4. ශ්‍රී භාග්‍යය

දක්නවුන්ට සතුට ඇති කරන්නා වූ නැවත නැවත දැකිමේ ආශාව ඇති කරන්නා වූ රූප ශෝභාව හා ශරීරය වස්ත්‍ර වාසස්ථාන පරිභෝග භාණ්ඩ යන මේවායේ පිරිසිදුබව ගමනාදි ඉරියව් පැවැත්වීමේ ශෝභානත්වය කථා කීරිම් බැලිම් සිනාසිම් ආදි ක්‍රියාවන්ගේ ශෝභනත්ත්වය යනාදිය ශ්‍රී නම් වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් ද කේතුමාලා ව්‍යාමප්‍රභා අගීතිහස්තප්‍රභා යන රශ්මීන්ගෙන් ද යුක්ත වන තථාගත දේහය ඉතා ශ්‍රීමත් ය. අන් මිනිසකුට තබා දෙවියකුට බ්‍රහ්මයකුට ද එබඳු ශ්‍රීමත් ශරීරයක් නැත. භාග්‍යවතුන් වහන්සේ තීර්ථකමථනනය පිණිස යමාමහ පෙළහර කොට තව්තිසා දෙව්ලොවට වැඩ වදාරා සක්දෙව් රජුගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි අබ්දම් දෙසීම සඳහා වැඩහුන් කල්හි දස දහසක් සක්වලින්ම පැමිණ දේව බ්‍රාහ්මයෝ උන් වහන්සේ වටා සිට ගත්හ. ඒ මහ පිරිසෙහි රූප ශෝභාවෙන් තථාගතයන් වහන්සේ යට පත් කළ හැකි එක දෙවියකු එක බ්‍රහ්මණයකු නොවූ බවත් සකල දේව බ්‍රහ්මයන්ගේ රූප ශෝභාව ඉක්මවා තථාගතයන් වහන්සේ ම බැබලූණ බවත්:-

තාවතිංසෙ යදා බුඬො - සිලායං පණ්ඩුකම්බලෙ,
පාරිච්ඡත්තකමූලම්භි - විහාසි පුරිසුත්තමො,

-

දසසු ලොකධාතූසු - සන්තිපතිත්වාන දෙවතා,
පයිරුපාසන්නි සම්බුද්ධං - වසන්තං නගමුද්ධනි.

-

න කොචි දෙවො වණ්ණෙන - සම්බුද්ධං අතිරොචති,
සබ්බෙ දෙවෙ අධිග්ගය්හ - සම්බුද්ධොව විරොචති.

(ධ. අ. 453)

යනුවෙන් ප්‍රකාශිතය.

තථාගතයන් වහන්සේගේ දේහයෙහි අන්‍යයන්ගේ සිත් ඇද ගන්නා ශක්තිය කොතරම් ද කියත හොත් උන් වහන්සේ පිඬු සිඟාවඩනා දුටු චක්කලී නම් බ්‍රහ්මණයා උන් වහන්සේගේ රූසිරි බල බලා සිටීමේ ආශාවෙන් ම පැවිදි විය. පැවිදි වූ චක්කලී අන්‍ය භික්ෂුන් මෙන් කමටහන් වැඩීම ආදියෙහි නො යෙදී තථාගතයන් වහන්සේ දැකිය හැකි තැන්වල ම වෙසෙමින් උන් වහන්සේගේ රූසිරු බැලීමෙහි ම යෙදුනේය. තථාගත දේහය හොබවන මහාපුරුෂලක්ෂණ දෙතිස මෙසේ ලක්ෂණ සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.

(1) “ඉඩ භික්ඛවෙ, මහාපුරිසො සුප්පතිට්ඨීත පාදො හොති, යම්පි භික්ඛවෙ මහාපුරිසො සුප්පතිට්ඨීත පාදො හොති, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිස ලක්ඛණං භවති.

(2) පුන ව පරං භික්ඛවෙ, මහාපුරිසස්ස හෙට්ඨා පාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරානි, යම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.

