67. බත්මුල දුන්නහුගේ කථාව

star_outline

හෙළදිව එක් මිනිසෙක් බත්මුලක් බැඳගෙන ගමනක් ගියේය. අතරමගදී සාගින්නෙන් පෙළී දුර්වල වූ භික්ෂුනමක් දැක “මට ආහාර නැතිව ගියත් මේ භික්ෂුනමට දන් දෙමි”යි සිතා ඔහු වෙත එළඹ වැඳ “ස්වාමීනි, ගසක් මුලට වැඩිය මැනවැ”යි කීය. ඒ ඉල්ලීම ලෙස ගසක් මුලට පැමිණි ඒ භික්ෂු නමගේ පාත්‍ර‍ය ගෙන ධමකරකයෙන් පැන් ගෙනවුත් සෝදා ආහාරය පාත්‍රයේ දමා දී සකසා වැන්දේය. තෙර නම වැලඳීය.

හෙතෙම හවස ගමට යනු කැමති වුවත් යාගත නොහැකිව අතරමග නිදා ගත්තේය. එහි ඔහු අඳුනන කිසිවෙක් නොවීය; නෑයෝ ද නොවූහ. එබැවින් බලවත් වේදනාවෙන් පෙළී මරණයට පත්ව මානවක ගමේ ඇමති පවුලක පිළිසිඳ ගත්තේය. එතැන් පටන් ඇමති කුලයට අභිවෘද්ධියක්ම සිදුවිය. එහි උපන් හෙතෙම මහත් සත්කාරයෙන් වැඩුණි. ඒ ගෙය කරා එක් තෙරනමක් පැමිණේ. ළදරුවා තෙරුන් කෙරෙහි දැඩි ප්‍රේමයක් ඇතුව ටික ටික බණ අසයි. පසුව පැවිදිවෙන්ට සිතක් උපදවා ගෙන මවුපියන්ගෙන් අවසර ලබා දොළොස් හැවිරිදි කල්හි පැවිදි විය. පැවිදි වී සත් දිනකින් රහත් විය. ඔහුගේ උපාධ්‍යාය තෙරනමත් රහත් නමකි. කල් ඇවෑමෙන් හෙතෙම මහතෙරනමක් විය.

මලයවාසී මහාසංඝරක්ඛිත තෙරුන්ගේ ශිෂ්‍ය වූ තුන්සියනමක් රහතන් වහන්සේ වූහ. ග්‍රාමවාසි සංඝරක්ඛිත තෙරුන්ට ද, අරියවිහාරවාසී ධම්මගුත්ත තෙරුන්ට ද සිතුල්පව්වැසි දීඝභාණක අභයතෙරුන්ට ද රහත් ශිෂ්‍යයෝ තුන්සියය බැගින් වූහ. ඒ ඒ විහාරවල රැස්වූ ෂඩභිඥා ඇති ඒ තෙරවරුන්ට “හෙට කොතැනකට සිවු පිණිස යන්නෙමුදැ”යි විතර්කයක් උපණි. සියලුදෙන දානතෙරුන්ගේ පින විමසන්නෙමුයි කථාකොට ගෙන පසුදා මහතෙර සතරනම පිරිවර භික්ෂූන් සමඟ මනා සේ හැඳ පොරවාගෙන අහසින් එතැනට ආහ. ඒ අවස්ථාවෙහි දානතෙර චෛත්‍යයට නැගෙනහිර දෙස චිත්තමාලක නමැති මලුවෙහි හුන්නේ තෙරවරුන් දැක දවල් වූ කල්හි පැමිණියාහයි කියමින් කැඳ සපයන පන්සල ඉදිරියෙහි වූ මාලගසමුල සිටියේය. සර්වාලංකාරයෙන් සැරසී සිටි දේවතාවා තෙරනම මේ ගසයටට පැමිණියේ මා විමසීමට වියයුතු යයි සිතී. තෙරනම ඔහුගේ සිතිවිල්ල දැන පිරිවර සහිත තෙර සතරනම කැටිව ගං ඉවුරට පැමිණියේය. ඒ විහාරය පිහිටියේ ගංඉවුරකය. නාරජ තෙරවරු වැඩියාහයි දැන සත්රුවන් මණ්ඩපයක් මවා නානාවිධ විසිතුරු මල්දම් එල්වා නොයෙක් කැවිලි සහිත දානයක් පිරිනැමීය. හවස්වරුවේ හැමදෙනාවහන්සේ එක්ව මෙය කුමන කුශලකර්මයකගේ ඵලය දැයි ඇසූහ. දානතෙර බත්මුල දීමේ විපාකය යි කීය.