සිවුපස පරිභෝගය

වෙළඳාම් ගොවිකම් ආදිය කොට ධනය සපයා දිවි පැවැත්වීමට පැවිද්දන්ට අවසරයක් නැත. එසේ ජීවත් වත හොත් එය මිථ්‍යාජීවිකාවෙකි. පැවිදි වීමෙන් පසු ජීවත් විය යුත්තේ සැදැහැවතුන් දෙන සිවුපසයෙනි. “මේ පැවිද්දන් වහන්සේලා සිල්වත්හුය, ගුණවත්හු ය. ඔවුහු පූජා සත්කාර කිරීමට සුදුස්සෝ ය.” යි සලකා සැදැහැවත්හු ඩහදිය මහන්සියෙන් ඉතා දුක සේ සපයා ගත් වස්තුව තමන්ගේ ප්‍රයෝජනයට නො ගෙන දූ දරුවන්ට නොදී භික්ෂූන්ට දෙන්නාහ. සමහරවිට තමන් යම්තම් දෙයකින් යැපී ප්‍ර‍ණීතවත් ලෙස දානය පිළියෙළ කොට දෙන්නාහ. සමහර විට තමන් නිරාහාර ව සිට ද පැවිද්දන්ට දන් දෙන්නාහ. එසේ දෙන සිවුපසය ගැන සැලකිල්ලක් නැති ව විනෝදයෙන් පරිභෝග කරනවා නම්, තෘෂ්ණා මානාදිය වඩමින් ඒවායේ ඇලී ගැලී මුළාවට පැමිණ ඒවා පරිභෝග කරනවා නම්, එය බරපතළ කරුණෙකි.

ථෙය්‍යපරිභෝගය ඉණපරිභෝගය දායජ්ජපරිභෝගය සාමිපරි-භෝගය කියා සිවුපස පරිභෝග කිරීම් සතරක් ඇත්තේ ය.

මෙ ශාසනයෙහි භික්ෂුසාමණේරයන්ට චීවරාදි සිවුපසය ලැබෙන්නේ ඒවා පිළිගැනීමට තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති නිසාය. උන් වහන්සේ නො අනු දැන වදාළ සේක් නම්, මේ සිවුපසය නො ලැබෙන්නේ ය. එබැවින් ඒ සිවුපසය බුදුන් වහන්සේ අයත් ය. උන් වහන්සේ ඒවා අනුදැන වදාළේ දුශ්ශීලයන්ට නොව සිල්වතුන්ට ය. දුශ්ශීලයන්ට ඒවා අයිති නැත. සැදැහැවතුන් ඒවා දෙන්නේ “මේ භික්ෂූහු සිල්වත්හුය” යි සලකා ගෙන ය. ඒ නිසා ද දුශ්ශීලයන්ට ඒවා අයිති නැත. සිල්වතුන්ට ම අනුදැන වදාළ, සිල්වතුන්ට ම දෙන සිවුපසය දුශ්ශීල ව හිඳ පරිභෝග කිරීම සොරකමෙකි. එබැවින් එසේ කරන පරිභෝගය “ථෙය්‍ය පරිභෝග” නම් වේ.