(3) පුන ව පරං භික්ඛවෙ, මහාපුරිසො ආයතපණ්හී හොති, (4) දීඝංගුලී හොති, (5) මුදුතලූත හත්ථපාදො හොති. (6) ජාලහත්ථපාදො හොති, (7) උස්සංඛපාදො හොති (8) එණි ජංඝො හොති, (9) ඨීතකොව අනෝනමන්තො උභොහිපාණිතලෙහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති, (10) කොසොහිතවත්ථගුය්හො හොති (11) සුවණ්ණවණ්ණො හොති, කඤ්චනසන්නිහත්තවො, (12) සුඛුමච්ඡවි හොති, සුඛුමත්තා කායෙ රාජොජල්ලං න උපලිම්පති, (13) එකෙක ලොමො හොති එකෙකානි ලොමානි ලොමකූපෙසු ජාතානි, (14) උද්ධග්ගලොමො හොති උද්දග්ගානි ලොමානි ජාතානි, නීලානි අඤ්ජනවණ්ණානි වත්තානි දක්ඛිණාවත්තජාතානි (15) බ්‍රහ්මුජ්ජුගත්තො හොති, (16) සන්තුස්සදො හොති, (17) සීහපුබ්බද්ධ කායො හොති, (18) චිතන්තරංසො හොති (19) නිග්‍රොධපරිමන්ඩලො හොති යාවතක්වස්ස කායො තාවතක්වස්ස බ්‍යාමො, යාවතක්වස්ස බ්‍යාමො තාවතක්වස්ස කායො හොති, (20) සමවත්තක්ඛන්ධො හොති, (21) රසග්ගසග්ගී හොති, (22) සීහහනු හොති, (23) වත්තාළීස දන්තො හොති, (24) සමදන්තො හොති (25) අවිවරදන්තො හොති (26) සුසුක්කදාඨො හොති, (27) පහූතජිව්හො හොති, (28) බ්‍රහ්මස්සරො හොති, කරවීකහාණී, (29) අහිනීල නෙත්තො හොති, (30) ගොපඛුමො හොති, (31) උණ්ණා භමුකන්තරෙ ජාතා හොති, ඔදාතා මුදුතුලනිභා ඉදම්පි භික්ඛවෙ මහාපුරිසස්ස මහා පුරිසලක්ඛණං භවති. (32) පුන ච පරං මහාපුරිසො උණ්හීසසීහො හොති, යම්පි භික්ඛවෙ මහාපුරිසො උණ්හීසසීසො හොති, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති, ඉමානි ඛො තානි භික්ඛවෙ ද්වත්තිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානී”.

1. සුප්පතිට්ඨීතපාදො

සාමාන්‍යය ජනයා පය බිම තබන කල්හි පයෙහි අග හෝ විලූඹ හෝ පාර්ශ්වයක් හෝ පළමුවෙන් පොළොවට පැමිණේ. බිම තැබූ කල්හි ද මැද පොළොවෙහි නො සැපී උස්ව සිටී. තථාගතයන් වහන්සේ පය බිම තබන කල්හි සැම තැන එක වර පොළොව ස්පර්ෂ කරයි. මැද උස්ව නොසිටී, මේසෙන් හැන්දක් මෙන් සැම තැනින් පොළොව ස්පර්ශ කර ගෙන සීටී. මේ සුප්පතිට්ඨිතපාදතා නම් පුරුෂ ලක්ෂණ ය.

2. හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි

තථාගතයන් වහන්සේගේ යටි පතුල් යුවළෙහි දහසක් දැවි ඇති චක්‍රසටහන් යුවළක් පිහිටා ඇත්තේ ය. මේ එක් මහා පුරුෂ ලක්ෂණයෙකි. එය වටා ස්වස්තිකය ශ්‍රීවත්සය, නන්ද්‍යාවර්තය, සෞවස්තිකය, අවතංසය යනාදි මඟුල් ලකුණු බොහෝ ගණනක් පිහිටා ඇති බව අටුවාවල කියා ඇත්තේ ය.

3. ආයතපණ්හි

දික් වූ විළුම් ඇති බව එක් මහා පුරුෂ ලක්ෂණයෙකි. සාමාන්‍ය ජනයන්ගේ අක් පතුල් දිගය. විළුම් මත සිහින් කකුල් පිහිටා ඇත්තේය. ඇතැමුන්ගේ විළුම් මඳක් ඇත්තේ ය. ඇතැමුන්ගේ විළුම් සැසැදැමුවාක් මෙන් පෙනෙන්නට නැත. තථාගතයන් වහන්සේගේ පතුලෙන් දෙකෙන් කොටසක් ඉදිරියට ඇත්තේ ය. තුන් වන කොටසෙහි සිහින් කකුල් පිහිටා ඇත්තේ ය. ඉන් පස්සට විලූඹ පතුලෙන් සතරෙන් කොටසක් ඇත්තේ ය. එය ලියවන ලද්දක් සේ ශෝභන ලෙස පිහිටා තිබේ.

