මෙලක්දිව මහවැලි ගඟ අසළ පිහිටි සේරුවිලට නුදුරු තැන මහාකාරකන්‍ද[1] නම් ගමක් විය. එහි ධනවත් පවුලක මිනිස්සු උදුම්බරවිහාරයෙහි (=දිඹුලාගල ?) සමසකට වරක් පවත්වන අරියවංසධර්මදේශනාව ඇසීමට යනු කැමැතිව සහල් - මස් - මාලු - රසකැවිලි ආදී උපකරණ රැගෙන තරුණ භාර්යාව පමණක් ගෙයි නවත්වා ඈට යතුර දී බාර කොට ගියහ. ඔවුන් ගිය කල්හි ඒ ගම්දැරි “අහෝ, මෙවැනි ධර්මදේශනාවක් අසන්නට නොලැබීම මාගේ අභාග්‍යයකැ”යි සිතා අසළ ගෙයක වසන මිතුරු දැරියක් කැඳවා ගෙයි යතුර ඇයට බාර දී තොමෝ මූද අසළට ගොස් සක්කගංමෝයෙන්[2] එතෙර වී තෝමනරතොටට[3] පැමිණියාය. එහි ඔරු පාරු ආදියක් නොවූ බැවින් ඕ තොමෝ ඉතා පළල් වූ ඒ ගං මෝය පීනා එතර වන්නෙමියි සිතා තමාගේ ශ්‍රද්ධාව සිහිපත් කොට ගෙන පීනන්ට පටන් ගති. එවේලෙහි මහත් කුණාටුවකින් මූද කැළඹී ගියේය. රැළ මැද පාවෙන ඇය දුටු මෝරෙකු අවුත් ඇය අල්වා ගත් නමුත් ඇගේ සම වත් සිදුරු කරන්ට අසමර්ථ විය. දෙවෙනි තෙවෙනි වාරවලදීත් එසේම සිදුවිය. ඉක්බිති ඈ මූදෙන් ගොඩ වී උදුම්බරවිහාරයට පැමිණ චෛත්‍යයත් බෝධියත් වැඳ පිරිස් කෙළවරේ සිට බණ අසා සෝවාන් ඵලය ලැබීය. රැය පහන් වූ කල්හි ඇගේ සැමියා හා මාමණ්ඩිය දැක තමා කළ දේ විස්තර වශයෙන් කීය.
ඉක්බිති ඔවුන් හා ගමට ගිය ඒ ස්ත්‍රිය තම හිමියාගේ හිසේ පැළඳ තිබුණු මල්මාලාව ඉවත් කරන්නී අනිත්‍ය ස්වභාවය මෙනෙහි කොට තමාට පැවිදි වීමට අවසර දුන මැනවයි ස්වාමියාට කියා ඔහුගේ අවසරය ලැබුණ පසු ඒ ගම අසළ පිහිටි භික්‍ෂුණී ආශ්‍රමයට ගොස් තම මවගේ සොහොයුරිය වූ සුමනාතෙරණිය වෙත පැවිදි වූවාය. පසු කලක මහාදැළි මහනා (=මහාදාඨිකමහානාග) රජ කරවූ ගිරිභණ්ඩ මහා පූජාව දැකීමට උපාධ්‍යාය තෙරණියන් සමඟ යන්නී ඒ රකවනදොරට පැමිණ[4] කමටහන් වඩා රහත් විය.