පැවිදි කළ යුතු ආකාරය

“එවං ච පන භික්ඛවෙ, පබ්බාජෙතබ්බො, උප සම්පාදෙතබ්බො, පඨමං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා එකංසං උත්තරාසංගං කාරාපෙත්වා භික්ඛුනං පාදෙ වන්දාපෙත්වා උක්කුටිකං නිසීදාපෙත්වා අඤ්ජලිං පග්ගණ්හාපෙත්වා එවං වදෙහීති වත්තබ්බො, බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමිති, අනුජානාමි භික්ඛවෙ, ඉමෙහි තීහි සරණ ගමනෙහි පබ්බජ්ජං උපසම්පදන්ති.”

(මහාවග්ග මහා ඛන්ධක)

මහණෙනි, මෙසේ පැවිදි කළ යුතුය, මෙසේ උපසම්පදා කළ යුතුය. පළමු ව, කෙස් රැවුළු පහකර සිවුරු හඳවා උත්තරාසංගය ඒකාංස කරවා භික්ෂූන් ගේ පා වඳවා උක්කුටියෙන් හිඳවා ඇඳිලි බඳවා “බුද්ධං සරණං ගච්ඡාමි, -පෙ- තතියම්පි සංඝං සරණං ගච්ඡාමි” යි කියවිය යුතුය. මහණෙනි මේ සරණ ගමන තුනෙන් පැවිද්දත් උපසම්පදාවත් අනුදනිමිය” යනු එහි තේරුම ය.

බුදුසසුන පිහිට වූ මුල් කාලයේ දී මහණ උපසම්පදා දෙක ම සරණ ගමන මාත්‍රයෙන් සිදු කිරීමට අනුදැන වදාරා ක්‍ර‍මයෙන් බොහෝ භික්ෂූන් ඇති වී සසුන දියුණු වූ පසු -

“යා සා භික්ඛවෙ, මයා තීහි සරණගමනෙහි උපසම්පදා අනුඤ්ඤාතා, තාහං අජ්ජතග්ගෙ පටික්ඛිපාමි. අනුජානාමි භික්ඛවෙ, ඤත්තිචතුත්ථෙන කම්මෙන උපසම්පදං.”

(මහා වග්ග මහා ඛන්ධක)

යනුවෙන් සරණ ගමන මාත්‍රයෙන් උපසම්පදා කිරීම ප්‍ර‍තික්ෂේප කර වදාරා ඤප්තිචතුර්ථ කර්මවාක්‍යයෙන් උපසම්පදා කිරීම නියම කළ සේක. පැවිදි කිරීම පිළිබඳ වෙනසක් නො කළ බැවින් අද දක්වා ම සරණගමනයෙන් පැවිදි කිරීම එසේ ම කරනු ලැබේ.

පැවිදි කිරීම යනු හිස රැවුළු කැපීම, සිවුරු හැඳවීම, සරණ සමාදානය කරවීම යන මේ තුන් කිස සිදු කිරීම ය. එය සිදු කිරීමෙන් පසු ප්‍ර‍ව්‍ර‍ජ්‍යාපේක්ෂකයා සාමණේර නමක් වන්නේ ය. ඒ තුන් කිසෙන් පළමු කළ යුත්ත හිසකේ කැපීම ය. පැවිදි වන තැනැත්තා කලින් හිසකේ කපවා ගෙන සිටිනවා නම් එසේ ම පැවිදි කළ හැකි ය. දෑඟුලකට වඩා දක් එක් කෙස් ගසකුදු ඇතියකු සේ හිසකේ භික්ෂුවක් විසින් කැපීම හෝ කැපවීම හෝ සිදු කරනවා නම් සීමස්ථක සියලු භික්ෂූන් රැස් කොට ප්‍ර‍ව්‍ර‍ජ්‍යාපේක්ෂකයා සංඝයා ඉදිරියට පමුණුවා ඒ භික්ෂුව විසින් “ඉමස්ස භණ්ඩුකම්මං ආපුච්ඡාමි” යන වාක්‍යය වරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ කීමෙන් සංඝයා විචාරාම හිසකේ කැපිය යුතුයි. රැස් කිරීම අපහසු කල්හි භික්ෂූන් ඉන්නා තැන්වලට ගොස් වෙන වෙන ම විචාරීම ද සුදුසු ය. ග්‍රාම සීමාවෙහි භික්ෂූහු බොහෝ වෙත් නම් ප්‍ර‍ව්‍ර‍ජ්‍යාපේක්ෂකයා බද්ධ සීමාවකට කැඳවා ගෙන ගොස් එහි ඉන්නා භික්ෂූන්ට ආරෝචනය කොට හිසකේ කැපිය යුතුයි. මෙසේ ආරෝචනය නො කොට දෑඟුලකට වඩා දික් හිසකේ කපන කපවන භික්ෂුවට දුකුලා ඇවැත් වේ.