4. දීඝංගුලි

සෙස්සන්ගේ ඇඟිලි සමහරක් දික් ය. සමහරක් කෙටි ය. බුදුරදුන්ගේ අත් පාවල ඇඟිලි මුල මහත්ව අග සිහින්ව දිගින් සමව පිහිටා ඇත්තේ ය.

5. මුදු තලුණ හත්ථපාදො

බුදුරදුන්ගේ අතුල් පතුල් උපන් සැටියේ දරුවකුගේ අතුල් පතුල් මෙන් මෘදුව ඇත්තේ ය.

6. ජාලහත්ථ පාදො

බුදුරදුන් අතෙහි ඇඟිලි සතර හා පයේ ඇඟිලි පස දක්ෂ ශිල්පියකු විසින් ලිය වූ පොලූ යොදා කළ කවුළුවක අක්මුල් හා ගැට එක පෙලට පවත්නාක් මෙන් අක්මුල් හා සන්ධිස්ථාන එක පෙළට සමව පිහිටා ඇත්තේ ය.

7. උස්සංඛ පාදො

බුදුරදුන්ගේ පාදයෙහි ගොප් ඇට අන්‍යයන්ගේ ගොප් ඇට පිහිටි තැනට ඉහළින් පිහිටා ඇත්තේ ය. සෙස්සන්ගේ ගොප් ඇට පයේ පහළ පිහිටා ඇති බැවින් පතුල් තද වී ඇත්තේ ය. පහසුවෙන් ක්‍රියා කරවිය නො හැකිය. බුදුරදුන්ගේ පාවල ගොප් ඇට ඉහළින් පිහිටා ඇත් බැවින් පතුල් පහසුවෙන් ක්‍රියා කරවිය හැකි ය. ගමන් කරන කල්හි සෙස්සන්ගේ පතුල් ඇතුන්ගේ මෙන් පිටිපසට පමණක් පෙනේ. ඉදිරියෙන් නො පෙනේ. බුදුරදුන් වඩනා කල්හි උන්වහන්සේ ගේ පතුල් ඉදිරි, පසු දෙසින් ම දැකිය හැකිය.

8. එණිජංඝො

සෙස්සන්ගේ සිහින් කකුල් පිටිපසින් මස් ගොබයකින් යුක්ත වී ඉදිරිපස ඇට මතු වී ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ ජංඝාවෝ එණි නම් මෘගයන්ගේ ජංඝා මෙන් මසින් වට වී ඇත්තාහ.

9. ඨීතකොව අනොනමන්තො උභොහි පාණිතලෙහි ජණ්ණුකානි පරිමසති, පරිමජ්ජති.

සෙස්සන්ට පිට ගෙන තමන්ගේ දණ නො නැමී අත නො ගෑ හැකි ය. තථාගත ශරීරය සිට ගෙන නො නැමී දණ අතින් පිරිමැදිය හැකි පරිදි ඇත්තේ ය. එය පමණට වඩා අත් දික්ව පිහිටිමක් ලෙස නො සැලකිය යුතු ය. එයට සුදුසු වන පරිදි තථාගත ශරීරය පිහිටා ඇති බැවින් උන් වහන්සේට එසේ කළ හැකි ය.

10. කොසොභිත වත්ථගුය්හො.

තථාගතයන් වහන්සේගේ පුරුෂව්‍යඤ්ජනය ගවයන්ගේ ඇතුන්ගේ මෙන් කෝෂයකින් වැසී ඇත්තේ ය.

11. සුවණ්ණවන්ණො.

තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ඔපලා ඇති ස්වර්ණයක් මෙන් ස්වර්ණ වර්ණ වන්නේ ය.

12. සුබුමච්ඡවි.

