8. සද්ධාතිස්ස මහරජුගේ කථාව

star_outline

මෙසේ අසන්ට ලැබේ. යහපත් උතුම් දිවයිනක් වූ, බොහෝ සත්පුරුෂයන්ට වාසස්ථාන වූ ඉතා සුභික්ෂ වූ සිංහලද්වීපයෙහි සද්ධාතිස්ස නම් රජෙක් රාජ්‍යය කරවීය. සිංහාසයනගතව විවේකයට පැමිණ නීවරණයෙන් දුරුවූ සිතැති ඒ රජුට මෙවැනි සිතිවිල්ලක් පහළ විය. බුදුරදුන් විසින් සංයුත්ත නිකායේ දේවතා ප්‍ර‍ශ්නයකදී පිරිසිදු දානය වර්ණනාකරමින් (1) ඇතැම් කෙනෙක් විෂම චරිතයෙහි පිහිටා අනුන් කපා කොටා වධ දී සෝක උපදවා දන් දෙති; දඬුවම් සහිත වූ හැඬූ කඳුලෙන් යුත් ඒ දානය සම පැවැත්මෙහි පිහිටා දුන් දානය හා සමබවට නොපැමිණේ” යයි දෙසන ලදි. මා උතුම් වූ පිරිසිදු වූ මහත් අනුහස් ඇති දානයක් දෙන්නෙම් නම්, විෂමදානය දුරු කොට සමාදානයක් දෙන්නෙම් නම්, බුදුන් විසින් පසස්නා ලද සිය කය වෙහෙසීමෙන් දානයක් දෙන්නෙම් නම් යෙහෙකැයි සිතා සියමෙහෙසිය අමතා (2) සොඳුර, දැන් ශස්‍යකාලයයි; ශස්‍ය පැහී ඇති බැවින් බොහෝ දෙන තුමූම ගොයම් කැපීම කරත් (3) මමත් කසාවත් හැඳගෙන දෑකැත්ත ගෙන ඇල්කෙත්වලට ගොස් ඇල්ගොයම් කපන්නෙමි. (4) ඒ වී ගෙනවුත් බත් සාදා ව්‍යඤ්ජන සහිත කොට සංඝයාගෙන් ලබාගත් භික්ෂු නමකට දන් දෙන්නෙමි. (5) ඉදින් සංඝයාට දෙන්නෙම් නම් ඒ දානය බුදුරදුන් විසින් වර්ණනා කරන ලදි. මම ඒ දානය දීම සඳහා බැලමෙහෙ කරන්නෙමි යි කීය. (6) මෙසේ එම කාරණය දේවියට කියා රැයින්ම නැගිට ගොස් පිටත ගොස් මහ මග සිටගෙන යන එන මිනිසුන්ගෙන් විචාළේය. (7) මහ මග සිටි ඔහු දැක එක් ගෘහපතියෙක් සතුටු සිතින් ඔහු වෙත ගොස් මෙසේ විචාළේය: (8) ඔබගේ අත් පා සිවු මැලි වෙත්, ශරීරයද සුවසේ වැඩුණකිථ මිත්‍ර‍ය ඔබ තනිව කුමකට මෙහි සිටිනෙහිද? (9) “මිත්‍ර‍ය, මම කම්කරුවෙක්මි: දවස් කුලියට වැඩ කරමි. එසේ කොට යමක් ලබන්නෙම් නම් එය ගෙන යමි”යි රජ කීය. (10) මා විසින් මෙවැනි කම්කරුවෙක් මින් පෙර නොදක්නා ලදි. මේ ශරීරය රජකම් කිරීමට සුදුසු ය. මෙය බැලමෙහෙ කිරීමට යෝග්‍ය නොවේ යයි කී ගෘහපතියා “කවරෙක් හෝ වේවා; කුඹුරක ගොයම් කපන්ට හැකිදැ”යි විචාළේය. එසේය, හැකියයි කී විට “එහෙනම් යමු”යි කියා ඔහු සමග ගොස් කුඹුර පෙන්වා මෙහි ගොයම් කපවයි කීය. එය පිළිගත් ශක්තිමත් රජ ශ්‍ර‍ද්ධාවෙන් යුක්තව දවස මුළුල්ලේ වැඩ කෙළේය. එයින් සතුටට පත් කුඹුරු හිමියා ඔබට යම් පමණ ගොයම් ගෙන යා හැකිනම් එපමණ ගත මැනවැයි කීය. රජතෙම මහත් ගොයම් මිටියක් බැඳ තබා රාත්‍රී කාලයෙහි රජගෙට ගෙන ගොස් එහි තැබීය. රාජදේවිය ඔහු උණු වතුරෙන් නාවා අත් පා මැඬීම කළාය. ඉක්බිති රජ හා දේවිය එක්වී ගොයම් මැඩ පිදුරු ඉවත දමා රජ තෙම දේවියට මෙසේ කීය. (11) “මේ ධාන්‍යවලින් කළ යුතු දෙය කරනු මැනවි. රජගෙය තුළට කිසිවකුට පැමිණෙන්ට ඉඩ නොදෙව”. (12) ඕ තොමෝ යහපතැයි කියා රජුගේ කීම පිළිපදිමින් දහයියා හා කුඩු ආදිය ඉවත් කොට අතැම් සහල් විකුණා ඒ මුදලෙන් සකුරු ගිතෙල් කැවුම් ආදිය ගෙන එක් නමකට සෑහෙන දානයක් පිළියෙල කොට රජුට දැන්වීය. (15) රජතුමා දාසියක් අමතා “තී වහා සංඝයා සමීපයට ගොස් සංඝයාගෙන් භික්ෂුනමක් ලබාගෙන එවයි”යි කීය.