පැවිදි වන්නවුන්ගේ හිසකේ කැපීම ගුරුවරයා විසින් ම හෝ ගුරුවරයාගේ නියමයෙන් හෝ කිරීම වඩා හොඳ ක්‍ර‍මය යි. ගුරුවරයා විසින් හිසකේ කැපීම කරනවා නම් “තචපඤ්චක කර්මස්ථානය” ඔහුට කියා දෙමින් ම එය කළ යුතුය. අනෙකකු ලවා කපවනවා නම් ගුරුවරයා සමීපයෙහි සිට තචපඤ්චක කර්මස්ථානය ඔහුට කියා දිය යුතුය. මෙය ඉතා සැලකිය යුතු කරුණෙකි.

“තචපඤ්චක කර්මස්ථානය” යනු කෙස් - ලොම් - නිය - දත් - සම යන මේ ශාරීරික කොටස් පස පිළිබඳ සතිපට්ඨාන භාවනාව ය. මෙය කියා දෙන ගුරුවරයා විසින් ඉතා ආදරයෙන් පැහැදිලි ලෙස කියා දිය යුතු ය. කෙස් රොදක් ඔහුගේ අතට දී “දරුව, මේ කෙස් දෙස බලන්න. ඔබ සිත එයට යොමු කරන්න. මේ කෙස්වල පැහැයත් කැතය. සටහනක් කැතය, දුඟඳ නිසාත් මේවා කැතය, ලේ සැරව මලමුත්‍ර‍ පිත් සෙම් ආදියෙන් හටගත් නිසාත් කැතය. ලොම් නිය දත් ආදි කුණප කොට්ඨාසයෙහි හටගත් දෙයක් වන නිසාත් මේ කෙස් කැතය” යි කෙස්වල පිළිකුල් බව කියා දිය යුතු ය. ලොම් නිය දත් සම යන කොටස් සතරේ පිළිකුල් බවත් එසේ සිතට වදින ලෙස කියා දිය යුතු ය. මේ අවස්ථාවේ දී කියාදෙන දෙය පැවිදි වන්නහුගේ සිතට තදින් කා වැදෙන්නේ ය. එබැවින් මේ අවස්ථාවෙහි කියා දෙන කමටහන මෙනෙහි කිරීමෙන් පෙර ජාතිවලත් භාවනා පුරුදු කර ඇත්තා වූ ඇතැම් කුලපුත්‍රයෝ හිසකේ කපා අවසන් කරනු සමග ම සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණෙති. එකෙණෙහි ම රහත්වීම කෙසේ වුවත් මේ අවස්ථාවේ දී කියා දෙන භාවනාව ඔහුගේ සිත් හි කා වැදී පවත්නේ ය. එය ඔහුට අනාගතයේ දී පිහිට වන්නේ ය. මෙය ගුරුවරයන් විසින් අමතක නො කළ යුතු ඉතා වැදගත් කරුණකි. හිස රැවුල් කැපීමෙන් පසු හොඳින් සබන් ගා කුණු උලා ගිහි ගඳ ඉවත් වන පරිදි ප්‍ර‍ව්‍ර‍ජ්‍යාපේක්ෂකයා නෑවිය යුතු ය. පැවිදි වන තැනැත්තා කුණු උලා නා පිරිසිදු වීමට සමත් වේ නම් ඔහුට ම එය කර ගැනීමට ඉඩ හැරිය යුතු ය.

