1. “සීතවාත පරිත්තානං හිරිකෝපීන ඡාදනං
මත්තත්ථියං අභුඤ්ජිංසු සන්තුට්ඨා ඉතරීතරේ
-
2. පණීතං යදි වා ලූඛං අප්පං වා යි වා බහුං
යාපනත්ථං අභූඤ්ජිංසු සන්තුට්ඨා ඉතරීතරේ
-
3. ජීවිතානං පරික්ඛාරේ භේසජ්ජේ අථ පච්චයෙ,
න බාළ්හං උස්සුකා ආසුං යථා තේ ආසවක්ඛයේ.
-
4. අරඤ්ඤේ රුක්ඛමූලේසු කන්දරාසු ගුහාසු ච.
විවේක මනුබ්‍රෑහන්තා විහිංසු තප්පරායනා.
-
5. නීචා නිවිට්ඨා සුභරා මුදූ අත්ථද්ධමානසා,
අබ්‍යාසේකා අමුඛරා අත්ථචින්තා වසානුගා.
-
6. තතෝ පසාදිකං ආසි ගතං භුත්තං නිසේවිතං
සිනිද්ධා තේලධාරාව අහෝසි ඉරියාපථෝ.
-
7. සබ්බාසව පරික්ඛීණා මහාඣායී මහාහිතා,
නිබ්බුතා දානි තේ ථෙරා පරිත්තා දානි තාදිසා.”
(පාරාපරියථෙර ගාථා)
තේරුම :
- “ලද චීවරයකින් සතුටු වන්නා වූ ඒ අතීත පැවිද්දෝ, ශීත නැසීම ය, වාතයේ පහස වළකා ගැනීම ය, නො වැසුව හොත් ලජ්ජාව නැති වී යන ශරීරාවයව වැසීම ය යන ප්‍රයෝජනයන් පිණිස ම සිවුරු පරිභෝග කළෝ ය.
- ලැබෙන ආහාරයකින් සතුටු වීම ඇත්තා වූ ඒ අතීත පැවිද්දෝ ප්‍රණීත වූ හෝ රූක්ෂ වූ හෝ මඳ වූ හෝ බොහෝ වූ හෝ ආහාරය යැපීම ප්‍රයෝජනය කොට ම වැළඳූහ.
- ඒ අතීත පැවිද්දෝ ආශ්‍රවයන් ක්ෂය කිරීමට හෙවත් රහත්වීමට උත්සාහ කරන පරිදි ජීවිතය පවත්වා ගැනීමට වුවමනා වස්තු වන ග්ලානප්‍රත්‍යය සෙවීමෙහි උත්සාහවත් නො වූහ. (ඒ පැවිද්දෝ රෝගීන් වූ විට ද නිරායාසයෙන් ලැබෙන බෙහෙත් පමණක් සේවනය කරමින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට උත්සාහවත් වූහ.)
- විවේකයට බර වුණු නැමුණු සිත් ඇත්තා වූ ඒ පැවිද්දෝ ආරණ්‍යයෙහි ද ගස් යට ද පර්වත විවරයන්හි ද ගුහාවල ද විවේකය සොයමින් විසූහ.
- ඒ අතීත පැවිද්දෝ අත්තුක්කංසන පරවම්භනයෙන් තොර ව පහත් කොට තබා ගන්නා ලද සිත් ඇත්තෝ වූහ. බුදුසස්නෙහි මනා කොට පිහිටි ශ්‍රද්ධාව ඇත්තෝ වූහ. අල්පේච්ඡ බැවින් පහසුවෙන් පෝෂණය කළ හැකියෝ වූහ. මෘදු සිත් ඇත්තෝ වූහ. අතිමානාදියෙන් තද වූ සිත් නැතියෝ වූහ. නිතර ම සිහියෙන් වෙසෙන බැවින් කෙලෙසුන් නැතියෝ වූහ. ක්‍රෑර වචන නැතියෝ වූහ. ආත්මාර්ථ පරාර්ථ චින්තනයේ නිරත වූහ.
- එබැවින් ඒ අතීත පැවිද්දන්ගේ ගමන ද සිවුපස පරිභෝග ද හැසිරීම ද දුටුවන්ගේ පැහැදීම ඇති කරන්නක් විය. ඒ පැවිද්දන්ගේ ඉරියව් පැවැත්ම සිනිඳු තෙල් ධාරාවක් සේ හොබනේ විය.
- සකලාශ්‍රවයන් ක්ෂය කළා වූ මහත් වූ ධ්‍යානයන් සිතන ස්වභාවය ඇත්තා වූ නොහොත් මහත් වූ නිර්වාණ ධාතුව ධ්‍යාන කරන්නා වූ මහත් වූ හිතයෙන් යුක්ත වූ ඒ මහතෙරවරු පිරිනිවියාහ. දැන් එබන්දෝ අල්පය හ.”
මේ ගාථා පාරාපරිය තෙරුන් වහන්සේ විසින් ප්‍රකාශ කර ඇත්තේ බුදුරදුන් පිරිනිවන් පෑ අලුත ය. මෙයින් වර්ෂ දෙදහස් පන්සියයකට පමණ පෙර ය. මේ ගාථා වලින් කියැවෙන පරිදි හැසිරෙන අය මඳ වුව ද අතීත තෙරුන් වහන්සේලාගේ ගති ගුණ හැකි තාක් අනුගමනය කරන්නට වර්තමාන පැවිද්දන් උත්සාහ කළ යුතු ය.