13. සහල් ප්‍රේතයාගේ කථාව

star_outline

මෙසේ අසන්ට ලැබේ; තාම්‍ර‍පර්ණි ද්වීපයෙහි සෑගිරියෙහි එක්තරා භික්ෂුනමක් බොහෝ භික්ෂූන් හා වාසය කරයි. එක් දිනක් ඒ භික්ෂුවගේ පියා සෑගිරියට ආවේය. ඒ භික්ෂුනම පියාට ආහාර සැපයීමට සහල් නොලබන්නේ ආරාමිකයන්ගෙන් “හෙට ආපසු දෙන්නෙමි”යි කියා සඟ සතු සහලින් නැළි බාගයක් ගත්තේය. ඒ භික්ෂුනම එදා රෑම මියගොස් (සඟසතු සහල් ගත් බැවින්) පර්වත අතරෙහි ප්‍රේතයෙක්ව උපන්නේය. එක් පිණ්ඩපාතික තෙරනමක් මැදියම් කාලයෙහි ඒ මග යන්නේ දැල්වෙමින් සිටි ප්‍රේතයා දැක මෙසේ විචාළේය: (1) තාගේ සිරුර ඉතා දික්ය, දුර්ගන්ධයෙන් යුක්තය. ඇට සම් පමණක් ඇතිව ගිනිකඳක් මෙන් දැල්වෙහි. තෝ කවරෙක් වෙහිද? (2) “ස්වාමීනි, මම යමලොව උපන් ප්‍රේතයෙක් වෙමි. පව්කම් කොට ප්‍රේත ලෝකයට පැමිණියෙමි”යි ප්‍රේතයා කීය. (3) තා විසින් කයින් වචනයෙන් සිතින් කිනම් පවක් කරන ලද්දේ ද? කිනම් කර්මයක විපාකයෙන් ප්‍රේත ලෝකයට ආවෙහි දැයි තෙරනම විචාළේය. (4) පෙර මම භික්ෂුනමක් වී සෑගිරියෙහි විසුවෙමි. මාගේ පියාට ආහාර සැපයීම පිණිස සඟසතු සහල් නැළිබාගයක් ගතිමි. (6) හෙට නැළිය පුරවා දෙන්නෙමියි මා සිතා සිටි නමුත් ඒ රාත්‍රියෙහිම කලුරිය කොට මේ ප්‍රේතලෝකයට ආවෙමි යි ප්‍රේතයා කීය.

(7) මම ඒ භික්ෂුනම දනිමි. හෙතෙම සිල්වතෙකි. උගතෙකි. මෙවැනි සිල්වතෙක් දුගතියට නොයන්නේ යි තෙරනම කීය. (8) සිල්වත් වුවත් උගත් වුවත් සඟසතු දෙය ගැනීම මෙසේ ආසන්න කර්මයක් වශයෙන් විපාක දේ. (9) යම් කිසි සඟසතු බඩුවක් සුලු දෙයකැයි සිතා අවමන් නොකළ මැනවි. විපාක දෙනවිට එය මහත් වන්නේයයි ප්‍රේතයා කීය. (10) තට ප්‍රේතලෝකයෙන් මිදීමට කොතෙක් කුසල් කළ යුතුද? මම බුද්ධ-ධම්ම-සංඝ යන රත්නත්‍රයෙහි පූජා පවත්වන්නෙමි යි තෙරනම කීය. (11) මේ පර්වතය පටන් ගම දක්වා තුන්ගව් පෙදෙසෙහි අතර නැතිවන සේ ගැල් තබා (12) ඒවා සහලින් පුරවා සංඝයාට දෙන සේක් නම් මම මේ ප්‍රේතභාවයෙන් මිදෙන්නෙමි. (13) සහල් නැළි බාගය මෙසේ විශාලත්වයට පැමිණියේය. ඉදින් එසේ ලබාදෙන්ට නොහැකි නම් මාගේ නිදහස් වීමක් නොවන්නේය යි ප්‍රේතයා කීය.

ඉක්බිති තෙරනම රැය ඉක්මගිය කල්හි අනුරාධපුරයට ගොස් සද්ධාතිස්ස රජු ඉදිරියෙහි සිටියේය. රජතෙම උන්වහන්සේගේ පාත්‍ර‍ය රැගෙන “ස්වාමීනි, කුමක් සඳහා වැඩිසේක්දැ”යි විචාළේය. තෙරනම ඒ පුවත කියා සහල් සඳහා පැමිණියෙමි යි කීය. සහල් කොපමණදැයි ඇසූ විට ප්‍රේතයා කී කථාව කීය. ඉක්බිති රජ තුන්ගව්වක් මුළුල්ලේ ගැල් තබ්බවා සහලින් පුරවා සංඝයාට දුණි. එසේ දී ඒ පින් ප්‍රේතයාට අනුමෝදන් කරවීය. පින් දුන් කෙණෙහිම ප්‍රේතයා ප්‍රේතභාවයෙන් මිදී දිව්‍යරූපය දරන්නෙක් විය. නැවත තෙරුන් රාත්‍රියෙහි ඒ මඟට බැස්ස විට දේවපුත්‍ර‍යා තෙරුන්ට වැඳ ඉදිරියෙහි ඇඳිලි බැඳගෙන සිටියේය. තෙර නම ඔහු දැක මෙසේ විචාළේය. (14) උතුම් ඔටුන්නක් දරන්නා වූ, උතුම් වස්ත්‍ර‍ හැඳගත්, උතුම් ආභරණවලින් සැරසුණු, උසස් සුවඳින් තැවරූ අවයව ඇති, ඔබ උතුම් වස්තු දෙන දේවරාජයා ද? දේවතාවා මෙසේ කියයි. (15) පෙර දිනක ඔබවහන්සේ නපුරු වැටීම් ඇති, පිහිටක් නැති, මා වෙත එළඹ ප්‍ර‍මාණ කළ නොහැකි දුක් සයුරෙහි ගිලුණු මා මහත් කරුණාවෙන් ගොඩට ගත් සේක. (16) යම් කෙනෙක් අනුන්ට යහපත කෙරෙත් නම් ඒ බුදු පිරිස බුදුරදුන් විසින් හික්මවන ලද්දේය. ඔවුහු නිතර සියලු සතුන් කෙරෙහි සමසේ පැවැත්වූ සිත් ඇත්තාහ.

(මෙහි කියවෙන සේ ඒ භික්ෂුනම සඟසතු දෙය ආපසු දෙන අදහසින් ගත් බැවින් හදිසියේ මරණයට පත් ඔහුට මෙවැනි විපාකයක් දීම යුතුයයි ආගම ධර්මය අනුව කිය නොහැක. නමුත් පොතේ තිබෙන කථාව එසේම දැක්වීම යුතු බැවින් සිංහලයට නැගුවෙමු. මීළඟට තිබෙන කථාවද මෙවැන්නකි. සංඝස්ථවිරනමක් නොදැනීමෙන් හෝ සිහි නැතිවීමෙන් කී දෙයක් නිසා රහත් දෙනමකගේ දානය වැරදුණු බැවින් ලත් විපාකයක් එහි කියවේ.)