ස්නානය කොට පිරිසිදු වීමෙන් පසු ප්‍ර‍ව්‍ර‍ජ්‍යාපේක්ෂකයා පැවිදි වන තැනට ගොස් තමා ගේ මාපියෝ එහි වෙත් නම් ඔවුන්ගේ පා වැඳ සමු ගෙන තවත් ඥාති මිත්‍රාදීන් පැමිණ ඇති නම් ඔවුන්ගෙන් ද සමු ගෙන සංඝයා ඉදිරියට ගොස් සියලු ම භික්ෂූන්ගේ පා වැඳ සිවුරු අතින් ගෙන උපාධ්‍යායයන් වහන්සේ ඉදිරියෙහි උක්කුටික ව හිඳ වැඳ ගෙන මේ වාක්‍යය කියා පැවිද්ද ඉල්ලිය යුතු ය.

“ඔකාසා: අහං භන්තෙ, පබ්බජ්ජං යාචාමි.

දුතියම්පි අහං භන්තේ, පබ්බජ්ජං යාචාමි.

තතියම්පි අහං භන්තේ, පබ්බජ්ජං යාචාමි.”

ඉක්බිති මේ වාක්‍යය කියා උපාධ්‍යායයන් වහන්සේ අතට සිවුරු පිළිගැන්විය යුතු ය.

“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. දුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය.

“සකල දුඃඛයන් ගේ නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කොට මේ සිවුරු ගෙන මා පැවිදි කරනු මැනවි.” යනු එහි තේරුම ය. මතු දැක්වෙන වාක්‍යය නැවත කියා නැවත ද පැවිද්ද ඉල්ලනු.

“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. දුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ අනුකම්පං උපාදාය.”

“සකල දුඃඛයන් ගේ නිවීම වන නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස තෙල සිවුරු දී අනුකම්පා කොට මා පැවිදි කරනු මැනවි.” යනු එහි තේරුම ය.

කියන ලද පරිදි තුන් වන වරත් පැවිද්ද ඉල්ලූ පසු භික්ෂුව විසින් ප්‍ර‍ව්‍ර‍ජ්‍යාපේක්ෂකයාට සිවුරු හැඳවීම හෝ කළ යුතු ය. “මේ සිවුරු මොහුට හඳවන්නය” කියා අනිකකුට හෝ ඒ සිවුරු දිය යුතු ය. “මේවා ගෙන හැඳ ගනුව” යි ප්‍ර‍ව්‍ර‍ජ්‍යාපේක්ෂකයාට හෝ ඒ සිවුරු දිය යුතු ය. මේ තුන් ක්‍ර‍මයෙන් කවර ආකාරයකින් සිවුරු දුන ද එය භික්ෂුව ගේ දීමක් ම වන්නේ ය. සිවුරු හඳනා කල්හි මේ හඳින්නේ පොරොවන්නේ ශීතල වළකා ලනු පිණිස ය, උෂ්ණය වළකා ලනු පිණිස ය, මැසි මදුරු පීඩා වළකා ලනු පිණිස ය යනාදීන් ප්‍ර‍ත්‍යවේක්ෂා කෙරෙමින් ම සිවුරු හැඳීම පෙරවීම කළ යුතු ය. පැවිදි වන තැනැත්තේ ප්‍ර‍ත්‍යවේක්ෂාව නො දන්නේ නම් ගුරුවරයා විසින් එය කියා දෙමින් ම සිවුරු හැඳවිය යුතු ය.

මෙසේ සිවුරු ලබා ගත් පසු උත්තරාසංගය ඒකාංශ කොට පෙරවා ගෙන රැස් වූ භික්ෂූන්ගේ පා වැඳ ගුරුවරයා ඉදිරියේ උක්කුටියෙන් හිඳ වැඳ ගෙන තිසරණ සහිත පැවිදි දසශීලය සමාදන් විය යුතු ය.

