රෝගීන්ට මෙත් කිරීම

මෙත් කිරීමෙන් රෝගීන්ට බොහෝ ගුණ ලබා දිය හැකි ය. ගුණ ලැබෙන්නට ක්‍ර‍මානුකූල ව මෙත් වැඩීම කළ යුතු ය. ඉහත දැක්වූ පරිදි මෙත් කිරීමෙන් රෝගීන්ට ගුණයක් නො ලැබේ. රෝග සුව කිරීම සඳහා මෙත් කළ යුත්තේ අන් පරිද්දෙකිනි. යම් කිසි රෝගියකු ගැන “මොහුගේ රෝගය සුව වේවා, මොහු සුවපත් වේවා” කියා මෙත් වඩා ගුණයක් ලබාදීම අපහසු ය. රෝග සුව කිරීම සඳහා මෙත් වැඩීමේ දී රෝගියාගේ ශරීරයට සිදු කළ යුත්ත කුමක් ද? කියා දැන, ඒ දෙය සිදු වන පරිදි මෙත් කළ යුතු ය. එසේ කිරීමේ දී රෝගියා දෙසට මුහුණ ලා හිඳ තමාගේ සිත රෝගියාගේ ශරීරයේ ඇතුළ පිට දෙක්හි ම පතුරුවා පිහිටුවා ගෙන රෝගය, ශරීරය උණුසුම් කිරීමෙන් සුව කළ යුත්තක් නම්, “මොහුගේ ශරීරය උණුසුම් වේවා! උණුසුම් වේවා!” යි මෙත් කරනු. රෝගය ශරීරය සිසිල් කිරීමෙන් සුව කළ යුත්තේ නම් “සිසිල් වේවා, නිවේවා” කියා මෙත් කරනු. රෝගියා ගේ ශරීරයේ ධාතු හීන වී දුබල වී ඇති නම් “මොහුගේ සිරුරෙහි සප්ත ධාතූහු වැඩෙත්වා” යි මෙත් කරනු. ලේ ආදි යම්කිසි එක් ධාතුවක් හීන වී ඇති නම් “මොහුගේ ශරීරයේ ලේ වැඩේවා” යනාදීන් පිරිහුණු දෙය වැඩෙන ලෙස මෙත් කරනු. රුධිර වේගය උත්සන්න වී ඇත්තේ නම් “ලෙය සන්සිඳේවා” යි මෙත් කරනු. ලේ කැටි ගැසී ඇති නම් “ලේ දිය වේවා” යි මෙත් කරනු. නහර අප්‍රාණික වී ඇති නම් “නහර ප්‍රාණවත් වේවා” යි මෙත් කරනු. වාතාදි දෝෂයක් උත්සන්න වී ඇති නම් “එය සන්සිඳේවා” යි මෙත් කරනු. තුවාලයක් ඇති නම් “එය වියළේවා” යි මෙත් කරනු. මෙහි නො කී කරුණු ද නුවණින් සලකා සුදුසු පරිදි මෙත් කිරීමට දැන ගත යුතු ය.

මෙත් කිරීමේ දී නැතව නැවත වචන වෙනස් නො කරනු. මෙත් කරන අතර අන් කරුණුවලට සිත යොමු නො කොට භාවනා චිත්ත පරම්පරාව ඒකාබද්ධ වන ලෙස මෙත් කරනු. මඳ වේලාවක් මෙත් කිරීමෙන් ගුණ නො ලැබේ. බොහෝ වේලාවක් මෙත් කරනු. එක් රෝගියකු ගැන අඩු ගණනින් වරකට විනාඩි පසළොසක් වත් මෙත් කරනු. මෛත්‍රී චිත්ත බලයෙන් රෝග සුව කළ හැකි බව ගැන විශ්වාසය ද තබා ගෙන අවංකව ම රෝගියා සුවපත් කරනු කැමැත්තෙන් මෙත් කරනු. නියම පරිදි මෙත් වැඩීම කළ හොත් එහි ප්‍ර‍තිඵල තම තමන්ට අත් දැකිය හැකි වනු ඇත. නපුරු ගතිය දුරු වී අනුන් ගේ සිත් ශාන්ත වන පරිදි ක්‍ර‍මානුකූලව මෛත්‍රී භාවනාව කරන පිරිසක් රටේ ඇති වුවහොත් දැනට මිනිසුන් අතර ඇති අසමගිකම් හා රටේ සිදුවන අපරාධත් බොහෝ දුරට අඩු වනු ඇත. මේ කාරණය ගැන භික්ෂූන් වහන්සේ සලකා බලත්වා!!

මේ ග්‍ර‍න්ථයෙහි දැක්වුණ අවවාදානුශාසනා අනුව පිළිපදින්නා වූ සැදැහැවත් පැවිද්දෝ සත්පුරුෂ ජනයාගේ ප්‍ර‍ශංසාවට භාජනය වෙමින් සුවසේ දිවි පවත්වා, ජාති ජරා මරණාදි දුඃඛස්කන්ධයෙන් මිදී අජරාමර ලෝකෝත්තර ශාන්ත නිර්වාණයට පැමිණෙන්නාහ.

මෙතෙකින් ශාසනාවතරණය නිමියේ ය.