වූ වච්ඡ පිරිවැජි තෙමේ බුදු සසුනෙහි පැවිදිව තථාගතයන් වහන්සේගේ අවවාදානුශාසනයන් අනුව පිළිපැද සියලු කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ නවලෝකෝත්තර ධර්මය තමා විසින් ම දැක ගත්තේ ය. ප්‍රත්‍යක්ෂ කර ගත්තේ ය.
(මජ්ඣිම නිකාය මහාවච්ඡගොත්ත සූත්‍රය)
ලෝකෝත්තර ධර්මයෝ වනාහි ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ම ප්‍රයෝජන ලැබිය යුත්තෝ ය. එකකුගේ ප්‍රත්‍යක්ෂයෙන් අනිකකුට ප්‍රයෝජනයක් නො ලැබිය හැකිය. ගුරුවරයා ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ගෝලයාට හෝ පැවිද්දා ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ගිහියාට හෝ දේශකයා විසින් ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ශ්‍රාවකයාට හෝ ප්‍රයෝජනයක් නැත. ප්‍රත්‍යක්ෂ කර ගැනුමෙන් ම ප්‍රයෝජනය ලැබිය යුතු බැවින් ද නව ලෝකෝත්තර ධර්මය සන්දිට්ඨික නම් වේ. පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙක්හි ද එක්තරා ප්‍රමාණයක සාන්දෘෂ්ටික ගුණයක් ඇත්තේය.