සිල් ඉල්ලීමේ වාක්‍යය

“ඕකාස, අංහ භන්තේ, තිසරණෙන සද්ධිං පබ්බජ්ජා දසසීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. දුතියම්පි අහං භන්තේ, තිසරණේන සද්ධිං පබ්බජ්ජා දසසීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. තතියම්පි අහං භන්තේ තිසරණෙන සද්ධිං පබ්බජ්ජා දස සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්‍වා සීලං දෙථ මෙ භන්තෙ”

මේ වාක්‍යයෙන් තිසරණ සහිත පැවිදි දසසීලය ඉල්ලූ කල්හි “යමහං වදාමි තං වදේථ” යන වාක්‍යය කියනු ලැබේ. එහි තේරුම, “මා කියන දෙය කියව” යනු යි. පැවිදි වන තැනැත්තා විසින් “ආම භන්තේ” යි පිළිතුරු දිය යුතු ය. “එසේය ස්වාමීනි” යනු එහි තේරුම යි. ඉන් පසු “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යන නමස්කාර පාඨය කිය යුතුයි. ඉන් පසු ගුරුවරයා විසින් කියවන පරිදි මකාරාන්ත වශයෙනුත් නිග්ගහිතාන්ත වශයෙනුත් කියා සරණ සමාදන් විය යුතු ය.

මකාරාන්ත සරණගමන පාඨය

බුද්ධම්, සරණම්, ගච්ඡාමි.

ධම්මම්, සරණම්, ගච්ඡාමි.

සංඝම්, සරණම්, ගච්ඡාමි.

-

දුතියම්පි, බුද්ධම්, සරණම්, ගච්ඡාමි.

දුතියම්පි, ධම්මම්, සරණම්, ගච්ඡාමි.

දුතියම්පි, සංඝම්, සරණම්, ගච්ඡාමි.

-

තතියම්පි, බුද්ධම්, සරණම්, ගච්ඡාමි.

තතියම්පි, ධම්මම්, සරණම්, ගච්ඡාමි.

තතියම්පි, සංඝම්, සරණම්, ගච්ඡාමි.

මෙය කියවන කල්හිත්, කියන කල්හිත් වචන වෙන් වෙන් කොට කිය යුතු ය. නො නවත්වා ඒකාබද්ධ කොට නො කිය යුතු ය. නිග්ගහිතාන්ත සරණගමන පාඨය ඒකාබද්ධ කොට කිය යුතු ය.

නිග්ගහිතාන්ත සරණගමන පාඨය

බුද්ධං සරණං ගච්ඡාමි.

ධම්මං සරණං ගච්ඡාමි.

සංඝං සරණං ගච්ඡාමි.

-

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.

දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.

දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

-

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.

තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.

තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

මෙය කියවීමෙන් පසු ගුරුවරයා විසින් “සරණාගමනං සම්පුණ්ණං” යි කී කල්හි ගෝලයා විසින් “ආම භන්තේ” යි පිළිතුරු දිය යුතු ය. මේ සරණ සමාදානයෙන් සාමණේර භාවය සිද්ධ ය. සාමණේර භාවය ලැබූවහු විසින් සමාදන් වුවත් නුවූවත් සික පද දශය බුද්ධාඥාව පරිදි රැකිය යුතු ය. වඩා ගෞරවය පිණිස ආචාර්‍ය්‍යවරයෝ සික පද කියවා සාමණේරයන්ට දසසිල් සමාදන් කරවති. සමාදන් කරවීමත් ඒ ඒ ආචාර්‍ය්‍යවරයන්ට කැමති පරිදි කරවති. ලක්දිව බොහෝ ආචාර්‍ය්‍ය වරයන් සමාදන් කරවන ක්‍ර‍මය මෙසේ ය.

පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍ර‍හ්මචරියා වේරමණී. මුසාවාදා වේරමණී, සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී. විකාලභෝජනා වේරමණී, නච්චගීත වාදිත විසූකදස්සනා වේරමණී, මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී, උච්චාසයන මහාසයනා වේරමණී, ජාතරූපරජත පටිග්ගහණා වේරමණී, ඉමානි පබ්බජ්ජා දසසික්ඛාපදානි සමාදියාමි. ඉමානි පබ්බජ්ජා දසසික්කාපදානි සමාදියාමි. ඉමානි පබ්බජ්ජා දසසික්ඛාපදානි සමාදියාමි.