සිවුපසය සිල්වතුන් විසින් ද පරිභෝග කළ යුත්තේ ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් යුක්ත ය. මිනිසුන්ට ප්‍රයෝජන වන ආහාර පාන වස්ත්‍රාදි සියල්ල ම තෘෂ්ණා මාන ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍යාදි ක්ලේශයන්ට වස්තූහු ය. මේ සිවුර ලස්සන ය සිනිඳුය හොඳය කියා සිවුර ගැන තෘෂ්ණාව උපදී. මේ ආහාරය රසය - ගුණය - හොඳය කියා ආහාර ගැන ද, මේ ආවාසය මේ ඇඳ පුටු කොට්ට - මෙට්ට ඇතිරිලි හොඳය කියා ද එසේ ම තෘෂ්ණාව උපදී. හොඳ සිවුරු දෙස බලා මෙවැනි සිවුරු ලබන මම කොතරම් වාසනාවන්තයෙක් ද, මෙසේ ප්‍ර‍ණීත දානය ලබන හොඳ ආවාසයෙක වෙසෙන හොඳ ඇඳ පුටු ආදිය පරිභෝග කරන මම කොතරම් වාසනා වන්තයෙක් ද කියා, චීවරාදිය ගැන මානය උපදී. තමාට අයත් ව ඇති ප්‍ර‍ත්‍යයෙන් අනිකකු ප්‍රයෝජන ලබනවාට නො කැමැත්ත වූ මාත්සර්‍ය්‍යය ද, අන්‍යයන්ට එවැනි ප්‍ර‍ත්‍යය ලැබෙනවාට විරුද්ධත්වය වූ ඊර්ෂ්‍යාව ද උපදනේ ය. තමාගේ ප්‍ර‍ත්‍යවලට හානියක් වන කල්හි කෝපය ඇති වේ. බාල සිවුරක් ලද හොත් කටුක ආහාරයක් ලද හොත් එකල්හි ද ද්වේෂය උපදී. පැවිද්දන්ට දීම දායකයන්ට මහත්ඵල වන්නේ සිවුපසය නිසා උපදින කෙලෙස් නූපදනා ලෙස පැවිද්දන් විසින් ඒවා පරිභෝග කළ හොත් ය. ඒවා පරිභෝග කිරීමේ දී කෙලෙස් නූපදින්නට ඇත්තා වූ උපාය නම් ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම ය. ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් යුක්ත ව කෙලෙස් නූපදනා පරිදි ප්‍ර‍ත්‍ය පරිභෝග කළා ම දායකයන්ට ඒ ප්‍ර‍ත්‍යය දානය මහත් ඵල වේ. ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් තොර ව තෘෂ්ණා මානාදියෙන් යුක්ත ව ඒවා පරිභෝග කළ හොත් දායකයන්ට මහත් ඵල නො වේ. මහත් ඵලයක් බලාපොරොත්තුවෙන් දෙන සිවුපසය පිළිගෙන දුන්නහුට මහත් ඵල නො වන සැටියට පරිභෝග කිරීම ණයට ගැනීමක් වැනිය. එසේ ඒ සිවුපසය පරිභෝග කළ පැවිද්දාහට අනාගත භවවලදී දායකයන්ට ණය ගෙවන්නට සිදුවේ. ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් තොරව ණයකාරයකු වන පරිදි කරන සිවුපස පරිභෝගය ඉණපරිභෝග නම් වේ. සිවුපස පරිභෝගයට සුදුස්සකු වීමට ශීලය ම ප්‍ර‍මාණවත් නො වේ. ඉණපරිභෝග භාවයෙන් මිදීමට සිල්වතුන් විසින් ද ප්‍ර‍ත්‍යවේක්ෂා කොට සිවුපසය පරිභෝග කළ යුතු ය.

ප්‍ර‍ත්‍යවේක්ෂා නො කොට ප්‍ර‍ත්‍ය පරිභෝග කිරීම සුළු දෙයක් නොව මහත් වරදකි. තථාගතයන් වහන්සේ ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් තොරව ආහාරයෙහි ගිජු ව එය වළඳන නවක පැවිද්දන් දැක, ඉමහත් සංවේගයට පැමිණ, පස් වන පාරාජිකාවක් පනවත හොත් ප්‍ර‍ත්‍යවේක්ෂා නොකොට ආහාර වැළඳීම පස් වන පාරාජිකාව ලෙස පැනවිය යුතු බවත්, එහෙත් ආහාරය සත්ත්වයන් විසින් සැමදා අනුභව කළ යුත්තක් වන නිසා ඒ ගැන එතරම් මහත් සිකපදයක් පැනවීම නුසුදුසු බවත් සිතා වදාරා,[1] මේ සූත්‍ර‍ය දේශනය කළ කල්හි භික්ෂූහු ප්‍ර‍ත්‍යවේක්ෂා නො කරන ආහාර වැළඳීම මහත් වරදක් බව දැක ප්‍ර‍ත්‍යවේක්ෂා කොට සිවුපසය පරිභෝග කරන්නාහු යි සලකා “පුත්‍ර‍මාංසෝපම සූත්‍ර‍ය” වදාළ බව සංයුක්ත නිකායට්ඨ කථාවෙහි කියා තිබේ. තථාගතයන් වහන්සේ විසින් ධර්ම දායාද සූත්‍ර‍ය දේශනා කරන ලද්දේ ද මේ කරුණ නිසා ම ය.

