7. සාලිකුමරුගේ කථාව

මෙසේ අසන්ට ලැබේ. ආර්යයන්ට වාසස්ථාන වූ අනුරාධපුරයෙහි ලෝකුරුවැඩෙහි දක්ෂ වූ කාර්මිකයෙක් විය. ගොවිතැන් වැඩ කරන අන් මිනිසෙක් ගොවි උපකරණ සාදවා ගැනීම සඳහා ඇල්සහල් ද ඌරු මස් ද වේවැල් කරටි ද ඒ කාර්මිකයාට පඬුරු පිණිස රැගෙන ආවේය. හෙතෙම එය බාරගෙන (1) ඇල්හාල් හා ඌරුමස් මට තෑගි පිණිස ගෙනෙන ලදි; මම එය දහස් ගණන් පඬුරු ලැබිය හැක්කක් කරන්නෙමි යි සිතී. (2) මේ අතර පුවඟු දිවයින් වැසි තෙර සතර නමක් පිඬු පිණිස අනුරාධපුරයට ආහ. (3) දක්ෂිණාර්හයන් සොයන්නා වූ ඒ කාර්මිකයා ඒ භික්ෂූන් දැක්කේය. (4) නුවණැති ඒ මිනිසා ඒ භික්ෂූන්ට ආරාධනා කොට තමාගේ ගෙට පමුණුවා මනාසේ පැනවූ ආසනවල හින්දෙව්වේය. (5) ඉන්පසු පැහැදුණු සතුටු සිත් ඇති හෙතෙමේ මස් සහිත ඇල් හාලේ බත් සකසා සියතින් දී මෙවැනි ප්‍රාර්ථනාවක් කෙළේය. (6) “දිව්‍යමය හෝ මනුෂ්‍යමය වූ යම් යම් භවයක උපදින්නෙම් නම් දහස් ගණන් පඬුරු මා වෙත එළඹ සිටිත්වා”යි. (7) හෙතෙම තාදීගුණ ඇති රහතන් කෙරෙහි ඒ දානය දී ඒ සොම්නසින් යුතුව කලුරිය කොට දුටුගැමුණු මහරජුගේ බිසවගේ කුසෙහි පිළිසිඳ ගෙන ඒ රජුගේ පුත්‍ර‍භාවයට පැමිණියේය. (9) ඔහු මවු කුසේ පිළිසිඳ ගත්දා සිට දහස්ගණන් පඬුරු ගලා එන්ට වූහ. මවුදේවිය ඒවා පිළිගත්තාය. (10) මවුකුසින් බිහි වූ දින සිට කුමාරයාම ඒවා පිළි ගත්තේය.

මෙසේ දොළොස් වර්ෂයක් ඉක්මෙන තුරු පඬුරු ගලා ආ බැවින් ද ඒ කාලය තුළදී ලෝකයෙහි ඇල්හාල් රැස්වීම සිදුවූ බැවින් ද එකුමරුට සාලි කුමරු යයි නම තැබූහ. කලකට පසු උත්තම රූපධර වූ අසෝකමාලිනී නමැති සැඩොල් කුමරියක් ඔහුගේ භාර්යාව වූවාය. ඇගේ පූර්ව ජන්ම කථාව මෙසේයි :-

