3. ඉන්‍දගුත්ත මහ තෙරුන්ගේ කථාව

ධර්මාශෝකාධිරාජයන් රාජ්‍යයට පැමිණි පසු දඹදිව අසූහාර දහසක් නගරවල රජවරු ඒ මහ රජු වෙත පැමිණ උපස්ථාන කළහ. දේවපුත්‍ර‍ නගරයේ දේවපුත්‍ර‍ රජ ද තමාගේ පිරිවර සේනාවන් සමඟ අවුත් ඒ මහ රජු බැහැ දැක්කේය. දහම්සෝ මහ රජ ඒ රජු හා පිළිසඳර කතා කොට ඒ පෙදෙසෙහි සිල්වත් ගුණවත් බහුශ්‍රැත තෙරවරු වෙසෙත්දැයි විචාළේය. එවිට දේවපුත්‍ර‍ රජ “මහරජාණෙනි, සීහකුම්බක[1] නම් විහාරයෙහි දහස් ගණන් සිල්වත් ගුණවත් භික්‍ෂූහු වෙති. ඒ භික්ෂූන් අතරෙහි ත්‍රිපිටකය හා අටුවා දරන්නා වූ අතිව්‍යක්ත වූ එසේම ශීලාදිගුණයෙන් යුත් ඉන්‍දගුත්ත නම් මහතෙරනමක් වේ යයි කීය. ඒ තෙරුන් දකිනු කැමති වූ දම් සෝ නිරිඳු තෙමේ “ඔබම ගොස් ඒ තෙරුන් වඩම්වා ගෙන ආව මැනවැ”යි කීය.

එවිට දේවපුත්‍ර‍ රජ සියරටට ගොස් ඉන්‍දගුත්ත තෙරුන් වෙත පැමිණ දහම්සෝමභරජුගේ ආරාධනාව දැන්වීය. තෙරුන් ආරාධනාව පිළිගන්ට කැමති බව දැන්නූ විට දේවපුත්‍ර‍ රජ නැවත පාටලීපුත්‍ර‍යට ගොස් ඒ කාරණය අධිරාජයන්ට දැනුම් දුණි. අධිරාජතෙමේ සතුටට පත්ව තමාගේ ආඥාව පවත්නා ප්‍රදේශයන්හි වසන රජවරුන්ට තෙරුන් වඩින මග සකස් කරන්ට නියම කළේය. දේවපුත්‍ර‍ නගරයේ සිට පාටලීපුත්‍ර‍යට දුර යොදුන් පණස් පහක් විය. ඒ තාක් පෙදෙසෙහි වූ මාර්ගයේ සමනොවූ තැන් සමකොට සුදුවැලි අතුරා තැනින් තැන තොරන් නංවා මලින් සැරසූ කණු හා ධ්වජයෙන් සැරසූ කණු සිටුවා, දෙපැත්තෙහි සිත්තම් කළ බිත්ති නංවා, තැනින් තැන ලැගුම් ගෙවල් ද පිලී ගෙවල් ද කරවූහ. මග දෙපස රඹ තොරන් නංවා පුන්කලස් තබ්බවා නෙලුම් - මහනෙල් පැල සිටුවා තැනින් තැන රන් අබරණින් සැරසූ සුදු කොඩි ගත් ඇතුන් හා අසුන් නවතා එ අතරෙහි පඤ්චාංගිකතූර්‍ය්‍ය වාදනය කරන වාදකයන් හා නැට්ටුවන් හිඳුවා, දිව්‍යකන්‍යාවන් බඳු ස්ත්‍රීන්ට දුම්කබල් හා පන්දම් ගන්ට සලස්වා මෙකී නොකී නොයෙක් ආකාරයෙන් මාර්ගය සරසා චන්‍ද්‍ර‍ාගා නම ගඟ පළලින් යොදුනක් හා ගැඹුරෙන් තුන් ගව්වක් පමණ වූ බැවින් එහි පාලමක් සෑදවීම තමන්ට නොකළ හැකි බැවින් ඒ කාරණය ධර්‍මාශෝකාධිරාජයන්ට දැන්නූහ.

