සීහළවත්‍ථුවේ 44 වෙනි කථාව තම්බසුමන තෙරුන් ගැනය. එහි ඒ තෙරුන්ට ඇඹුල් කැඳක් දුන් දුගී මිනිසකු ඊළඟ ආත්මයේදී සාතවාහන රජකුලයෙහි උපන් බව කියවේ. ඒ තෙරුන්ගේ මුල් කාලය පිළිබඳ ප්‍රවෘත්ති ස-හස්සවත්‍ථුවේ එන ඒ නමින් යුත් කථාවෙන් දත හැක. හේ මෙසේයි:
ලක්දිව සද්ධාතිස්ස මහරජු රාජ්‍යය කරවන කාලයේ දී එක් රාජපුරුෂයෙන් රාජකාර්යයක් සඳහා “කොට්ටසාල” නම් ගමට ගියේය. එගම්වැසි මිනිස්සු ඔහුගේ දාවල් ආහාරය සඳහා ගිතෙල් සහිත බතක් ගෙනාහ. ඒ අවස්ථාවෙහි පිඬු පිණිස යන එක් භික්‍ෂුනමක් එතැනට පැමිණියේය. රාජ පුරුෂයා තමාට ලැබුණ ඒ ආහාරය භික්‍ෂුනමට දුණි. රාජකාර්ය නිමවා හැරී ගිය පුරුෂයා පසු කලක මිය ගොස් වල්ලවහ නැමති ගමේ[1] පවුලක උපණි. සුමන යන නම් ඇතිව වැඩුණු හෙතෙමේ විවාහයක් කරගෙන වසන්නේ ගිහිගෙයි කලකිරී බ්‍රාහ්මණරාම විහාරයට ගොස් පැවිදි වී “තම්බසුමනතෙර” යයි ප්‍රකට විය. ඒ තෙරුන්ට දොළොස් වස් ඇති කල්හි බැමිණිතියාසාය හට ගත්තේය. තෙරනම තමන් ආශ්‍රය කොට වසන භික්‍ෂූන් අමතා “දඹදිවට යමු”යි කීය. ඒ විහාරයෙහි මහතිඹිරි ගසේ උපන් දේවතාවා තෙරුන් දඹදිව යන්ට සැරසෙන බව දැක “මාගේ ආර්යයන් වහන්සේගේ ආරක්ෂාවත් ආහාරයත් මට බාරය”යි කියා තෙරවරුන්ගේ ගමන වලක්වා දිව්‍යමය ආහාරත් වස්ත්‍රත් තෙරුන්ට දෙන්ට පටන් ගත්තේය. තම්බසුමනතෙරුන්ට දුන් ආහාර හා වස්ත්‍ර පන්සියයක් භික්‍ෂූන්ට සෑහෙන තරම් විය. අවුරුදු දොළසක් ඉක්මී දුර්භික්‍ෂභයාදිය අවසන් වූ විට තෙරනම භික්‍ෂූන් සමඟ ආරාමයෙන් පිට වී චාරිකාවෙහි හැසිරෙමින් අනුක්‍රමණයෙන් කඩරොද නම් ගමට පැමිණියේය. එහි පිඬු පිණිස හැසිර ආහාර ලබාගෙන වැළඳීම සඳහා වාඩි වූ ඇතැම් භික්‍ෂූහු අහස වළාකුළින් ගැවසී හිරු නොපෙනුණු බැවින් වෙලාව ගැන සැක සිතා නොවළඳා හුන්හ.
තෙරනම ගල් කැබැල්ලක් ගෙන අහසට දැමීය. එය හිරු මෙන් ආලෝකය පතුරුවමින් අහසෙහි සිටියේය. එවිට භික්‍ෂූහු දන් වැළඳූහ. එතැන් පටන් ඒ ස්ථානය “මණිසූරිය” (=මින්නේරිය) නමැත්තෙක් විය. තෙරනම එතැනින් නික්ම මහවැලි ගඟ සමීපයේ චුල්ලතවාම[2] නම් ගමේ පිඬු පිණිස හැසිර ගං ඉවුරෙහි වැඩහුන් භික්‍ෂූන් රූක්‍ෂ බතක් වළඳන බව දැක ඇවැත්නි, සුවඳ ගිතෙල් සමඟ බත් අනුභව කළ මැනවැ”යි කියා පෙර භවයේදී තමා භික්‍ෂු නමකට දුන් ගිතෙල් සිහිකොට ගඟ දෙස බැලීය. එවිට වලගම්විහාර තොට පටන් භත්තභුත්තක තොට[3] දක්වා යොදුනක් තැන්හි ජලය සුවඳ ගිතෙල් බවට පත්විය. භික්‍ෂූහු එයින් ගිතෙල් ගෙන බත් හා අනුභව කළහ. ඒ ප්‍රවෘත්තිය ඇසූ අවට ගම්වල මිනිස්සු කල-මුට්ටි ආදී භාජන ගෙනවුත් ගිතෙල් පුරවා ගෙන ගියහයි කියත්.