අතීතයෙහි කාශ්‍යප සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ පිරිනිවි කල්හි බරණැස් නුවර එක්තරා දුගී මැහැල්ලක් සංඝයාට ද භික්ෂූන් දෙනමකට ද නිතිපතා දන් දෙයි. එක් දිනක් භික්ෂු නමක් කල් ඇතිවම ඇගේ ගෙට ආහ. උපාසිකාව ඔවුන් දැක “ස්වාමීනි, තවම දන්වේලාව නොපැමිණියේය. දානය පිළියෙල කරන තුරු මේ ශාලාවෙහි වැඩහුන මැනවැ”යි කීය. භික්ෂූහු අසුන්හලට ගොස් බණ කියමින් උන්හ. මැහැල්ලිය වහා දන් පිළියෙල කොට “දුවණියෙනි, අසුන්හලට ගොස් ඒ භික්ෂූන් කැඳවාගෙන එව. ඔවුහු බොහෝ වේලාවක් එහි සිටියාහ”යි එක් දුවකට කීය. ඈ එහි යන විට භික්ෂූන් දහම් දෙසූ බැවින් ඕ ධර්ම කථාව අවසන් කරන තෙක් සිට දේශනාවසානයෙහි තෙවරක් සාධුකාර දී “ස්වාමීනි, දන් වැළඳීමට කාලය පැමිණියේය”යි භික්ෂූන්ට දන්වා ඔවුන් වැඩමවා ගෙන ගෙට ආය. සිදු වූ පුවත් නොදත් මව “හිතුවක්කාර කෙල්ල, කොහේ ඇවිද දවල් වූ පසු භික්ෂූන් රැගෙන ආවෙහි දැ”යි ඇසී. දුවණියෝ (11) “සැඩොලිය, කුමකට කිපෙහිද? මම බණ අසමින් උන්නෙමි. බණ ඇසූ මට සැඩොලිය කෝපවේ”යයි කීහ.

(12) කෝපයෙන් මැඩුණු ඕතොමෝ මවට පරුෂ වචන කීය. ඒ කීමේ වරදින් ඈ බොහෝ පව් රැස්කර ගති. පසුව ඒ දෙදෙනම මෙලොවින් මියගොස් දෙව්ලොව උපන්හ. දුව බොහෝ කලක් එහි වැස එයින් ච්‍යුතව මිනිස් ලොව සැඩොල් කුලයක උපණි; ඇය මනා රූ ඇත්තීය. දැකුම්කලුය. අනුන් පහදවන ස්වභාව ඇත්තීය, ධනයෙන් ආඪ්‍යය, බොහෝ උපකරණ ඇත්තීය. බණ අසා සාධුකාර දීම නිසා ඇගේ මුඛයෙන් රැස් විහිදෙති. මෙසේ පරම්පරාවෙන් අවුත් අනුරාධපුරය අසළ එක්තරා ගමක සැඩොල් කුලයෙහි ඉපදුණි. එකල්හිත් මනා රූ ඇති, දර්ශනීය වූ, පැහැදීම් එළවන, රන්වන් පැහැති දෙවඟනක් සමාන විය. බණ අසා සාධුකාර දුන් බැවින් ඇගේ කටින් අසෝකමල් කෙසුරු වැනි රැස් විහිදෙති. එබැවින් ඈට “අසෝකමාලිනී” යයි නම තැබූහ. දොළොස් හැවිරිදි වියෙහි සිටි ඕ එක් දිනක් යම්කිසි කටයුත්තක් නිසා අනුරාධපුරයට ගියාය. සාලි රාජ කුමාරයත් එථයක නැගී පිරිවර සහිතව නුවරින් පිට යන්නේ නුවර දොරටුව අසලට පැමිණියේය. අසෝකමාලිනිය කුමරු දැක බියපත් වී මගින් ඉවත්ව ප්‍රාකාර බිත්තියට හේත්තු විය. කුමරා ඇය දැක සිතියම් කළ රූපයකැයි සිතා මිනිසුන්ගෙන් විචාරමින් මෙසේ කීය: (13) ප්‍රාකාර බිත්තියෙහි ඇඳි මේ ස්ත්‍රී රූපය අතිශයින් හොබනේය. මින් පෙර අප විසින් නොදක්නා ලද මෙය කවරකු විසින් අඳින ලද්දක්ද?” මෙය සිතියම් කළ රූපයක් නොවේ; මෝ සැඩොල් දැරියකි. නොපෙනෙන සේ සිටිනු කැමති ඈ බිත්තියට හේත්තු වී සිටී” යයි මිනිස්සු කීහ. (15) දැරියක්ය යන වචනය අසා පිළිබඳ සිතැති කුමාරයා “ඇය අන්තඃපුරයට ගෙනයව්; ඕ මාගේ බිරිය වන්නීය”යයි කීය. (16) කුමරුගේ කීම අසා ඉක්මනින් එතනට ගිය මිනිස්සු බිත්තියට ඇලී සිටි ඇය ඉවතට ගත්හ. (17) ඇය අබරණවලින් සරසා සළුවක් අන්දවා මනාසේ සුවඳ ගල්වා කුමරු සමීපයට ගෙනාහ. (18) කුමරා ඇය රැගෙන සිය මාලිගයට ගොස් මෙහෙසි තනතුරෙහි තබා මහත් සත්කාර කෙළේය.