තථාගතයන් වහන්සේගේ සම ඉතා සියුම් ය. එබැවින් එහි ධුලි ආදිය නො තැවරෙයි. නෙළුම් පතට වැටෙන දියබින්දු එහි නො ඇලී පෙරළි යන්නාක් මෙන් තථාගත ශරිරයට පැමිණෙන ධූලි එහි නො ඇලී ඉවත් වෙයි. එබැවින් තථාගත ශරීරය සෑම කල්හි පවිත්‍රව පවත්නේ ය. උන්වහන්සේ අත් පා සේදීම කරන්නේ ජලස්නානය කරන්නේ කය සිසිල් කිරිම පිණිස හා දායකයන්ට පින් සිදුවීම පිණිස ය.

13. එකෙක ලොමො.

සෙස්සන්ගේ එක ලෝමකූපයක සමහර විට ලොම් දෙක තුන බැගින් ද වෙයි. තථාගත ශරිරයෙහි ඇත්තේ එක් ලෝමකූපයක එක් ලෝමයක් බැගිනි.

14. උද්ධග්ග ලොමො.

සෙස්සන්ගේ ශරීරවල ලොම් නන් අයුරින් පිහිටා තිබේ. තථාගත ශරිරයේ ලොම් සියල්ල දකුණතට කරකැවී අග උඩ බලා සිටින සේ පිහිටා ඇත්තේ ය.

15. බ්‍රහ්මුජ්ජුගත්තො.

බොහෝ දෙනාගේ ශරිර ඉදිරියට හෝ පස්සට නැමී බර වී තිබේ. සමහරුන්ගේ ශරීර පැත්තට ද නැමී පවතී. ඇතැම්හු පස්සට නැමුණු ශරිරය ඇති නිසා නිතර උඩ බලා සිටිති උඩ බලා ගමන් කරති. මහාපුරුෂ ශරිරය බ්‍රහ්මයාගේ ශරීරය මෙන් සෘජුව පවතී. තථාගතයන් වහන්සේගේ දේහය එසේය.

16. සන්තුස්සදො.

පිටිඅත් දෙක පිටිපතුල් දෙක උරහිස් දෙක ස්කන්ධය යන සත්තැන ම තථාගත ශරීරයෙහි ඇට නහර මතු නොවී පිරි පවතී. එය සත්තුස්සද නම් මහාපුරුෂ ලක්ෂණය ය. බොහෝ දෙනාගේ ශරිරවල ඒ ස්ථානයන්හි ඇට නහර මතු වී ඇත්තේ ය.

17. සීහපුබ්බද්ධ කායො

සිංහ ශරීරයේ පූර්වාර්ධය පරිපුර්ණ ය. පිටිපස අපරිපුර්ණ ය, දුබල ය. තථාගතයන් වහන්සේගේ සකල ශරීරය ම සිංහ ශරීරයේ පූර්වාර්ධය සේ පරිපූර්ණ ය.

18. චිතන්තරංසො

සෙස්සන්ගේ පිට මැදින් වළගැසී දෙකට බෙදී ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ පිට මසින් පීරී ලෑල්ලක් සේ සමව පිහිටා ඇත්තේ ය.

19. නිග්‍රොධ පරිමණ්ඩලො

නුග ගස සැට රියනක් උස නම් සැටරියනක් පුළුල් වන්න් ය. අසූරියනක් උස නම් අසුරියනක් පුළුල් වන්නේ ය. දිග පුළුලින් සමවන නුගරුකක් මෙන් තථාගත ශරීරය ද සමව පිහිටා ඇත්තේ ය. තථාගත දේහයේ උස යම් පමණ නම් බඹය ද එපමණ ම වේ. බඹය යම් පමණ නම් උස ද එපමණ ම වේ. උසත් බඹයත් සමව පිහිටා ඇත්තේ ය. සෙස්සන්ගේ බඹය හෝ දික්වෙයි. ශරිරය හෝ දික්වෙයි. ශරිරයත් බඹයත් සම නො වේ.

20. සමවත්තක්ඛන්ධො.

ඇතැම්හු කොකුන් මෙන් දිග් ගෙළ ඇත්තෝ ය. ඇතැම්හු වක් වූ ගෙළ ඇත්තෝ ය. ඇතැම්හු පුළුල් ගෙළ ඇත්තෝ ය. කථා කිරිමේ දී ඔවුන්ගේ ගෙළෙහි නහර මතුවෙයි. හඬ මහත්ව මිහිරිව නො නැඟෙයි. තථාගතයන් වහන්සේගේ ගෙළ රන්කලසක කර සෙයින් වටවී පිහිටා ඇත්තේ ය. කථා කිරීමේදී නහර මතු නොවේ. එයින් මහත් වූ ද මිහිරි වූ ද හඬ නැඟෙයි.

