පැවිදි කිරීමට සුදුසු නුසුදුසු පුද්ගලයෝ

සැමදෙනා ම පැවිදි කිරීමට සුදුස්සෝ නො වෙති. එබැවින් පැවිදි කරන ගුරුවරයන් විසින් සුදුස්සන් පමණක් තෝරා පැවිදි කළ යුතු ය.

පණ්ඩකයාය, උභතෝබ්‍යඤ්ජනකයා ය, ථෙය්‍ය සංවාසකයා ය, තිත්ථියපක්කන්තකයා ය, තිරශ්චීනයාය: මාතෘඝාතකයා ය,  පීතෘඝාතකයා ය, අරහන්තඝාතකයා ය, ලෝහිතුප්පාදකයා ය. සංඝභේදකයා ය, භික්ඛුණී දූෂකයා ය. යන එකොළොස් දෙන පැවිද්ද ලැබීමට සම්පූර්ණයෙන් ම නුසුදුසු අභව්‍ය පුද්ගලයෝ ය. නො දැන ඔවුන් පැවිදි කළත් ඔවුනට මහණකම නො පිහිටන්නේ ය. නොදැනීමකින් ඔවුන් පැවිදි කර ඇති නම් දැනගත් විට සිවුරු හරවා යැවිය යුතුය. යම්කිසි භික්ෂුවක් විසින් දැන ඔවුන් පැවිදි කළහොත් ඒ භික්ෂුවට ඇවැත් වේ.

“න භික්ඛවෙ, හත්ථච්ඡින්නො පබ්බාජෙතබ්බො, න පාදච්ඡින්නො පබ්බාජෙතබ්බො” යනාදීන් තවත් හත්ථච්ඡින්නාදි පුද්ගලයන් දෙතිස් දෙනකු පැවිදි නො කළ යුතු බව වදාරා තිබේ. යම්කිසි භික්ෂුවක් විසින් ඔවුන් ගෙන් එකකු පැවිදි කළ හොත් ඔහුට මහණකම පිහිටයි. එහෙත් පැවිදි කළ භික්ෂුවට ඇවැත් වේ. කියන ලද දෝෂයන්ගෙන් මිදුණු පුද්ගලයකු වුවද “න භික්ඛවෙ අනනුඤ්ඤාතො මාතා පිතූහි පුත්තො පබ්බාජෙතම්බො. යො පබ්බජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යි තථාගතයන් වහන්සේ වදාරා ඇති බැවින් මාපියන්ගෙන් අනු දැනීමක් නැති පුත්‍ර‍යා ද පැවිදි නො කළ යුතුය. පැවිදි කරනු ලැබුවහොත් ඔහුට ද මහණකම පිහිටයි. පැවිදි කළ භික්‍ෂුවට දුකුලා ඇවැත් වේ.

විනයෙහි දක්වා ඇති ඉහත කී ප්‍ර‍ව්‍ර‍ජ්‍යා දෝෂ හැර පැවිදි කිරීම සම්බන්ධයෙන් තවත් සැලකිය යුතු බොහෝ කරුණු ඇත්තේ ය. ශිෂ්‍යයන් පැවිදි කරන ආචාර්‍ය්‍යවරයන් විසින් ඒ කරුණු ගැනත් සලකා බලා පැවිද්දට සුදුස්සන් තෝරා ගත යුතුය. නොයෙක් හේතූන් නිසා නොයෙක් අදහස්වලින් පැවිදි වන්නට උත්සාහ කරන්නෝ වෙති. තමන් ගේ මා පියන් සහෝදර සහෝදරියන් සමඟ ද සමඟියෙන් යහතින් නො විසිය හැකි ඇතැම් නොහික්මුණු අය අන්‍යයන් හා සමගියෙන් නො විසිය හැකි නිසා ම පැවිදි ජීවිතයට බැස ගැනීමට උත්සාහ කරති. තවත් සමහරු බලාපොරොත්තු කඩවීම් වලින් වූ සිත් වේදනාව නිසා පැවිදි වන්නට උත්සාහ කරති. සමහරු යම් යම් උත්පත්ති දෝෂ නිසා ඥාතීන් විසින් නො පිළිගන්නා බැවින් ද පහත් කොට සලකන බැවින් ද පැවිදි වන්නට උත්සාහ කරති. සමහරු සිවුරට මුවා වී යම් යම් නොමනා අදහස් ඉටු කර ගැනීමේ අදහසින් පැවිදි වන්නට උත්සාහ කරති. සමහරු පහසුවෙන් ජීවත් විය හැකි වෙතියි සිතා පැවිදි වන්නට උත්සාහ කරති. සමහරු තමන්ගේ යම්කිසි අදහසක් ඉටු කර ගන්නා රිසියෙන් දරුවන් පැවිදි කර වන්නට උත්සාහ කරති. අතීතයේ දී පැවිදි ව රහත් වූ ද ධ්‍යානාභිඥා උපදවා ආකාශ ගමනාදි අද්භූත දේ සිදුකළා වූ ද උත්තම පුද්ගලයන්ගේ චරිත අසා හෝ පොතපතින් කියවා හෝ පැවිදි වුව හොත් තමන්ටත් ඒ තත්ත්වයට පැමිණිය හැකි වෙතියි සිතා ඇතැමෙක් පැවිදි වන්නට තැත් කරති. මෙසේ නො මනා අදහස්වලින් මෝඩ අදහස් වලින් පැවිදි වන්නට එන්නන් පැවිදි කළ හොත් ගුරුවරුන්ටත් අන්‍ය භික්ෂූන්ටත් සමහර විට ඔවුන් ගෙන් බොහෝ කරදර පැමිණිය හැකි ය. විහාරස්ථානවල දායකයන්ට පවා කරදර පැමිණිය හැකි ය. එබැවින් කියන ලද පුද්ගලයන් ද පැවිද්දට නුසුදුසු බව කිය යුතුය.