ඒ පුවත ඇසූ දුටුගැමුණු මහරජ සැඩොලියක් භාර්යා කොට ගෙන අන්තඃපුරයට ඇතුල් කෙළේයයි ඉතා කිපී සාලි කුමරු නුවරින් නෙපන්නෙමියි සිතා එහි ආවේය. අසෝකමාලිනිය රජු දැක රන් භාජනයකට පැන් ගෙන රජුගේ පා සේදීම පිණිස රජු වෙත ආය. ඇගේ රූපසම්පත්තිය දුටු රජතෙම රාගයෙන් මත්විය. සාලි කුමරාද අවුත් රජුට වැඳ සිටියේය. රජ තෙම කුමරු දැක (19) “ඉදින් තාගේ බිරිය නොවී නම් මම ඇය භාර්යා තනතුරෙහි තබා ගන්නෙමි. පිළිබඳ සිතැත්තහුට කුලයක් හෝ ගෝත්‍ර‍යක් විද්‍යමාන නොවේ” යයි කියා හැරී ගියේය.

මෙසේ අසෝකමාලිනිය සාලි රාජකුමාරයාගේ බිරිය විය. කුමරා දහස් ගණන් පඬුරු ලබමින් විසීය. (20) මෙසේ වසන කුමරුට මේ පුණ්‍ය විපාකය කාගේද? මාගේම පින් බලයක්දැ යි විමසීමට සිතක් පහළ විය. (21) මෙසේ සිතා වනයෙහිදීත් මේ විපාක ලැබෙත් දැයි විමසීම පිණිස කසාවත් හැඳගෙන තනිවම නුවරින් නික්ම බටහිර දිශාවට ගොස් පඳුරු අස්සේ සැඟවී හුන්නේය. (23) ඔහු මෙසේ හිඳින විට රනින් කළාවූද රිදී-තඹ-පිත්තලවලින් කළා වූ ද භාජන පුරවා ගත් කරත්ත පන්සියයක් රැගෙන ජනපදවැසියෝ එහි ආහ. ඒවා ගෙනාවේ කුමරුට දීම සඳහාය. කුමරා යම් තැනෙක හුන්නේ නම් ඒ ගැල් එතැන්හි නැවතුණාහ. කුමාරතෙමේ මේවා මා සඳහාම ගෙනෙන ලදැයි දැනගෙන ඒ පඬුරු පිළිගෙන ස්වකීය භවනයට ආවේය. පසුදා උතුරු දොරටුවෙන් නික්ම එසේම සැඟවී හුණි. (25) එදින රත්හැල් පිරවූ කරත්ත පන්සියයක් අවුත් කුමරු හුන් තැන නැවතුණි. ගැල් අයිතිකරුවෝ කුමරු ඒ සමීපයෙහි ඇති බව දැන ඒවා බාරදුන්හ. කුමරා ස්වකීය වාසස්ථානයට හැරී ගොස් පසුදා නැගෙනහිර දොරටුවෙන් නික්ම පෙර සේම සැඟවී උන්නේය. එදින ගැල් පන්සියයක පිරවූ සුවඳ ගිතෙල් ගෙනවුත් කුමරුට පිළිගැන්වූහ. ඊට පසුදා දකුණු දොරටුවෙන් නික්ම සැඟවී හුණි. එදින සකුරු මී පැණි හා පැණි භාජන පුරවාගත් ගැල් පන්සියයක් අවුත් කුමරු සමීපයෙහි නැවතුණි. ගැල් පැදවූවෝ කුමරු දැක ඒවා ඔහුට පිළිගැන්වූහ.