21. රසග්ගසග්ගී

භාග්‍යවතුන් වහන්සේගේ සත්සියයක් රස නහර (ආහාර ඕජාව ශරීරයේ පතුරුවන නහර) උඩුකුරුව ගොස් ග්‍රීවයට අක් පැමිණ පිහිටා තිබේ. එබැවින් තල ඇටයක් පමණ වූ ද ආහාරයක් දිවෙහි තැබුව හොත් එහි රසය සකල ශරිරයෙහි ම පැතිර යයි. දුෂ්කර ක්‍රියා කාලයේ දී බෝසතාණන්ට එක් බත් ඇටයකින්, මුං තැන්බු දිය ස්වල්පයකින් යැපිය හැකි වූයේ මේ මහාපුරුෂ ලක්ෂණය නිසා ය. සෙස්සන්ගේ රස නහර එසේ පිහිටා නැති බැවින් ඔවුන් ගන්නා ආහාරයේ ඕජාව සකල ශරීරයේ නො පැතිරෙයි. එබැවින් ඔවුහු රෝග බහුලයෝ වෙති.

22. සීහහනු.

සිංහයාගේ යටිහක්ක සම්පුර්ණ ය. උඩුහක්ක අසම්පුර්ණ ය. සිංහයාගේ යටිහනුව මෙන් මහා පුරුෂයාණන්ගේ උඩු යටි හනු දෙක ම පුර පසළොස්වක දිනයේ සඳ මෙන් සම්පුර්ණව ඇත්තේ ය.

23. චත්තාළීස දන්තො

සෙස්සන්ට හනු අපරිපූර්ණ බැවින් ඔවුනට දත් දෙතිසක් වුවද, තිසක් වුවද, විසිඅටක් වුවද ප්‍රමාණ වන්නේය. තථාගතයන් වහන්සේගේ හනු පරිපුර්ණ බැවින් එක් එක් හනුවක දත් විස්ස බැගින් දත් සතළිසක් ඇත්තේ ය.

24. සමදන්තො

සෙස්සන්ගේ ඇතැම් දත් මිටිව ඇතැම් දත් උස්ව ද නො සම ලෙස පිහිටා ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ සමසතළිස් දන්තයෝ උස් මිටි නැතිව එක් පෙළට මැනවින් පිහිටා සිටින්නාහ.

25. අව්වරදන්තො

බොහෝ දෙනාගේ දත් එකිනෙක බැඳි පිහිටා නැත්තේ ය. ආහාර ගන්නා කල්හි දත් අතර අහර රැඳේ. එවා පසුව ඉරටු ආදියෙන් බැහැර කළ යුතු වෙයි. තථාගතයන් වහන්සේ ගේ දන්තයෝ එකින් එක බැඳි පිහිටා සිටිති. ආහාරවලට රැඳී සීටිමට තැනක් උන් වහන්සේගේ දන්තයන් අතර නැත්තේ ය.

26. සුසුක්ක දාඨො

දාඨා යනු තොල් කෙළවර පිහිටා ඇති වට දත් සතර ය. ඇතැමුන්ගේ දාඨාවෝ විවර්‍ණ වෙති. තථාගතයන් වහන්සේගේ සතර දාඨාවෝ පහන් තරුව සේ ඉතා සුදු ය. උන් වහන්සේ සිනාසෙන කල්හී ඒවායින් සුදු රැස් විහිදෙන්නේ ය.

27. පහුත ජිව්හො.

