(භාණ්ඩාගාරික තිස්ස ඇමතිගේ කථාව සීහළවත්‍ථු අනුවාදයේ 102 වෙනි පිටේ සිට දැක්වේ. එහි විස්තර වශයෙන් කියවෙන්නේ ඒ ඇමතියාගේ බිරිඳ බවට පත් කුමරිය ගැනයි. ඇමතියාගේ මුල් කාලය පිළිබඳ ප්‍රවෘත්ති ස-හස්සවත්‍ථුවෙන් ගෙන මෙහි දක්වනු ලැබේ.
ලක්දිව මාගම විසූ එක් ඇමතියෙකුට උත්තමරූපධර දුවණියක් ලැබුණි. ඇය පයින් යන කාලය පැමිණි විට පුතෙක් ලැබුණි. ඕ හට සංඝ යයි නම තැබූහ. ඒ කුමරු සත් හැවිරිදි කල්හි පියතෙමේ මරණාසන්නව දෙටු දියණිය තමන් වෙත කැඳවා පුත්‍රයාගේ අත ඇගේ අතෙහ තබා “මාගේ පුතා වැඩිවියට පැමිණි පසු මේ දේවල් දෙව”යි කියා තමා හැඳි ලක්ෂයක් වටිනා වස්ත්‍ර යුග්මය ද තමාගේ කඩුව ද මහසිරිය (=කිරිච්චිය) ද බාර දී මළේය. එකුමරු දොළොස්හැවිරිදි වියට පැමිණි කල්හි රූපයෙන් ද කාය බලයෙන් ද මුළ මාගම්හි ප්‍රකට විය. ඒ කාලයේදී ලක්දිව බැමිණිතියාසාය ඇතිවිය. එවිට සංඝ කුමාර තෙමේ භය සංසිඳුණු පසු එන්නෙමියි කියා සොහොයුරිය ගෙයිම නවතා පිටිසරට ගොස් වාසය කොට භය සංසිඳුණු පසු මාගමට ඇවිත් නැවතුණි. එකල්හි කොටගල වසන මහානාගතෙර නම මුළු මාගම පිඬු පිණිස හැසිර ආහාර නොලැබ හැරීයන්නේ සංඝ කුමරා විසින් දක්නා ලදි. “ස්වාමීනි, අහර ලැබුණේදැ”යි විචාළ විට තෙරනම “ලැබෙනවා ඇතැ”යි කීය. “එවිට ඇමතියා “ස්වාමීනි, මෙහි ටිකක් නවතිනු මැනවැයි” කියා ගෙට ගොස් පිළියෙළ වූ ආහාරයක් ඇද්දැයි සොහොයුරියගෙන් විචාරා “නැතැයි කී විට දහසක් වටිනා මුක්තාභාරයක් ගෙන වහා ගොස් එය උකස් තබා කහවණුවක් අගනා ආහාර ලබාගෙන වුත් තමා එය ලබාගත් ආකාරය කියා තෙරුන්ට පිළිගැන්වීය. තෙරනම එය රැගෙන තමන් වසන තැනට ගොස් අවවාද කොට විදසුන් වඩා රහත් වී ආහාරය වළඳී. එය දැනගත් අනුරාධපුරයේ රජුගේ ඡත්‍රයෙහි අධිගෘහීත දේවතාව සාධුකාර දුණි. රජු එය’සා කාට සාධුකාර දුන්නේදැයි විමසූ විට “සංඝාමාත්‍යයාටය”යි දේවතාවා කීය.
