55. කුමරියන් සිවුදෙනාගේ කථාව

එක් කලෙක සද්ධාතිස්ස මහරජ රාජාභරණ ඉවත් කොට අටසිල් රැගෙන තුන් මසක් මුළුල්ලේ විහාරයෙහි ම නැවතී සිටියේය. ආහාර ගන්නා වේලාව පැමිණි විට කසාවත් හැඳගෙන පිණ්ඩපාතයේ ගොස් රාජදේවියගෙන් ආහාර ලබාගනී. ඕ තොමෝ රජුට පැවිද්දකුට මෙන් සැලකීය. සවෙනි පක්ෂය පැමිණි විට දූ කුමරිය “පියාණෙනි, මට පැවිදිවීමට අවසර දුන මැනවැ”යි කීය. “මෙයින් සත්වෙනිදා පැවිදිවීමට අවසර දෙන්නෙමි”යි කී විට ඒ කුමරිය සමග තවත් කුමරියෝ සිවු දෙනෙක් ද පුරෝහිත බමුණාගේ දුවක් ද ඇමති දුවක් ද සිටු දුවක් ද කෙළෙඹියෙකුගේ දුවක් ද එක් වී පැවිදි වූහ. පැවිදි වූ ඒ කුමරියෝ නීවරණයන් දුරුකිරීමට උත්සාහ ගනිමින් එක් එක් කුමරිය නෙල්ලි ඇට පසක් බැගින් රැගෙන එකක් හිස මැද ද දෙකක් උරහිස මත්තෙහි ද දෙකක් දණදෙක මත්තෙහි ද තබාගෙන සත් රෑ දාවලක් භාවනාවෙහි යෙදුණාහ. රජතෙමේ “සසර බියෙන් බියපත්වූවන් ශීලය විසින් සනසනු ලැබේය”යි ඔවුනට කීය. එය සිතට ගත් ඒ කුමරියෝ නොදත් මුල අති, ඉක්මවීමට අපහසු වූ බොහෝ දුර ඇද දමන්නා වූ සංසාරය සත් දිනකින් ඉකුත් කරමින් පිපාසිතවූවන් පිපාසාව දුරු කර ගැන්ම සඳහා විලකට බසින්නා සේ ආර්ය මාර්ග නමැති මහවිලට බැස මධුරාමෘත සැපය නමැති ජලය ශ්‍ර‍ද්ධා නමැති දෝතින් ගෙන රාගශමනය පිණිස පානය කළහ.

එසේ අමෘතය පානය කළ ඒ කුමරියෝ “අපි කොතැනදී වස් පවාරණය කරමුදැ”යි සාකච්ඡා කළහ. එක් මෙහෙණියක් “සිතුල්පව්වෙහි තෙළෙස් දහසක් රහතන් වහන්සේ වෙසෙත්, එහි ගොස් පවාරණය කරමු”යි කීය. එක් මෙහෙණියක් කාළකන්දර විහාරයෙහි දොළොස් දහසක් රහතන් වහන්සේ වෙසෙත්, එහි ගොස් පවාරණය කරමුයි කීය. එක් මෙහෙණියක් සෑගිරියට යමුයි කීය. එක් මෙහෙණියක් මහාවිහාර සතරටම ගොස් පවරමුයි කීය. තවත් මෙහෙණියක් “පුවඟු දිවයිනෙහි දොළොස්දහසක් පිණ්ඩපාතික රහත්හු වෙසෙත්. එහි ගොස් පවාරණය කරමු”යි කීය. එවිට එහි විසූ අභිඥාලාභී වෘද්ධ භික්ෂුණියක් මෑලාගේ මේ කථා අසා “එනු මැනවි, මම ඔබ රැගෙන එහි යන්නෙමි”යි කීය. සියලු දෙන ඒ වැඩිමහලු භික්ෂුණියගේ කීම අසා නැගිට සිටියාහ. ඕ තොමෝ භික්ෂුණීන් පන්සියයක් ද උපාසිකාවන් පන්සියයක් ද බාලිකාවන් පන්සියයක් ද රැස්කොට ඔවුන්ට මල් සුවඳ ආදිය ගන්ට සලස්වා පුවඟු දිවයිනට ගියාය. ඇතැම් කෙනෙක් ස්වකීය සෘද්ධි බලයෙන්ම ගියහ. ඒ පවාරණ දිනයෙහි සක්දෙව් රජ අවුත් කුමාරිකාවන් පස්දෙනට වැඳීමට පළමුවෙන් අවකාශ ගෙන පසුව පන්සියයක් භික්ෂුණීන්ට ද උපාසිකාවන්ට ද බාලිකාවන්ට ද ගෞරව කොට සංඝස්ථවිරතුමාට මෙසේ දැන්වීය: “ස්වාමීනි, අභිඥා ඉපදෙව් මේ පන්සියයක් කුමරියන් විසින් අපහසු දෙයක් කරන ලදි; මේ සියලු දෙන කාශ්‍යප බුද්ධ කාලයේ දී ඒ බුදුරදුන් වෙත බ්‍ර‍හ්මචර්යාවෙහි හැසිරුණ අය” යයි කීහ.