29. මහාදේව උපාසකයාගේ කථාව

(1) හෙළදිව අජිතාව්හි? ගමෙහි සාධු සම්මත වූ මහාදේව නම් උපාසකයෙක් වසයි. (2) එහෙතම හැමකල්හි*[1] පූර්වාන්න-අපරාන්න නම් ශස්‍යයන් කරවයි. ගැල් දහසක් බරැති ධාන්‍ය ඔහුට ලැබේ. (3) හෙතෙම එක් දිනක් උදෑසනම නැගිට කර්මාන්ත බැලීමට ගොස් ඒවා නියම කොට ගමට හැරී එන්නේ (4) අහසින් ආ රහත් භික්ෂූන් අටනමක් දැක සැඟවී සිට ඔවුන් ගැන පරීක්ෂා කෙළේය. (5) අහසින් බැස්ස ඒ තෙරහු සිවුරු පොරවා පාත්‍ර‍ අතින් ගෙන පිණ්ඩපාතයේ යාමට නික්මුණාහ. (6) උපාසකයා වහා ගෙට ගොස් “මේ ආගන්තුක භික්ෂූන්ට දානය සම්පාදනය කරව”යි බිරියට කීය. (7) ඕතොමෝ යහපතැයි කියා කැඳ ද ව්‍යඤ්ජන සහිත බත් ද වහා පිළියෙළ කළාය. (8) ආචාරගෝචර දත් සන්හුන් ඉඳුරන් ඇති ඒ බුද්ධ පුත්‍රයෝ ගෙපිළිවෙලින් හැසිර ගමෙන් නික්මුණාහ. (9) මහාදේව උපාසක තෙමේ පස්සෙන් අවුත් ඒ අටනමගේ පාත්‍ර‍ රැගෙන ඒ භික්ෂූන් ස්වකීය ගෙට පැමිණවිය. (10) ඒ සියලු දෙන ගෙට පැමිණ පිළිවෙලින් හුන්කල්හි උපාසකයා යෝග්‍ය ආහාර වැලඳවීය. (11) භික්ෂූන් වලඳන අතරෙහි උපාසකයා ඒ අටනම නිත්‍යයෙන් තමාගේ ගෙයි දන් පිළිගන්නන් සේ ලියවා තබා භෝජනාවසානයෙහි මෙසේ කීය: (12) ඔබ අටනම යම් විහාරයක වසන්නාහු නම් ඒ විහාරයේ සංඝයාට භික්ෂා අටක් දෙන්නෙමියි. (13) ඔවුහු ඒ තුණ්ඩුව ගෙන යමින් නික්ම අහසට නැගී ආර්යයන්ගේ වාසස්ථානයෙහි බැස්සාහ. (14) සංඝයාට දෙන ලද ඒ සීට්ටු සංඝයා විසින් වැඩිමහලු පිළිවෙළින් දිනපතා බෙදාදෙන ලදි. (15) එබැවින් රහත් අටනමක් සැමදා මහාදේව උපාසකයාට අනුකම්පා පිණිස අහසින් වඩිති. (16) ඉක්බිති තුටුපහටු සිතැති මහාදේව තෙමේ උන්වහන්සේ වෙත එළඹ වැඳගෙන මෙසේ කීය: (17) පක්ෂයේ පස්වෙනි දිනයෙහි දන් ලබාගන්නා භික්ෂූහු සොළොස්නමක් වෙත්වා ඉතිරි දිනවල අටනමක්ම වෙත්වායි. (19) මෙසේ දෙන්නා වූ ඕ හට දොළොස් අවුරුද්දක් ගතවිය. ඒ කාලය තුළ කොපමණ භික්ෂු සංඛ්‍යාවකට දන් දුන්නේද යත්? (20) සතළිස් සතර දහස් හයසිය හතළිහක් විය.