ඉන්පසු ඇමතියා පියා දුන් ලක්ෂයක් වටිනා වස්ත්‍ර දෙක සොහොයුරියගෙන් ඉල්වාගෙන එයි සායම් පොවා ගෙයි තැබීය. එක් දිනක් ගොළු මුහුදේ නෑමට ගිය ඒ ඇමතියා එහි නානවිට රන්මාල දහසකින්[1] පිරි ඔරුවක් රළවේගයෙන් අවුත් ඔහුගේ බෙල්ලේ හැපුණි. ඇමතියා එය අතින් ගසා ඈතට තල්ලු කළේය. නැවත නැවත එය ඇවිත් ඔහුගේ ඇඟේ හැපෙන විට එය ගොඩට ගෙන තබා කඩුවෙන් පැළීය. ඔරුව තුළ පිරී තිබුණු රන්මාල දැක ගෙට ගෙන ගොස් සොහොයුරියට දුණි. පසු දිනක හෙතෙම ලක්ෂයක් වටිනා වස්ත්‍ර ජෝඩුව හැඳගෙන කඩුව කරේ එල්ලාගෙන නුවරට*[2] යන්නට පිටත් විය. එකල්හි එක් භික්‍ෂුනමක් “තිඹිරිගමුව” නම් ගමේ පිඬු පිණිස හැසිර කිසිවක් නොලබා නික්මුණි. ඇමතියා ඒ භික්‍ෂුව දැක තමා පොරවා තිබුණු පණස් දහසක් වටිනා වස්ත්‍රය දී බත් රැගෙන ඒ භික්‍ෂුනමට දුණි. භික්‍ෂුනම එය ලැබුණු ආකාරය සලකා විදසුන් වඩා රහත්ව අනුභව කළේය. එය දැක රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවා සාධුකාර දුනි. රජතෙම කාට සාධුකාර දුන්නීදැයි විචාළ විට සංඝමාත්‍යයාට යයි දේවතාවා කීය.
දේවගිරිවිහාරවාසී එක් භික්‍ෂු නමක් වාතාබාධයකින් දොළොස් අවුරුද්දක් පෙළීය. එක් දිනක් ඒ තෙරනම හෙරණනමක් අමතා භික්‍ෂාවෙහි හැසිර ගිතෙල් ටිකක් සපයාගෙන එවයි කීය. හෙරණනම සිවුරු පොරවාගෙන මුළු ගමේ ඇවිද ගිතෙල් බින්දුවකුත් නොලැබ ගමෙන් නික්ම ගියේය. එකල්හි සංඝමාත්‍යයා ඒ සාමණේරයන් දැක “ස්වාමීනි, කුමක් සොයමින් ඇවිදින සේක්දැ”යි විචාළේය. හෙරණනම තමා ආ කාරණය කීය. “එසේ නම් ස්වාමීනි, ටික වේලාවක් මෙහි නතරවුව මැනවැ”යි කියා ඇමති තෙමේ තමාගේ සිරිය (=කිරිච්චිය) උකසට තබා කහවණු අටක් වටිනා ගිතෙලින් ගෙනා තලිය පුරවා දුණි. හෙරණනම එය ගෙන ගොස් ලැබුණු ආකාරය තෙරුන්ට කියා පිළිගැන්වීය.
තෙරනම එයින් බෙහෙත් තෙලක් සාදවා නස්‍ය කොට ඉතිරි තෙල්වලින් බුද්ධ පූජා පිණිස පහන් දැල්වීය. ඒ නස්‍යයෙන් දොළොස් අවුරුද්දක් පැවති ඒ වාතාබාධය සුව විය. එයින් සිත එකඟ කර ගත හැකි වූ තෙරනම විදසුන් වඩා රහත් විය. එය දුටු දේවතාවා නැවතත් සාධුකාර දුණි. රජ පෙරසේම විචාරා සංඝාමාත්‍යයාට සාධුකාර දුනිමියි කී විට සතුටු සිතැතිව “සංඝාමාත්‍යයා සොයා ගෙනාවෙකුට මහත් පරිත්‍යාගයක් කරන්නෙම්”යි නුවර බෙර හැරසුරු විය.