ඇතැමුන් ගේ දිව පමණට වඩා ඝන හෝ වෙයි, කුඩා හෝ වෙයි. ඉක්මනින් ක්‍රියා කරවිය නොහෙන පරිදි තද හෝ වෙයි. ඔවුනට පිරිසිදු ලෙස උච්චාරණය නො කළ හැකි ය. ඇතැම් අකුරු උච්චාරණය නො කළ හැකි ය. බුදුරදුන්ගේ දිව වනාහි දිග් ද පුළුල් ද මෘදු ද සම ද වර්‍ණවත් ද වේ. එබැවින් උන් වහන්සේගේ ස්වරය මිහිරි ය. සෙස්සන් කීමට පැය ගණනක් කාලය ගන්නා දෙය උන් වහන්සේට අසනුවන්ට පැහැදිලි ලෙස තේරුම් යන පරිදි විනාඩි ගණනකින් කිය හැකි ය. දිව මෘදු බැවින් තථාගතයන් වහන්සේට එය හකුළුවා පන්හිඳක් සේ කොට නාස්පුඩු පිරිමැදිය හැකි ය. කන් සිදුරු පිරිමැදිය හැකි ය. පුළුල් කොට නළල වැසිය හැකි ය.

28. බ්‍රහ්මස්සරො හොති කරවීකභාණී.

ඇතමෙකුගේ හඬ වඩුවන් ඇණ ගසන හඬ සේ ටින් කබල්වලට තට්ටු කරන හඬ සේ දර පලන හඬ සේ කවුඩු හඬ සේ රළුය. අමිහිරිය, පිත් සෙම් ආදියෙන් අවහිරයක් නැතිව නැඟි එන තථාගතයන් වහන්සේගේ ස්වරය බ්‍රාහ්මයාගේ ස්වරය බඳු ය. අෂ්ටාංගයකින් යුක්ත ය. ස්වරයෙහි අංග අට,

“විස්සට්ඨ මඤ්ජු විඤ්ඤෙය්‍යා - සවනීයා වීසාරිනො

බින්දු ගම්භීර නින්නාදි - ත්‍යෙව අට්ඨංගිකො සරො”

යනුවෙන් අභිධානප්පදීපිකාවෙහි දක්වා ඇත්තේ ය. සිනිඳු බවය, මිහිරි බවය, පහසුවෙන් තේරුම් ගත හැකි බවය, කනට සැප බවය, අවුල් නැති බවය, එකතු වී ඇති බවය, ගැඹුරු බවය, නින්නාද ඇති බවය යන මේ අට ස්වරයෙහි අංගයෝ ය. අෂ්ටාංගයෙන් යුක්ත වන බුදුරදුන්ගේ හඬ කුරවිකෙවිල්ලන්ගේ හඬ සේ මධුර ය.

කුරවිකෙවිල්ලා හිමාලය වනයෙහි වෙසෙන පක්ෂියෙකි. ඌ ඉදුණු අඹවලින් වෑස්සෙන පැණි බී තෘප්තව පියාපත් ගසමින් නාද කරන්නට පටන් ගනී. උගේ හඬ කොතරම් මිහිරි ද කියත හොත්, ඒ හඬ කන හුණු මෘගපක්ෂිහු මත්වුවන් මෙන් එයට ඇහුම්කම් දෙන්නට පටන් ගනිති. තණ කන මෘගයෝ කටට ගත් තණ බිම හෙලා එයට ඇහුම්කන් දෙමින් එහි රසය විඳින්නට පටන් ගනිති. කුඩා සතුන් ලුහුබැඳ දුවන සිංහව්‍යාඝ්‍රාදීහු එස වූ පා බිම නො තබා එයට ඇහුම්කන් දෙති. මරණ බියෙන් දුවන කුඩා සත්තු නැවතී එයට ඇහුම්කන් දෙති. පියාසර කරණ පක්ෂිහු පියාපත් නොගසා ඒ හඬ අසති. දියෙහි මස්හු වරල් නො ගසා ඒ හඬ අසති. කරවීක පක්ෂීයාගේ හඬට වඩා සියගුණයෙන් සහස් ගුණයෙන් තථාගතයන් වහන්සේගේ නාදය වූ බ්‍රහ්මඝෝෂාව මිහිරි ය.

