(1) සෑගිරිය සමීපයෙහි “විල්ගම” නමැති ගමක් විය. එහි පර්වත ගුහාවක බුද්ධ පුත්‍රයෝ වෙසෙත්. (2) එහි වෙසෙන භාවනානුයෝගී වූ සමාහිත වූ සසර භය දක්නා භික්ෂූහු සත්නමක් ඒ ගමට පිඬු පිණිස ආහ. (3) පවුල් පන්සියයක් ඇති ඒ ගමෙහි ගෙපිළිවෙළින් හැසුරුණු ඒ භික්ෂූහු කිසිවක් නොලැබ සේදූ පාත්‍ර ඇතිවම ගමෙන් පිටතට පැමිණියහ. (4) ඒ ගමෙහි වසන දුගී වූ මවක් ද දුවක් ද දුගී ශාලාව ආශ්‍රය කොට වසමින් සිඟා කෑමෙන් ජීවත් වෙති. (5) සුමනා නමැති ඒ දුවණියෝ ගමෙන් නික්මුණු ඒ භික්ෂූන් දැක සංවේගයට පත් සිතැතිව මෙසේ සිතී. (6) අතිශයෙන් අනුකම්පාට භාජන වූ මා සතු කිසිවක් නැත. පෙර කුසල් නොකොට දිළිඳු බවට පැමිණියෙමි. (7) මා විසින් මාගේ හිසකෙස් කපා කඩයට ගොස් විකුණා කුශලයක් කරනු ලැබේ නම් යෙහෙකි. ඕ මෙසේ සිතා සිත දැඩිකොට ගෙන මව වෙත ගොස් ඇඳිලි බැඳගෙන මෙසේ කීය: (9) “මෑණියෙනි, අහර නොලත් භික්ෂූහු සත්නමක් ගමෙන් නික්මියහ; මට පිනක් කරන්ට අවසර දෙනු මැනවි.” (10) “දුවණියෙනි පින් කරව; මා නිසා බිය නොවෙව. පිනට අන්තරාය කරන්නේ අපායයන්හි පැසෙන්නේය”යි මව කීය. (11) මවගේ කීම ඇසූ ඈ කඩවීදියට ගොස් තමාගේ හිසකෙස් කපා විකුණා කහවණු අටක් ලැබ (12) ඒවා රැගෙන වහා ගෙට ගොස් ඒ භික්ෂූන් නවත්වා ආසනශාලාවට පැමිණ වීය. (13) එසේ භික්ෂූන් වැඩහිඳුවා තමා ලත් ධනය සත් කොටසක් කොට එක් කොටසකින් හාල් සපයා බත් පිස ශාලාවට ගොස් එය භික්ෂූන්ට පිළිගැන්වීය. (15) සතුටු සිතින් භික්ෂූන්ට දන් පිළිගැන්වූ සුමනාව මෙසේ ද කීය. (16) “මාගේ හිසකෙස් විකුණා මම මේ දානය දෙමි. ඒ දානය මට පසු කලකදී ධන සම්පත් ලැබීමට හේතුවක් වේවා” (17) සසරෙහි නොඇලුණු සිතැති ඒ භික්ෂූහු දානය පිළිගෙන ඒ ගමෙන් නික්ම වනයට පිවිසියහ. (18) එයින් වැඩිමහලු තෙරනම එහි මාර්ගය මැද සිටගෙන ඒ භික්ෂූන්ට මෙසේ කීය: (19) ඇවැත්නි, තා මගේ හිසකෙස් කපා දන් සපයා දුන් මේ සුමනාව කෙලෙස් සිඳින පිරිසක් බව දැන එසේ කළාය. (20) මම ආශ්‍රවක්ෂයට නොපැමිණ මේ දානය නොවලඳමි. ඒ සඳහා කාලය පැමිණියේය. ඔබ ද ඒ කාරණය දත මැනවි. (21) සප්ත සද්ධර්මයෙන් යුක්ත වූ, මෛත්‍රී සහගත සන්හුන් සිතැති ඒ භික්ෂූහු කෙලෙසුන් සිඳීම පිණිස බලවත් උත්සාහ කළහ. (22) ඒ භික්ෂාව පසෙක තබා ගස්මුල් වෙත පැමිණි ඒ සියල්ලෝ දුක් කෙළවර කොට ආහාර අනුභව කළහ.
(23) එතුමන් දානය වැලඳූ කෙනෙහි ඒ දැරිය මනා රූ ඇත්තී විය. ඕ දේවවර්ණයට නොපැමිණ මනුෂ්‍ය වර්ණය ඉක්මවා සිටියාය. (24) සිරුරෙහි වර්ණය ද හිසෙහි දික්වූ කෙස් ද හොබනා අඟ පසඟ ද දැක තරුණිය මෑණියන්ට මෙසේ කීවාය: (25) මෑණියෙනි, මාගේ රූපය ශෝභන වූවා දකිමි, මෙය මෙලොවදීම දකින්ට ලැබෙන ඵලයකි. ඒකාන්තයෙන් ඒ මහතෙරුන් රහත්බවට පැමිණෙන්ට ඇත. (26) ඒ ප්‍රවෘත්තිය අසා අසල්වැසි මිනිස්සු ඒ ගෙට අවුත් පිරිවරාගෙන බොහෝ පැහැදීම ඇති කර ගත්හ. (27) දේවතාවෝ ද අනුරාධපුරයට ගොස් උද්ඝෝෂණය කළහ. රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවා ද සාධුකාර දුණි. (28) එයැසූ එක් මහායුද්ධ භටයෙක් රථයක නැගී අවුත් සොයන්නේ එක් පැත්තක සිටි ඒ ස්ත්‍රිය දැක රථයෙහි නංවාගෙන ඇය රජුට යෝග්‍යයැයි සිතා රජු වෙත ගෙනාවේය. (30) රජතෙම රන්වන් වූ සුමනාව දැක මෙලොවදී විපාක ලැබූ ඒ දානය කුමක්දැයි විචාළේය. (31) රජු විසින් විචාරන ලද ඕ තොමෝ “මහරජ, මාගේ හිසකෙස්වැටිය කපා විකුණා දන් දුනිමි”යි කීය. (32) එයැසූ රජ සතුටුව ඇය තමාගේ දූ තනතුරෙහි තබා ඇය සොයා ගෙනා යුද්ධ භටයාටම පාවා දුණි. (33) මෙසේ ඒ දැරිය තමාගේ කෙස් වැටිය කපා විකුණා දන් දී උසස් සම්පතට පැමිණියාය.
සද්ධාතිස්ස මහරජ ඈට තමාගේ කුමරියකට මෙන් දාසයන් සියයක් ද දෙනුන් සියයක් ද මීමුන් සියයක් ද වාහන සියයක් ද ගම් සියයක් ඇති ජනපදයක් ද රජ දුවකට දිය යුතු ආභරණාදිය ද දුන්නේය. ඕ තොමෝ මහා දානපතිනියක් විය. ඇගේ මරණාසන්න කාලයේදී සදෙව්ලොවින් රථ පැමිණියහ. චුල්ලී උපාසිකාවගේ කථාව මෙන් විස්තර කළයුතු.