සසර දුකින් මිදී නිවනට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ශ්‍ර‍ද්ධාවෙන් ම පැවිදි වන්නට තැත් කරන අය අතර ද කිසිවකුට කීකරු කරගත නො හෙන දරුණු අසත්පුරුෂ පුද්ගලයෝ ද වෙති. ශ්‍ර‍ද්ධාව වනාහි කලින් කල අඩු වැඩි වන ඇති නැති වන ධර්මයෙකි. එය පෘථග්ජන පුද්ගලයන් කෙරෙහි සෑම කල්හි එක පමණට නො පවතී. අසත්පුරුෂයා ඔහු තුළ ශ්‍ර‍ද්ධාව උත්සන්නව තිබෙන තුරු හොඳ පැවිද්දකු වශයෙන් සිටී. ශ්‍ර‍ද්ධාව හීන වූ පසු නැති වූ පසු ඔහුගේ නපුරු ගති මතු කරන්නට පටන් ගනී. සමහර විට එබඳු අය පැවිදි ව පසු කාලයේ දී භාජන ටිකත් බිඳ දමා පන්සලටත් ගිනි තබා පලා ගිය මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ගෝලයා මෙන් ගුරුවරුන්ට හා අන්‍ය භික්ෂූන්ටත් මහත් අනර්ථ කරන්නාහ.

සසර දුකින් මිදී නිවන් පුරයට පැමිණීමේ අදහසින් පැවිදි වන්නට එන අය අතුරෙන් ද පැවිදි කළ යුතු අය ඉවසීම ඇති, අන්‍යයන් හා සමගියෙන් වාසය කළ හැකි, සාධාරණ අදහස් ඇති, මෛත්‍රී කරුණා ගුණ ඇති, ගුරුන් ගේ අවවාදානුශාසනා ආදරයෙන් පිළිගන්නා ස්වභාවය ඇති, ගුරු ගෞරවය ගුරු භක්තිය ඇති අවංක සත්පුරුෂයෝ ය. එබඳු පුද්ගලයෝ ම මේ බුදුසස්නෙහි දියුණුවට පැමිණෙන්නාහ. බුදු සස්න බබලවන්නෝ ද ඔවුහු ම ය.