සෝවාන් සකෘදාගාමි අනාගාමි යන ශෛක්ෂ පුද්ගලයන් තිදෙනාගේ ප්‍ර‍ත්‍යය පරිභෝගය දායජ්ජපරිභෝග නම් වේ. ඔවුහු තථාගතයන් වහන්සේගේ පුත්‍රයෝ ය. පුත්‍රයෝ වනාහි පියාගේ දෙයට උරුමක්කාරයෝ ය. ශාසනයට ලැබෙන ප්‍ර‍ත්‍යය තථාගතයන් වහන්සේ අයත් ය. ශෛක්ෂ පුද්ගලයෝ තථාගතයන් වහන්සේගේ පුත්‍ර‍ත්වයට පැමිණ ඒ ප්‍ර‍ත්‍යය තමන්ගේ උරුමය වශයෙන් පරිභෝග කරන්නාහ. උරුම දෙය පරිභෝග කිරීම නිරවද්‍ය පරිභෝගයෙකි.

රහතන් වහන්සේලාගේ ප්‍ර‍ත්‍යයපරිභෝගය සාමිපරිභෝග නම් වේ. උන්වහන්සේලා තෘෂ්ණා දාසත්වයෙන් මිදී හිමියන් වී ප්‍ර‍ත්‍යය පරිභෝග කරති. සකල ක්ලේශයන් ප්‍ර‍හාණය කොට ශුද්ධියට පැමිණ වාසය කරන බැවින් ද දාන මහත් ඵල කිරීමට සමත් වී ඉන්නා බැවින් ද රහතන් වහන්සේලා මහත් ඵලය අපේක්ෂා කොට දෙන දානය පිළිගැනීමට සර්වාකාරයෙන් ම සුදුසු වන්නාහ. එබැවින් ද උන් වහන්සේලා ශාසනයට ලැබෙන ප්‍ර‍ත්‍යයේ ස්වාමිවරු වන්නාහ.

මේ පරිභෝගයන් ගෙන් දායජ්ජපරිභෝග සාමි පරිභෝග දෙක නිරවද්‍ය පරිභෝගයෝ ය. ඉණපරිභෝග ථෙය්‍යපරිභෝග දෙක සාවද්‍ය පරිභෝගයෝ ය. සිල්වත් පැවිද්දන් විසින් ප්‍ර‍ත්‍යවේක්ෂා කොට කරන පරිභෝගය ඉණපරිභෝගයට විරුද්ධ බැවින් අනණ පරිභෝග නම් වේ. ණය ඇති පරිභෝගය යනු එහි තේරුම ය. එයත් දායජ්ජ පරිභෝගයට ඇතුළත් වන බව ද කිය යුතු ය.

  1. “තතො චින්තෙසි. සෙවෙ මෙ පඤ්චමං පාරාජිකං පඤ්ඤාපෙතුං සක්කා අභවිස්ස අපච්චවෙක්ඛිතාහාර පරිභෝගෝ පඤ්චමං පාරාජිකං කත්වා පඤ්ඤාපෙතබ්බො භවෙය්‍ය. න පන සක්කා එවං කාතුං ධුවපටිසෙවනට්ඨානං හෙතං සත්තානං”

    (අභිසමය සංයුත්තට්ඨකථා - මහාවග්ගො සත්තමො)