මෙසේ සිකපද සමාදන් කරවීමෙන් පසු ගුරුවරයා විසින් “තිසරණේන සද්ධිං පබ්බජ්ජා දසසීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේතබ්බං” යි කියනු ලැබේ. එකල්හි සාමණේර නම විසින් “ආම භන්තේ”යි කියා පිළිවදන් දිය යුතු ය.

සික පද සමාදන් කරවීමේ අනිත් ක්‍ර‍මය

  1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  3. අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  6. විකාලභෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  7. නච්චගීතවාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  8. මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  9. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  10. ජාතරූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

උපාධ්‍යාය ග්‍ර‍හණය

කුඩා මහත් වරදවල් බලා ඒවා පෙන්වා දෙමින් අවවාදානුශාසනා කරන ගුරුවරයා උපාධ්‍යාය නම් වේ. තිසරණ සහිත දශ ශීලය, කියවීමට සමත් කවර භික්ෂුවක ගෙන් වුවද සමාදන් විය හැකි ය. සියලු භික්ෂූහු ම උපාධ්‍යාය භාවයට සුදුස්සෝ නො වෙති. සිල් දුන් භික්ෂූන් වහන්සේ ම උපාධ්‍යාය වෙත හොත් සිල් සමාදන් වී අවසානයෙහි “උපජ්ඣායෝ මේ භන්තේ හෝහි” යන වාක්‍යය තෙවරක් කියා උපාධ්‍යාය ග්‍ර‍හණය කළ යුතු ය. උපාධ්‍යායයන් වහන්සේ විසින් “පාසාදිකේන සම්පාදේහි” යි කී කල්හි “ආම භන්තේ” යි පිළිවදන් දිය යුතු ය. සිල් දුන් භික්ෂුව උපාධ්‍යාය නො වන කල්හි උපාධ්‍යයායන් වහන්සේ වෙත ගොස් උපාධ්‍යාය ගැනීම කළ යුතු ය. උපාධ්‍යාය කෙනකුන් නො මැති ව විසීම නුසුදුසු ය. උපාධ්‍යාය ග්‍ර‍හණයෙහි තේරුම “ස්වාමීනි, නුඹ වහන්සේ මා හට වරදවලට අවවාද අනුශාසන කරන ගුරුවරයා වන සේක්වා” යි ඉල්ලීමක් කිරීම ය. ඒ ඉල්ලීම පිළිගැනීම් වශයෙන් උපාධ්‍යායයන් වහන්සේ විසින් “පාසාදිකේන සම්පාදේහි” කියා හෝ “සාහු, ලහු, ඕපායිකං, පතිරූපං” යන වචනවලින් එකක් හෝ කියන ලදුයේ නම් උපාධ්‍යාය ග්‍ර‍හණය සිද්ධ වේ. භික්ෂුව ඒ ඉල්ලීම පිළිගත් බව කයින් හෝ වචනයෙන් හෝ ඇඟවීමක් නෝ කළ හොත් උපාධ්‍යාය ග්‍ර‍හණය සිදු නොවන්නේ ය.

ගුරුවරයා විසින් අලුත් සාමණේර නමට කැප අකැප සියල්ල කියා දිය යුතු ය. හැඳීම් පෙරවීම් යෑම් ඊම් කෑම් බීම් ආදිය කරන සැටි උගැන්විය යුතු ය. අලුත් සාමණේර නමට ඒවා පුරුදු පුහුණු වන තුරු දන් පිරිත් ආදි කිසිවකට පිටත නො යවා සමීපයෙහි නවත්වා ගෙන දශනාශනාංගයන්ගෙන් එකකට ද නො පැමිණෙන ලෙස ආරක්ෂා කළ යුතු ය.

