2. ඵුස්සදේව මහතෙරුන්ගේ කථාව

ඵුස්සදේවතෙරුන්ගේ කථාව සිහළවත්‍ථුවේ සවෙනි කථාවයි. එහි නැති විස්තරයක් ස - හස්සත්‍ථුවේ තිබෙන බැවින් නැවත එය මෙහි දක්වනු ලැබේ.

කාළකන්‍දරවිහාරවාසී[1] ඵුස්සදේව තෙර නම් සද්ධාතිස්ස මහරජුගේ සොහොයුරියකගේ පුතෙකි.[2] හෙතෙම මුලදී ඵුස්සදේව නමැති ඇමතියෙක්ව සිටියදී තමාගේ දේවිය වූ සුමනාදේවිය සමඟ ගිරිගමට පැමිණ එහි වසන්නේ ඇත්කුස (=හත්‍ථිකුච්ඡි) විහාරය රම්‍යයයි ද ප්‍ර‍තිපත්තිධර භික්‍ෂූහු වෙසෙත් යයිද අසන්නට ලැබී එහි ගොස් මහා දන් දී හත්‍ථිකුච්ඡිවිහාරයේ චෛත්‍යයට පූජා පවත්වා භික්‍ෂුසංඝයා කෙරෙහි සිත පහදවා ගෙන ආසන හා ලෙන් පිහිටි ආකාරය බලා සස්නෙහි පැහැද ගිහියෙන් නික්ම පැවිදිවෙනු කැමතිව ඒ විහාරයෙහි විසූ මහාදේව තෙරුන් සමීපයෙහි පැවිදි විය. ඔහු උපසම්පන්න කළ තෙරනම ඔහුට රහත් බව ලැබීමට හේතු සම්පත් ඇති බව දැක කමටහනක් දී “යම් ලෙණක ආවාසියකු ඇත්නම් එහි වාසය කරව” යි කියා පිටත් කෙළේය. හෙතෙම උපාධ්‍යායන් වැඳ එයින් නික්ම පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ කටකන්‍දරවිහාරය[3] පිහිටුවිය යුතු ස්ථානයට පැමිණ එක් රැයක් කටකන්‍දර ගංතෙර පිහිටි මයිලගසක් මුල[4] වැලි ගොඩක විසීය.

ඒ ගසෙහි උපන් දේවතාවා පසුදා තෙරුන්ට මුවදෝනා පැන් හා දහැටි දඬු දී “කටකන්‍දරගමෙහි පිඬු පිණිස හැසිරෙනු මැනවැ”යි කීය. තෙරනම සිරුර පිළිදැගුම් කොට එගමෙහි පිඬු පිණිස හැසුරුනි. දේවපුත්‍ර‍යා කලින්ම එගමට ගොස් “ඵුස්සදේව තෙරනම පිඬු පිණිස වඩින්නේය; කැඳ බත් ආදිය පිළියෙල කරව්” යයි උද්ඝෝෂණය කෙළේය. ගම් වැසියෝ තෙරුන්ට කැඳබත් ආදිය දී, අවස්හි තෙරුන්ගේ ප්‍ර‍තිඥාව ගෙන කටකන්‍දරගඟ සමීපයෙහි විහාරයක් ගොඩ නංවා තෙරුන් එහි වාසය කර වූහ. එතැන් පටන් ගමට පිඬු පිණිස වඩින තෙරුන් දැක අතරමග කුඹුරු සීසාන මිනිස්සු ගොනුන් අතහැර තෙරුන් වැඳීමට මග දෙපසට ආහ. ඒ විවේකය නිසා තෙරුන් කෙරෙහි සිත් පහදවා ගත් බොහෝ ගොන්නු මරණින් මත්තෙහි දෙව්ලොව උපන්හ. (මෙහි ඉතිරි කොටස සීහළවත්‍ථු අනුවාදයේ දැක්වූ කථාවට සමානයි.)

  1. * සද්ධාතිස්ස රජුගේ සොහොයුරියන් ගැන මහාවංශයෙහි සඳහන් නොවෙතත් එකළ රජවුරුන්ට බොහෝ භාර්‍ය්‍යාවන් සිටි බැවින් බොහෝ දූ දරුවෝ ද වූහ. අගමෙහෙසියගේ දරුවන්ගේ නම් පමණක් ඉතිහාසගත වූහ. දීඝාභය කුමරා කාවන්තිස්ස රජුගේ පුත්‍ර‍යකු බව ඉතිහාසයෙහිම කියවේ.

  2. පාලිපොතේ “කටකනාරවාසී” යයි පෙනේ.

  3. කාළකන්‍දර යයි මුලදී කියවුණි.

  4. “මතතකරුකඛමූලෙ” යයි පාළිපොතේ පෙනේ.