කරවීය පක්ෂියාගේ හඬ ගැන බ්‍රහ්මායු සුත්‍ර අටුවාවෙහි සඳහන් කථාවක් මෙසේ ය. අසන්ධිමිත්‍රා නම් වු ධර්මාශෝක රජුගේ දේවිය “ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ හඬ බඳු හඬක් කාහටවත් ඇත්තේ දැ’යි මහාසංඝයාගෙන් විචාළා ය. “එබඳු හඬක් කරවීක පක්ෂියාට ඇතය ය’යි මහාසංඝයා වහන්සේ වදාළහ. “ඔවුහු කොහි වෙසෙත් දැ’යි දේවිය ඇසුවා ය. හිමාලය වනයෙහි වෙසෙන බව මහාසංඝයා වදාළහ. දේවිය කරවීක පක්ෂියකු බලන්නට කැමති බව රජතුමාට කීවේය. රජු “මේ කුඩුවෙහි හිඳ කරවීය පක්ෂියෙක් ඒවා’යි රන්කූඩුවක් යැවීය. එය අහසින් ගොස් එක් කරවීය පක්ෂියකු ඉදිරියේ නැවතිණ. පක්ෂියා එය තුළට වන් කල්හි කූඩුව පෙරළා අවුත් රජු ඉදිරියේ නැවතිණ. එහෙත් ඌ ලවා නාද කරවන්නට නො පිළිවත් විය. එකල්හි රජ “මේ පක්ෂියා හඬන්නේ කෙසේදැ’යි ඇසීය. “දේවයන් වහන්ස, නෑයන් දුටු කල්හි මොහුහූ හඬ නගන්නාහ’යි දන්නෝ කීහ. රජතුමා කූඩුව වටා කන්නාඩි තැබවී ය. පක්ෂියා උගේ ඡායාව දැක නෑයන් පැමිණියේ ය’ යි සිතා නාද පවත්වන්නට විය. සකළ නගරයේ ම මනුෂ්‍යයෝ ඒ හඬ අසා මත් වූහ. අසන්ධිමිත්‍රා දේවිය “මේ තිරිසන් සතාගේ ස්වරය මෙතරම් මිහිරි නම් සර්‍වඥතාඥානශ්‍රීයට පත් තථාගතයන් වහන්සේ ගේ ස්වරය කොතරම් මිහිරි වන්නට ඇද්දැ’යි බුද්ධාලම්බණ ප්‍රීතිය උපදවා ඒ ප්‍රීතියෙන් ම සෝවාන් ඵලයෙහි පිහිටියා ය.

29. අභිනීල නෙත්තො

බොහෝ දෙනාගේ නෙත් දුඹුරු පැහැ ඇත්තේ හෝ බොරපැහැ ඇත්තේ හෝ වෙයි. තථාගතයන් වහන්සේගේ නේත්‍රයන්ගේ මධ්‍යමණ්ඩලයෝ දිය බෙරලිය මල් සෙයින් නිල්පැහැ ඇත්තාහ. තවද ඒවායේ රන්වන් විය යුතු තැන් කිණිහිරිමල් සෙයින් රන්වන් ය. රතු විය යුතු තැන් බඳුවද මල් මෙන් රතු ය. සුදු විය තැන් ඔප ලූ සක් මෙන් සුදු ය. කළු විය යුතු තැන් අඳුන් සේ කළු ය.

30. ගොපඛුමො

බොහෝ දෙනාගේ ඇස් පමණට වඩා මහත් හෝ කුඩා හෝ වෙයි. ඉදිරියට නෙරා හෝ ගිළී හෝ ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ අක්ෂිගුලයෝ එකෙණෙහි උපන් රතු වස්සන්ගේ ඇස් මෙන් ප්‍රසන්න වන්නාහ. ඔප දමා ඇති මැණික් ගුළි සේ සිනිඳු ද පැහැපත් ද වන්නාහ.

31. උණ්ණා භමුක්කන්තරෙ ජාතා

තථාගතයන් වහන්සේ ගේ දෙබැම අතර නළල මැද දක්ෂිණාවර්ත ශුභ්‍රවර්ණ රෝමයක් පිහිටා ඇත්තේ ය. එය ඌර්‍ණරෝම නම් වේ. එය අගින් ගෙන ඇද්ද හොත් බාහුවෙන් අඩක් පමණ වන්නේ ය. ගිතෙල් ගැල්වූ සියවර පෙලූ පුළුන් රොදක් සේ මෘදු වූ ඒ රෝමය එක් මහාපුරුෂ ලක්ෂණයකි. එය රන් තැටියක රිදී බුබුලක් සේ බබලන්නේ ය.