මින්පසු කුමරා නුවර අවට ප්‍රදේශයේ දී පමණක් මේ විපාක ලැබෙත්ද? නැතහොත් දිවයිනේ කොතැන සිටියත් ලැබෙත්දැයි විමසනු කැමතිව අසෝකමාලිනිය හා රථයක නැගී සෑගිරිය දෙසට ගියේය. සෑගිරියටත් ගමටත් අතරෙහි නැවතී රථයෙන් බැස කුමාරයා බිම හිඳගෙන අසෝකමාලිනිය අමතා (28) මට බඩගිනි ඇත; මෙහිදීම අනුභව කරන්නෙමි; මේ වනයෙහි සොයා වහා ආහාර ගෙනව”යි කීය. (29) “ස්වාමීනි, මිනිසුන් නැති මේ වනයෙහි ආහාර කොයින්ද? අප ළඟත් නැත. ආහාර දෙන අනිකෙක්ද නැතැ”යි බිරිඳ කීය. (30) කුමරතෙමේ බිරිඳගේ කීම අසා තමා අත තිබුණු සැරයටිය දී මේ සැරයටියෙන් අර ගසට පහර දී “මට ආහාර දෙව”යි කියවයි කීය. ඕ යහපත ස්වාමීනියි කියා සැරයටිය ගෙන “ආහාර දෙව”යි කියා ඒ ගසට ගැසීය. සැරයටිය රුක්දෙවියාගේ ඇඟේ වැදුණු බැවින් බියපත් වූ දේවතාවා “ස්වාමීනි, කුමක් හෙයින් මට පහර දෙහිද? කල් ඇතිවම මම “කුමාරයා ආවේය; තෙපි ආහාර සම්පාදනය කරව්”ය යි දෙවිවරුන්ට කියම කෙළෙමි”යි කීය.

ඉන් පසු බත්කත් සතරක් යකුන් අතේ එවීය. කුමරා ඔවුන් දැක ඔවුන් ලවාම ඒ කත්සතර ගෙන්වා ගෙන සෑගිරියට ගොස් භික්ෂුසංඝයාට වළඳවා පසුව තෙමේත් බිරිඳ සමග අනුභව කෙළේය. මේ පිළිවෙලින් සත්දිනක් සෑගිරියෙහි වසමින් දන් දී අනුරාධපුරයට හැරී ආවේය. රජතෙම කුමරු දැක (31) “තෝ මාගේ රටේ පිටිසරට ගොස් මහජනයා පෙළා ධනධාන්‍ය උදුරා ගෙන විනාශ කෙරෙහිය”යි කීය. “මහරජ, මම ඔවුන්ගේ දෙය උදුරා නොගනිමි. දෙවියෝ මා වෙත එළඹ සිටියාහ. මම සත්දිනක් සෑගිරියෙහිම විසීමි”යි කුමරා කීය.

(33) මෙසේ පිරිසිදු කුසල් ඇති, රැස්කළ පින්බල ඇති, හාත්පස ජනපදයන්හි මිනිසුන්ට ප්‍රිය වූ කුමාර තෙමේ හැම කල්හි කාමසම්පත් ලැබීය. (34) දශකුශලයන්හි ප්‍ර‍මාදී නොවූ, නානාවිධ දන්දීම්වල යෙදුණු පුද්ගල තෙමේ සුගතියට යන මග ශුද්ධ කොට ගෙන සිය ගෙදොරට යන්නා සේ දෙව්ලොවට යයි. (35) ප්‍ර‍තිරූපදේශාවාසාදි චතුර්විධ සම්පත්තියෙහි කළාවූ ප්‍රාර්ථනා ඇති පුද්ගලයාට මෙකුමරුට මෙන් දෙවියෝ ඇලුම් කරති.