(21) මෙසේ පින් කොටත් තෘප්තියට නොපැමිණ ඒ දානපති උපාසකයා නැවත මෙසේ සිතී: (22) “රන්වන් වූ බුදුරදුන්ට මම රන් කරඬුවක් සාදවන්නෙමි. එය සඳහා සුවර්ණභූමියට ගොස් රන් ගෙන එන්නෙමි”යි (23) අටවක් දිනයක රහතන් වහන්සේට වස්ත්‍ර‍ සහිත දානයක් දී සතුටු සිතැතිව මූදු ගමනට පිටත් විය. ඔහු ගිය නැව මූදේදී කැඩී ගිය බැවින් එහි සිටි හැමදෙන මළහ. උපාසකයා තනිවම මූදේ පාවිය. (25) කුටුම්බිය පුත්තතිස්ස තෙරනම වප් පසළොස්වක්දා වස් පවාරණය සඳහා වැඩ හුන්නේ මෙසේ කීය: (26) ඇවැත්නි, දේව උපාසකයා මූදේ පාවෙයි. ඔහු දියෙන් ඔසවා මා වෙත ගෙන ආ මැනවැ”යි. (27) උන්වහන්සේගේ කීම අසා භික්ෂු දෙනමක් අහසින් ගොස් ඔහු ඔසවාගෙන විහාරස්ථානයට පැමිණියහ. (28) ඒ උපාසකයා ඉදල් තබන ශාලාවෙහි නැවැත්තූහ. ශක්‍ර‍ දේවේන්ද්‍ර‍යා ද පවාරණ දිනයෙහි එහි පැමිණ (29) සෑගෙට ඇතුල්ව වඳින්නේ නම ලියූ කොඩියක් එහි එල්ලා තිබෙනු දැක බලවත් පැහැදීම ඇතිව තෙරනමකගෙන් මෙසේ විචාළේය: (31) “නම් ලියූ යම් මේ කොඩි වෙත් නම් ඒ අතරෙහි වූ මහාදේව නමැත්තා කොහි වෙසේද” (32) තෙරනම මූද මැද පාවෙමින් සිටි ඔහු භික්ෂූහු ගෙනැවිත් මෙහි ඉදල් ගලෙහි තැබූහ. හෙතෙම එහි ඇතැයි කීය. (33) ඉක්බිති දෙව්රජ කුවේරයා අමතා ඒ උපාසකයා ඔසවාගෙන මා සමීපයට එවයි කීය. (34) කීකරු වූ කුවේර තෙමේ ඔහු වඩාගෙන දේවේන්ද්‍ර‍යා සමීපයට ආවේය. (35) දේවේන්ද්‍ර‍ තෙම දේව උපාසකයා දැක තමාගේ අස්නෙහිම ඉන්ට සලස්වා සිදුවූ ප්‍ර‍වෘත්ති විචාළේය. (36) දෙව්රජු විසින් විචාරන ලද දේවතෙමේ සියලු පුවත් කීය. එය අසා සතුටු වූ ඉන්ද්‍ර‍ තෙමේ මෙසේ කීය: (37) “තා විසින් යම් කුශල කර්මයක් කරන ලද නම්, යමක් අනාගතයෙහි කරන්නෙහි නම්, මට ඒ පිනින් කොටසක් දෙව. මම ඔබට වතාවත් කරන්නෙමි”. (38) දේවරාජයෙනි ඔබටත් අන්ප්‍රාණීන්ටත් මා විසින් පින් කොටස් දෙන ලදි. ඒ අසුරයෝද මිනිස්සුද අපායෙන් මිදෙත්වා. (39) “එසේ නම් මහාදේවයෙනි, මේ ලබුගෙඩි තුන ගත මැනවි. ඒවා කපා ඕනෑ දේ ලබාගත මැනවි. අපි දෙව්ලොවට යමු”යි දේවේන්ද්‍ර‍යා කීය.

(40) ඇසිපිය හෙළන පමණ කාලයකින් ඒ ලබුගෙඩි ඔහුගේ ගෙට පැමිණියහ. එහි තැබූ ලබුගෙඩි තුනෙන් ධන තුනක් නික්මියහ. (41) ඒ ලබුගෙඩි තුන දරණ භාජන තුනක තැබූ විට එයින් මිනිස් ප්‍ර‍මාණ තුනක් පමණ ගැඹුරු වූ හැළි තුනක් පහළ වූහ. (42) ඉන් එකක් රනින් පිරුණි, එකක් කහවණුවලින් පිරුණි, අනික සුවඳ හැල්වලින් පිරුණි. ක්‍ෂය නොවන්නා වූ අපිරිමිත ධනයක් විය. (43) “මහාදේවය, කැමති පරිද්දෙන් මේ ධනය අනුන්ට දෙව, තමාත් අනුභව කරව; තාගේ ජීවිතාන්තය දක්වා මේ ධනය ක්‍ෂය නොවන්නේය”යි කී ශක්‍ර‍ දේවේන්ද්‍ර‍යා සාංදෘෂ්ටික දාන ඵලය*[2] ප්‍ර‍කාශ කොට දෙව්ලොවට ගියේය. (45) මෙසේ කුශලයෙහි ආශා ඇති සතුටු එලවන සිත් ඇති පුද්ගලයා මිනිසුන්ට හා දෙවියන්ට ප්‍රිය වේ, ධර්ම ප්‍රීති ඇත්තාට ද ප්‍රිය වේ. හෙතෙම එතැන් පටන් මහා දානපතියෙක් වී සත්වරක් සියලු සංඝයාට තුන්සිවුරු දුණි. චුල්ල උපාසකයාගේ කථාව මෙන් විස්තර කළ යුතු.

  1. පූර්‍වාන්න නම් ඇල් වී අමු මෙනේරි ආදියයි. අපරාන්න නම් මුං මෑ ආදි ඇට වර්ගයි.

  2. දානයෙන් මෙලොව දී ලබන විපාකය.