32. උණ්භීස සීසො

දෙකන්සිළු දක්වා නළල වසා සිටින සෙස්සන්ට නැති විශේෂ මාංසපටලයක් තථාගතයන් වහන්සේගේ නළලෙහි ඇත්තේ ය. එය උණ්හීස නම් වේ. එය රජුන් බදින නළල් පටක් සේ දිලෙයි. පශ්චිමභවික මහාබෝසතුන්ගේ ඒ මහා පුරුෂ ලක්ෂණය අනුව රජුන් නළල් පටක් පළදින්නට පටන් ගත් බව ද කියා තිබේ.[

මේ මහා පුරුෂ ලක්ෂණ දෙතිසෙන් යුක්ත වූයේ ගිහිව සිටියේ සතර මහාද්වීපයන්ට අධිපති චක්‍රරත්නාදි සප්ත රත්නයන් ඇති සක්විති රජෙක් වේ. පැවිදි වූයේ නම් ලොව්තුරා බුදුවේ. මේ මහා පුරුෂ ලක්ෂණ වලින් ඇතැම් ලකුණු සමහර උසස් පුද්ගලයන්ට ද ඇති වේ. බාවරී තවුසාට මහ පුරිස් ලකුණු තුනක් තුබු බව කියා තිබේ. බොහෝ බමුණන් බුදුරදුන් බුදුකෙනෙකුන් ලෙස පිළිගත්තේ උන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි පිහිටි මහා පුරුෂ ලක්ෂණයන් දැකිමෙනි. බුදු කෙනෙකුට ලොව පහළ වන්නට සමීප වූ කල්හි මිනිසුනට බුදුන් හැඳින ගත හැකිවනු පිණිස ශුද්ධාවාස බ්‍රහ්මයන් මිනිස් ලොවට පැමිණ බමුණු වෙසින් සිට මහා පුරුෂ ලක්ෂණයන් ඇතුළත් කොට වේදය උගන්වන බවත්, බුදුරදුන් පිරිනිවීමෙන් පසු ඒ කොටස ක්‍රමයෙන් වේදයෙන් ගිලිහී යන බවත්, දැනට ඒ කොටස වේදයෙහි නැති බවත් බ්‍රහ්මායුසූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ.

මහ බෝසතාණන් මවු කුසින් බිහිව පස් වන දිනයෙහි උන් වහන්සේට නම් තැබිම සඳහා රජ මැඳුරට කැඳවූ බමුණන්ගෙන් සත් දෙනෙකුන් “මේ කුමරු ගිහි ගෙයි විසුව හොත් සක්විති රජ වන්නේ ය යි ද, පැවිදි වුවහොත් කෙලෙස් වැස්ම නැති කොට ලොවුතුරා බුදු වන්නේය’යි පැවසුවේ ද, සැම දෙනාට බාල කොණ්ඩඤ්ඤ නම් බමුණා “මේ කුමරු ගිහිගෙහි නො වෙසෙන්නේ ය. ඒකාන්තයෙන්ම පැවිදිව බුදුවන්නේ ය’යි කීයේ ද, වේදයෙහි එන මහපුරිස් ලකුණු බෝසත් කුමරුගේ දේහයෙහි තිබෙනු දැකිමෙනි. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා විසින් ඒ ප්‍රකාශය කළේ කිනම් ලකුණක් දැකිමෙන් ද යන බව අටුවා ටීකා පොත්වල දක්වා නැත. සිදුහත් කුමරුගේ පතුල්වල සප්ත රත්නයන් සහිත සක්විති රජුගේ රූ සටහන පිහිටා තිබුණේ ය. පතුලෙහි ඒ ලකුනු පිහිටා ඇති අයකු සක්විති රජ නොවිය හැකි ය. ඒ තැනැත්තා සුදුසු වන්නේ සක්විති රජුට වඩා උසස් කෙනකු වීමට ය. ඒ ලකුණු දැක කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා මේ කුමරා ඒකාන්තයෙන් බුදු වන්නේය’ යි කීයේය’ යි සාසන සම්පත්තිදීපනී නමැති බුරුම ග්‍රන්ථයෙහි කියා තිබේ.

තථාගතයන් වහන්සේගේ දේහශ්‍රීය වර්ධනය කරන අනුව්‍යඤ්ජන නාමයෙන් හඳුන්වන ලක්ෂණ අසූවක් ද උන් වහන්සේගේ දේහයෙහි ඇත්තේ ය. ග්‍රන්ථය මහත් වන බැවින් ඒවා මෙහි නො දක්වනු ලැබේ.

අනු මාතෘකා
keyboard_arrow_rightදේහරශ්මීහු