1. සද්ධාතිස්ස ඇමතියාගේ කථාව

ලක්දිව සද්ධාතිස්ස මහරජු රාජ්‍යය කරන කල්හි “සුලුන්නරු” ගම*[1] වැසි තිස්ස නමැති ඇමතියෙක් අනුරාධපුරයට අවුත් රාජසේවය කොට තමාගේ නිවසට හැරී යන්නේ තාලචතුක්ක*[2] (=තල්ගස් හතර) නමැති තැනකදී සුදර්ශනප්‍ර‍දහනඝරයෙහි*[3] නිවැසි පිණ්ඩපාතික තිස්ස තෙරුන් දැක උන්වහන්සේගේ පාත්‍ර‍ය රැගෙන සිය නිවසට ගොස් ආහාර නොලැබ තමා අත තිබුණු කහවණු අටක් දී බත් මුලක් රැගෙන යන මිනිසෙකුගෙන් එය රැගෙන පිණ්ඩපාතය දුණි. තෙරනම කරුණු සලකා විදසුන් වඩා රහත් වී ඒ බත වැලඳුවේය. එය දුටු රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවා සාධුකාර දුණි. රජතෙම ඒ ඇමතියා ද ඔහුගේ මවුපියන් ද කැඳවා ඔවුන්ට වඩමන් නුවර බත්ගම් වශයෙන් දුන්නේය.

ඉන්පසු කලක “පිටුවල” නම් තැන කඳවුරක් සාදවන කල්හි ජලය දුර්ලභ විය. එකල්හි දෙවිවරු ඔහුට ඉබේ හටගත් විලක් පෙන්නූහ. ඒ විලෙන් පැන් කළයක් ගෙනාවිට ඇමතිතෙමේ කාලඝෝෂා කරවා එතැනට පැමිණි තිස් දහසක් භික්‍ෂූන්ට පැන්දීම කෙළේය. රජුගේ ඡත්‍රයෙහි අධිගෘහීත දේවතාවා නැවත සාධුකාර දුණි. එවිට රජතුමා ඔහු කැඳවා කොටදොර[4] “අන්තරගංගා” නම් තැන ඔහුට නින්දගම්කොට දුණි. එක් දිනක් ඇතුළුගං (=අන්තරගඟ) බලා යන ඇමතියා මොනර මස් කනු කැමති විය. පිරිවරෙහි වූ මිනිසුන් බොහෝ දෙනාගෙන් විමසූ නමුත් මොනරමස් ලබා ගත නොහැකි විය. දේවතාවෝ එය දැක බොහෝ මොනර මස් පිළියෙළ කොට ඔහුට දුන්හ. හෙතෙමේ සංඝයාට ද දී ඒ මස් අනුභව කෙළේය. එය දැක රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාව සාධුකාර දුණි.

පසු කලක රජතුමාට සෑගිරියට ගොස් මේ ඇමතියා සමඟ එක්ව එහි අම්බස්තලසෑය සිරියල් විලේපනයකින් ආලේප කෙළේය. ඒ ඇමතියා දොළොස්දහසක් භික්‍ෂූන්ට සිරියල් පැහැති සිවුරු පූජා කෙළේය. ඒ භික්‍ෂූන් සිවුරු පොරවා ගෙන මහාසෑය වැඳ බස්නාකල්හි රජ ද ඇමතියා ද බලා සිට ප්‍රීතිමත්ව සෝවාන්ඵලයට පැමිණියහ.

  1. මෙය ස - හස්සත්‍ථුවෙහි “චූලවඩ්ඩ” යයිද රසවාහිනියෙහි ‘චුලරජ්ජ’ යයි ද තවත් තැනක “කුඩ්ඩරජ්ජ” යයිද පෙනේ.

  2. - හස්සත්‍ථුවෙහි” “සාලචතුක්ක” යයි පෙනේ.

  3. ස - හස්සත්‍ථුවෙහි සුදස්සනඨානගාලවාසී” යයි දැක්වේ.

  4. පාළිපොතේ “අතිකොඨද්වාර”යයි පෙනේ.