කුලපුත්‍ර‍යන් පැවිදි කිරීමට සුදුසු ආචාර්‍ය්‍යවරයෝ

මේ බුදු සස්නෙහි පැවිදි කොට ගෝලයන් තැනීම ද බරපතල කරුණෙකි. තමන් පැවිදි කරගත් ගෝලයන් ගේ කුඩා මහත් වරදවල් සොයා බලා ඒවා ගැන අවවාද අනුශාසනා කොට ඔවුන් සුමඟ යැවීමටත්, ධර්මවිනය උගන්වා ඔවුන් දියුණු කිරීමටත් නො සමත් අව්‍යක්ත භික්ෂූන් විසින් පැවිදි කරනු ලබන කුලපුත්‍රයෝ නොමඟ ගොස් දෙලොවින් ම පිරිහෙති. ගෝලයකු හික්මවීමට හා ඔහුට ප්‍ර‍තිපත්ති පුහුණු කිරීමටත් ධර්ම විනය උගන්වා දීමටත් නො සමත් භික්ෂූන් අන්‍යයන් මහණ කිරීම ඒ අයට බලවත් අපරාධයක් කිරීමකි. එබැවින් තථාගතයන් වහන්සේ සියලු ම භික්ෂූන්ට ගෝලයන් තැනීමට අවසර නුදුන් සේක. “අනුජානාමි භික්ඛවෙ, ව්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙකදසවස්සෙන වා උපසම්පාදෙතුං නිස්සයං දාතුං” යනුවෙන් උපසම්පදා වී දසවසක් හෝ ඊට වැඩි කලක් හෝ ගත කොට ඇති ව්‍යක්ත ප්‍ර‍තිබල වූ භික්ෂූන් හට ම ගෝලයන් තැනීමට අවසර දී වදාළ සේක. සුදුසුකම් නැති භික්ෂුවක් විසින් තමා උපාධ්‍යාය වී ගෝලයකු මහණ කළ හොත් ඇවැත් වේ.

උපාධ්‍යාය වී ගෝලයන් තැනීමට සුදුසු නුසුදුසු පුද්ගලයන්ගේ අංග තථාගතයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් වදාරා ඇත්තේ ය. ඒවා මහාවග්ග පාළියේ මහාඛන්ධකයෙන් දත හැකි ය. යටත් පිරිසෙයින් උපසම්පදාවෙන් දසවසක් ගත කොට ඇත්තා වූ ද, ගෝලයා හට තුදුස් ඛන්ධකයවත් පුරුදු කරදීමට හා ධර්ම විනය පුහුණු කිරීමට සමත් වූ ද, අනභිරතියක් ඇති වුවහොත් එය දුරු කිරීමට සමත් වූ ද, යම්කිසි කරුණක් ගැන සැකයක් ඇති වුවහොත් ධර්ම විනයානුකූලව එය දුරු කර දීමට සමත් වූ ද, ගෝලයා රෝගාතුර වුවහොත් උපස්ථාන කිරීමට හෝ කරවීමට සමත් වූ ද, භික්ෂුව ගෝලයන් මහණ කිරීමට සුදුසු වන්නේ ය. ලොකු පන්සල් නැති බව, පොහොසත් දායකයන් නැති බව, බොහෝ පන්සල් නැති බව, වතු කුඹුරු නැති බව, පිරිවෙන්වලට විද්‍යාලවලට ගෝලයන් යවා උගැන්වීමට වත්කම් නැති බව යන මේවා විනයේ හැටියට ගෝලයන් පැවිදි කිරීමට නුසුදුසු කම් නොවන බව කිව යුතු ය. එහෙත් මේ කාලයේ සැටියට නම් තමාගේ කැමැත්තේ සැටියට පාලනය කිරීමට බලය ඇති තැනක් නැත්තා වූ භික්ෂූන් විසින් අන්‍යයන් පැවිදි කිරීම සුදුසු යයි නො කිය හැකි ය.

කුලදරුවකු පැවිදි කොට අවවාදානුශාසනා කරමින් ඔහු හික්මවන්නා වූ ඔහුගේ සැපදුක් බලන්නා වූ ධර්ම විනය උගන්වා ඔහු දියුණු කරන්නා වූ ආචාර්‍ය්‍යවරයා උපාධ්‍යාය නම් වේ. “උපජ්ඣායො භික්ඛවෙ, සද්ධිවිහාරිකම්හි පුත්තචිත්තං උපට්ඨපෙස්සති, සද්ධිවිහාරිකො උපජ්ඣායම්හි පිතුචිත්තං උපට්ඨපෙස්සති” යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති පරිදි උපාධ්‍යායයා විසින් ගෝලයා කෙරෙහි පුත්‍රයෙක් ය යන සිත තබා ගත යුතුය. ගෝලයා විසින් ද උපාධ්‍යායයා කෙරෙහි පියෙක යන සිත තබා ගත යුතුය. එසේ අන්‍යොන්‍ය හිතවත් භාවයෙන් වාසය කිරීමෙන් මේ සස්නෙහි ඔවුහු දියුණුවට පැමිණෙන්නාහ.