14. සඟ බතට අන්තරාය කළ ප්‍රේතයාගේ කථාව

තාම්‍ර‍පර්නියෙහි රුහුණු දනව්වෙහි පර්වත නම් විහාරයක් ඇත. එහි මහත් සංඝ සමූහයක් වාසය කරයි. එක් කලෙක ජනපද වැසි මිනිස්සු සියතින් දන් දෙනු කැමතිව විහාරයේ සියලු සංඝයාට ආරාධනා කළහ. සංඝස්ථවිරතුමා “සියලු භික්ෂූන්ට ආරාධනා කරන ලද බැවින් විහාරයෙහි බත් නොපිසව්” යයි ආරාමිකයන් වැළැක්වීය. පියංගුදීපවාසි භික්ෂුදෙනමක් සැමදාම දන් වලඳන කාලයෙහි ඒ විහාරයට එති. ඒ දෙනම එදවස්හි ආහාර නොලැබූහ. එබැවින් සංඝස්ථවිරනම කලුරිය කොට ප්‍රේත ලෝකයෙහි උපන්නේය. එක්තරා පිණ්ඩපාතික භික්ෂුනමක් මෛත්‍රීවිහරණ ඇතිව බෝපිටි දනව්වේ වනයක වසයි. ඒ ප්‍රේතයා සාපිපාසාවෙන් පීඩිතව ඒ තෙරුන් කරා එළඹ වැඳ නුදුරු තැන සිටියේය. ඔහු දැක තෙරනම: (1) විරූප වූ අමනුෂ්‍යයෙක් වෙහි; තාගේ ශරීරය බිය එළවන සුලුය, දුගඳ ඇත්තේය. ඇටසැකිල්ලක් පමණය. මෙහි සිටින තෝ කවරෙක් වෙහිදැයි විචාළේය. (2) “විහාරයන්හි අධිපති වූ සංඝස්ථවිර නමක් විය. ඔබ ඒ තෙරුන් හඳුනති. ඒ තෙරනම මිනිස් ලොවින් ච්‍යුත වී මෙහි උපන්නේය”යි ප්‍රේතයා කීය. (3) මේ තෙරනම මම හඳුනමි. හෙතෙම බහුශ්‍රැත සිල්වතෙකි. එවැනි සත්පුරුෂයන්ට දුගතිය නොයෙදේ යයි තෙරනම කීය. (4) එසේ සිල්වත් වුවත් උගත්කම ඇතත් එක් වචනයක් වරද්දා ගැනීමෙන් තමන් ප්‍රේතලෝකයට පැමිණියේයයි ප්‍රේතයා කීය. (5) “ඒ තෙරුන් විසින් කිනම් දොස් සහිත වචනයක් කියන ලද්දේදැයි මම දැනගනු කැමැත්තෙමි. එය මට කියව:”

(6) බෝපිටිය දනව්වෙහි සියලු මිනිස්සු එක්ව දන් දෙනු කැමතිව සියලු භික්ෂූන්ට ආරාධනා කළහ. (7) ඒ තෙරනම එය දැන සියලු භික්ෂූන් සඳහා ආරාමයෙහි දන් පිළියෙල නොකරව් යයි ආරාමිකයන්ට කීය. (8) එය’සා ආරාමිකයෝ දන් පිළියෙල නොකළාහ. භික්ෂූහු ගොදුරු ගමට ගියාහ. (9) පුවඟු දිවයින් වැසි භික්ෂු දෙනමක් සැමදාම මේ විහාරයට අවුත් දන් වළදා යෙති. (10) තෙරනම ඒ ගැන නොසිතා ඒ බත වැළැක්වීය. ඒ භික්ෂුදෙනම එහි ඇවිත් සුන්බත් ඇත්තෝ වූහ. (11) බත් කැමති භික්ෂූන්ගේ බතට අන්තරාය කොට මම සාපිපාසාවෙන් දැවෙමින් සෑමතැන ඇවිදිමි. (12) අල්ප වූ හෝ සංඝලාභයකට අනතුරු නොකළ යුතුය. එහි විපාක අනන්තය. (13) මම සලකා නොබලා අන්තරායකර වචන කීවෙමි. එක් වචනයක් වරදවා කීමෙන් මෙවැනි දුකකට පත්වීමි. (14) ස්වාමීනි, මා දැක සංවේගයට පැමිණෙනු මැනවි. දන්දීම ආදිය නොවළක්වනු මැනව”යි ප්‍රේතයා කීය.

(15) ඔබට මා විසින් කුමක් කළ යුතුද? කෙසේ ඔබ නිදහස් කරන්නෙම්ද? මම රත්නත්‍රයෙහි පූජා පවත්වන්නෙමියි තෙරනම කීය. (16) යම් කලක මේ පර්වතය හාත්පස පොළොව උස්වී ගැල් ගමන් කරන මාර්ගයක් වන්නේ නම් එකල මම මෙයින් මිදෙන්නෙමි. (17) දුකට පත් මා දැක ඔබවහන්සේ ගොස් “අප්‍ර‍මාදයෙන් හැසිරෙව්; සඟ සතු දෙයින් බියපත් වෙත්වා”යි භික්ෂූන්ට කියනු මැනවැයි ප්‍රේතයා කීය.

ඒ ප්‍රේතයාගේ කීම අසා පිණ්ඩපාතික තෙරනම මහා විහාරයට ගොස් භික්ෂූන්ට මේ ප්‍ර‍වෘත්තිය කීය. එයැසූ ඒ භික්ෂූහු බියට හා සංවේගයට පැමිණ සංඝලාභයට අන්තරාය කිරීමෙන් වැලකී අප්‍ර‍මාදී වූහ. රෝහණ පර්වතයෙහි තෙර නම මෙසේ ව්‍යසනයට පත්විය. ධර්මප්‍රීති ඇති භික්ෂුවට එය’සා අනල්ප භය ඇති විය.