(16) පුවඟු දිවයින වැසි තිස්ස තෙර මේ කීම දිව කණින් අසා එක්තරා භික්ෂු නමක් අමතා “ඇවැත්නි, තොපගේ උපස්ථායක වූ සද්ධාතිස්ස මහරජ බැලමෙහෙ කොට එක් භික්ෂු නමකට දානය පිළියෙල කරයි. හෙතෙම එය සංඝයාට දෙනු කැමතිව දැන් දාසිය විහාරයට පිටත් කෙළේය. ඒ දානය පිළියෙළ කළ රජු විසින් දුෂ්කර දෙයක් කරන ලදි. එය පෘථග්ජනයෙක් අනුභව නොකෙරේවා. ඔබ තාම්‍ර‍පර්ණියට ගොස් එහි අසුන්හලෙහි වැඩිමහලු පිළිවෙළින් සිටිනු මැනවි. ඔබට ඒ සීට්ටුව ලැබෙන්නේය”යි කීය. ඒ භික්ෂුනම “යහපති ස්වාමීනි”යි කියා අහසට නැග තාම්‍ර‍පර්ණියෙහි බැස පාත්‍ර‍ සිවුරු රැගෙන අසුන්හලට ගොස් වැඩිමහලු පිලිවෙළින් සිටියේය. රජුගේ දාසිය ආරාමයට ගොස් ආරාධනා පිළිගන්නා තෙරුන් වෙත පැමිණ කාරණය දැනුම් දී භික්ෂුනමක් ලබාගෙන ආවේය. රජතුමාත් දේවියත් ඉදිරියට අවුත් වැඳ රජ තෙම පාත්‍ර‍ය ගෙන ඒ ආහාරයෙන් පාත්‍ර‍ය පුරවා පාත්‍ර‍යට යටින් වස්ත්‍ර‍යක් තබා අතිශය ගෞරව දක්වා භික්ෂුනමට ඒ පාත්‍ර‍ය දුනි. භික්ෂුනම පිණ්ඩපාතය රැගෙන මෙසේ කීය. (17) “මේ දානය සම්පූර්ණයි, ආසනයක් නොලබන්නා වූ මම කැමති තැනකට යන්නෙමි. (18) මහරජ, අධික පැහැදීම නොකළ මැනවි, මධ්‍යස්ථ වෙව. අධික ප්‍රීතියෙන් යුත් සිත දරාගන්ට අපහසු වෙයි.”

(19) මෙසේ කියා ඒ භික්ෂුනම අහසෙහි පක්ෂියෙකු මෙන් ගමන් කොට ඒ දානය සංඝයාට පිළිගැන්වීය. (20) ඒ ආහාරය දහතුන්දහසක් භික්ෂූන්ට ප්‍ර‍මාණවත් විය. දී ඉතිරි වූ දෙය ඒ භික්ෂුනම වැලඳී. (21) රජ තෙම දක්ෂිණාර්හයන් ගේ ගුණය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැක මහත් පැහැදීමක් ඇති කොට මානසික සැපයට පත්විය.

ඉක්බිති ඒ රජුගේ මරණාසන්න කාලය පැමිණි විට ධර්මකථිකයෝ “මහරජ, තමා කළ කුසල් සිහිපත් කිරීම මැනවැ”යි කීහ. රජතෙම මෙසේ කීය: (22) මා විසින් මිණිමුතු යෙදූ බොහෝ බුද්ධ රූපාදිය රනින් කරවන ලදි. ධර්මය කෙරෙහිත් සංඝයා කෙරෙහිත් මා කළ පින් විවිධාකාරය. (23) තුදුස්වකදා දා පසළොස්වක් - අටවක් දිනයන්හිදීද මා විසින් මනා සේ අටසිල් රකින ලදි, නමුත් මේ සියල්ල පරදවා එක් භික්ෂුනමකට දුන් දානය මට පෙනෙයි. (24) මෙසේ නරශ්‍රේෂ්ඨ වූ රජතෙමේ දෙව්මිනිසුන් විසින් උසස් තැන තැබූ ආර්ය සංඝයා අතරෙහි වූ ආර්ය පුද්ගලයකුට දන් දී තුසිත භවයට ගියේය. (25) ඒ රජ අප්‍රමේය වූ අනන්ත වූ සැපයක් ලැබුවේය. මේ මහාජනයාද ඒ රජු මෙන් ජරාමරණ නැති ක්ෂයවීම් නැති ශෝක නැති උතුම් සපැය ලබාවා.

කණ්ටකසෝල පටුනෙහි උපන් පට්ටකොට්ටිවිහාරවාසී ආචාර්ය ධම්මනන්දි තෙරුන් කළ සීහළවත්ථු දසකය නිමි.

ප්‍ර‍ථම පරිච්ඡේදය නිමියේයි.

(මෙහි කථා දශයකැයි කියවෙන නමුත් තිබෙන්නේ කථා අටකි. මහාචේතිය කථා - දීඝචේතිය කථා යන දෙක එක් පිටපතකවත් දකින්ට නොලැබේ. අග තිබෙන නිගමන ගාථාවලින් ඒ නම් දෙක පමණක් දත හැකිය)

දෙවෙනි පරිච්ඡේදය