සරණ ගමනය

ගෘහස්ථයන්ගේ සරණ ගමනය, සාමණේරයන්ගේ සරණ ගමනය යන මේ දෙක්හි මහත් වෙනසක් ඇත්තේ ය. බුද්‍ධරත්නය, ධර්මරත්නය, සංඝරත්නය යන මේ වස්තු තුන තමාට උසස් පිහිටක් ලෙස පිළිගැනීමෙන් ගිහියා සරණ ගත වන්නේ ය. ගිහියාගෙන් සරණ ගමනය කැමති භාෂාවකින් කැමති සැටියකින් කියා සිදු කළ හැකි ය. එය බිඳෙන්නේ බුදුන්ගෙන් ධර්මයෙන් සංඝයා ගෙන් වැඩක් නැත ය කියා රත්නත්‍ර‍ය ප්‍ර‍තික්ෂේප කිරීමෙන් හෝ අනික් ආගමක් පිළිගැනීමෙනි. ප්‍රාණඝාතාදි පාප ක්‍රියා කිරීමෙන් ගිහියාගෙන් සරණ ගමනය නො බිඳේ.

සාමණේර සරණ ගමනය එක්තරා විනය කර්මයෙකි. එයින් සිදු වන්නේ සාමණේර භාවයට පැමිණීම ය. පාලි භාෂාවෙන් ම මිස අන් බසකින් සිකපද කීමෙන් සාමණේර භාවය නො පිහිටන්නේ ය. ගිහියන්ගේ සරණගමනය තමා විසින් සිකපද කියා ගැනීමෙන් සිදු වේ. සාමනේර සරණගමනය සිදුවන්නේ ගුරුගෝල දෙදෙනාගේ කීමෙනි. අනුපසම්පන්නයකු ලවා කියවා ගැනීමෙන් ද සාමණේර සරණ ගමනය සිදු නො වේ. “බුද්‍ධං සරණං ගච්ඡාමි” යනාදි පාඨ එක අකුරකුදු එක වචනයකුදු නො වරදවා ස්ථාන කරණ සම්පත්තියෙන් යුක්ත කොට ගුරු ගෝල දෙදෙනා ගෙන් ම නො කියවුණ හොත් සාමණේර භාවය නො පිහිටන්නේ ය. එබැවින් සරණ සමාදානය වන කල්හි අල්ප අකුර අල්ප අකුරක් සැටියටත් මහා ප්‍රාණ අකුර, මහාප්‍රාණ අකුරක් සැටියටත් දීර්‍ඝ අකුර, දීර්‍ඝ අකුරක් සැටියටත් හ්‍ර‍ස්ව අකුර, හ්‍ර‍ස්ව අකුරක් සැටියටත් නො වරදවා ම උච්චාරණය කළ යුතු ය. දත් නැති මහලු තෙරුන් වහන්සේලාට දන්තජාක්ෂර හරියට උච්චාරණය නො කළ හැකි ය. දත් නැතියකු විසින් ගෝලයකු මහණ කරනවා නම් අනික් භික්ෂුවක් ලවා සරණ සමාදන් කරවා උපාධ්‍යාය දීම පමණක් තමා විසින් කළ යුතු ය.

බින්දුව උච්චාරණයට දුෂ්කර වර්ණයෙකි. බින්දු උච්චාරණය වැරදුණහොත් සාමණේර භාවය නො පිහිටන බැවින් එය උච්චාරණයට අසමත් අය විසින් “බුද්ධම්, සරණම්, ගච්ඡාමි” යනාදි මකාරාන්ත කොට සරණ සමාදානය විනය අටුවාවෙහි නියම කොට තිබේ. මකාරාන්ත කොට උච්චාරණය කිරීම ය, නිග්ගහිතාන්ත කොට උච්චාරණය කිරීමය යන මේ ක්‍ර‍ම දෙකින් එක් ආකාරයකින් සමාදන් වීමෙන් ම සරණ පිහිටන්නේ ය. වඩා පිරිසිදුවීම සඳහාත්, නිසැක වීම සඳහාත් ආචාර්‍ය්‍යවරයෝ ඒ දෙයාකාරයෙන් ම සරණ සමාදන් කරවති.