අධිරාජ තෙමේ එහි පාලමක් සැදීම පිණිස යක්‍ෂයන් සොළොස් දෙනෙකුන් යැවීය. ඒ යක්කු*[2] එහි ගොස් ගඟ පතුලේ ගල්පුවරු තබා ඒ මත්තෙහි කණු බැඳ බාල්ක ගසා පළමුවෙන් තාවකාලික පාලමක් සාදා හිමාලය පර්වත පාදයට ගොස් අනෝතත්තවිල සමීපයෙහි හටගත්, සතරඟලක් පමණ කොටසක් රන්කාසි අමුණු හයක් වටිනා, රත් සඳුන් හර ගෙනවුත් අතුරා දෙපස රුවන්තොරන් නංවා රතු පැහැති අත්වැලක් පිහිටුවා මුතුවැලි පිට දිවකුසුම් අතුරා අදිරාජයන්ට ඒ කාරණය දැනුම් දුන්හ. මහරජතුමා තෙරුන් වඩම්වා ගෙන ඒම ඔවුන්ටම භාර කෙළේය. ඔවුන් ගොස් ආරාධනා කළ විට ඉන්‍දගුත්ත මහතෙර සැට දහසක් භික්‍ෂූන් සමඟ ඒ සැරසූ මගට බැස දේවපුත්‍ර‍ රටවැසියන් විසින් සුවඳ-මල්-දුම් ආදියෙන් පුදන ලදුව චන්‍ද්‍ර‍බාගා ගඟ මත්තෙහි වූ ඒ පාලමට පැමිණ “මෙවැනි පූජාසත්කාර ලබන අන්තෙරනමක් දඹදිව නැතැ”යි සිතා මානය උපදවා ගෙන නැවතී සිටියේය. එකල්හි එක් රහත් නමක් මේ තෙරුන්ගේ මානනිශ්‍රිත අදහස දැක “මෙවැනි පූජා සත්කාර ලැබීමට සුදුසු සේ ඔබගේ සිත පිරිසිදු කොට ගෙන සත්කාර කරන්නන්ට මහත් ඵල ලැබෙන සේ ක්‍රියා කළ මැනවැ”යි කීය. එවිට ඉන්‍දගුත්තතෙරනම පාලම අඩ සිටි සැට දහසක් භික්‍ෂූන් දෙස බලා සංඝානුස්මෘතිය උපදවා ගෙන රහත් ඵලයට පැමිණියේය. ධර්මාශෝක මහරජ තෙරුන්ට පෙර ගමන් කොට මහාපූජාසත්කාරයෙන් තෙරුන් පිළිගෙන තෙරුන්ගෙන් බණ අසා පැහැදී මහාවිහාරයක් කරවා තෙරුන් සහිත සැට දහසක් භික්‍ෂූන් එහි නවත්වා මහදන් දුන්නේය. තෙර නම අටුවා සහිත ත්‍රිපිටකය බොහෝ භික්‍ෂූන්ට උගන්වමින් කලක් එහි වැඩ සිට එහිදීම පිරිනිවියේය. රජතුමා එතුමාගේ ආදාහනය කරවා ධාතු ගෙන චෛත්‍යයක් බැන්ඳවීය.

  1. පාළි පොතේ “සීහභුම්මික” යයි පෙනේ. සීහකුම්බක යයි පෙනෙන්නේ රසවාහිනියෙහිය. සද්ධර්මාලංකාරයෙහි “සීහගුම්බ” යයි පෙනේ.

  2. යක්‍ෂවර්ගයා මෙවැනි කර්මාන්තයන් හි දක්‍ෂව සිටි බව මෙයින් පෙනේ.