ඉක්බිති ධනය ලබනු කැමති මිනිස්සු නුවර දොරටු සතරෙන් නික්ම ඒ ඒ තැන සොයන්නට පටන් ගත්හ. නැගෙනහිර දොරටුවෙන් නික්මුණු ඇතැම් කෙනෙක් යන එන මිනිසුන්ගෙන් විචාරමින් මග අසළ නැවතී සිටියහ. එකල සංඝ ඇමතියා විඩාපත්ව එක් වස්ත්‍රයක් ඇඳගෙන කඩුව එල්වාගෙන මිත්‍රවැව[3] සමීපයට පැමිණියේය. එක් මිනිසෙක් ඔහු දැක “මේ සංඝාමාත්‍යයා විය හැකැ”යි කීය. තවත් අයෙක් “තමාගේ කඩුව තමාම රැගෙන තනිව එන මේ මිනිසා ගැන රජතුමා බලාපොරොත්තු වන්නේදැ”යි කීය. මෙසේ ඔවුනොවුන් කථා කරමින් සිටියදී අන් මිනිසෙක් ඇමතියා ඉදිරියට ගොස් ඔහුගේ නම් ගොත් විචාරා ඔහුගේ අතින් කඩුව ඉල්වාගෙන ඔහු කැටිව ආයේය. එකල්හි සෑගිරියෙහි විසූ ආරණ්‍යක ධම්මික තිස්ස තෙරනම සෑමලු බෝමලුවලට ගොස් බඳ පටියක් සෙවීය. ඇමතියා තෙරුන් දැක තමා හැඳි වස්ත්‍රයෙන් කොටසක් ඉරා තෙරුන්ට දුණි.[4]
තෙරනම එය බැඳගෙන ඇතුල් නුවරට පිවිසියේය. දේවතාවා පෙර සේම සාධුකාර දුණි. රජතෙම සාධුකාර දීමට හේතුව විචාරා දැන ගත්තේය. සංඝ ඇමතියා නුවරට ඇතුල්ව රජු දැලි රැවුල කප්පවන අවස්ථාවේදී රජ ගෙට පැමිණ තමා පැමිණි බව රජුට දන්වා යැවීය. සතුටු සිතැති රජතෙමේ ඔහු ගෙන්වා ඔහුට මහ වියනක් ද භාණ්ඩාගාරික තනතුරක්ද දුන්නේය. මෙසේ මහත් සම්පත් ලැබූ හෙතෙමේ එක් දිනක් නෑම සඳහා තිසා වැවට ගියේය.
(මෙතැන් සිට සීහළවත්‍ථු අනුවාදයේ 102 වැනි පිට පටන් කියවෙන සොහොයුරු සත් දෙනගේ හා නැගණියගේ ප්‍රවෘත්ති මෙහි දැක්වේ. දුර්භික්ෂය නිසා ඔවුන් වනයට යද්දී කැඳවාගෙන ගිය තෙරනම සුදස්සනපධානඝරවාසී චුල්ලනාගතෙර යයි මෙහි කියවේ. භය සංසිඳුණු පසු අනුරාධපුරයට යන ඒ අටදෙන තිසා වැව ඉවුරට පැමිණි විට මහවැස්සක් පටන් ගත්තේය. කුමරියගේ සොහොයුරෝ සත් දෙන වහා දුවගොස් “මාළේලිය” ගමට ඇතුල්වූහ. නමුත් තරුණිය ප්‍රකෘති ගමනින් ම ගියාය. ඇය දුටු භාණ්ඩාගාරික ඇමතියා “මෙවැනි හිරිඔතප් ඇති කුමරියක් මින් පෙර නොදුටුවෙමි”යි සිතා සතුටට පත්ව ඇගේ විවාහක අවිවාහක බව දැන ගැනීම සඳහා මිනිසුන් යැවීය. ඇය අවිවාහක බව කී විට ඇමතියා සොහොයුරන් විචාරා ඇය විවාහ කොට ගත්තේය.
-
රන්කාසි දහසකින් යයි රසවාහිනී - සද්ධර්මාලංකාරයන්හි පෙනේ. ↑
-
අනුරාධපුරයට යයි ඒ පොත් දෙකේ කියවේ. ↑
-
“චිත්ත වාපි” යයි රසවාහිනියෙහි පෙනේ. එය මිහින්තලේට එහායින් පිහිටි එකක් විය යුතු බව මීළඟට කියවෙන ප්‍රවෘත්තියෙන් ඔප්පු වේ. ↑
-
රසවාහිනියෙහි මෙසේ කියවේ; එන්නා වූ හෙතෙම සෑගිරියේ විහාර කෙළවරෙහි පිහිටි පිරිවෙණට පැමිණ භික්‍ෂූන් වැඳ විශ්‍රාම ගන්නේ එක් රහත් තෙරනමක් සිවුරක් මසන විට රෙදි කැබැල්ලක් අඩු වූ බැවින් එය අකුලා තබන්ට සැරසෙනු දැක තමා හැඳි වස්ත්‍රයේ කෙළවර ඉරා තෙරුන්ට දුණි. තෙරනම එය යොදා සිවුරේ වැඩ නිම කළේය. ↑