ගෝදත්තත්ථෙර ගාථා

අෂ්ටලෝක ධර්මය පිළිබඳ ව ගෝදත්ත මහරහතන් වහන්සේ වදාරා ඇති මේ ගාථා පාඩම් කරගෙන තිබීම පැවිද්දන්ට ඉතා ප්‍රයෝජනය.

1. යථාපි භද්දෝ ආජඤ්ඤෝ ධුරේ යුත්තෝ ධුරාසභෝ මථිතෝ අතිභාන සංයුගං නාතිවත්තති.

2. ඒවං පඤ්ඤාය යේ තිත්තා සමුද්දෝ වාරිනා යථා, න පරේ අතිමඤ්ඤති අරියධම්මෝව පාණිනං.

“රියෙහි යොදන ලද බර උසුලන්නා වූ යහපත් ගවා අතිභාරයෙන් මඩනා ලද්දේ ද තමාගේ කර තබා ඇති ඒරියකඳ ඉවත නො දමන්නාක් මෙන්, ජලයෙන් පිරුණු සාගරය සේ ලෞකික ලෝකෝත්තර ප්‍ර‍ඥාවෙන් පරිපූර්ණ වූ පුද්ගලයෝ තාදී ගුණය නමැති බර නො හරනාහ. ඔවුහු ලාභාලාභාදියෙහි අන්‍යයන් පහත් කොට නො සිතන්නා හ. එසේ අන්‍යයන් පහත් කොට නො සැලකීම ආර්‍ය්‍ය ධර්මයෙක.”

3. කාලේ කාලවසං පත්තා භවාභවවසං ගතා, නරා දුක්ඛං නිගච්ඡන්ති තේ’ ධ සෝචන්ති මානවා,

“ලාභාලාභාදියෙන් යුක්ත වන කාලයෙහි උඩඟු වීම් ශෝකවීම් ඇලීම් කිපීම් වශයෙන් ඒවාට වසඟයට පැමිණෙන්නා වූ ද, එසේ ම දියුණුව - හානිය යන දෙකට වසඟ වන්නා වූ ද මනුෂ්‍යයෝ දුකට පැමිණෙති. මේ ලෝකයෙහි ඔවුහු ශෝක කෙරෙති.”

4. උන්නතා සුඛධම්මේන දුක්ඛධම්මේන ඕනතා, ද්වයේන බාලා හඤ්ඤන්ති යථා භූතං අදස්සිනෝ.

“සැපයට හේතුවන ලාභාදියෙන් උඩඟු වූ දුඃඛයට හේතු වන ආලාභාදියෙන් බැගෑපත් බවට පැමිණියා වූ ලෝක තත්ත්වයට ඇති සැටියෙන් නො දන්නා වූ ස්කන්ධාදි ධර්මයන් තත් වූ පරිද්දෙන් නො දන්නා වූ බාලයෝ උඩඟු බව බැගෑ බව යන දෙකින් ම පෙළෙන්නා හ.”

5. යේ ච දුක්ඛෙ සුඛස්මිං ච මජ්ඣෙ සිබ්බනි මච්චගු, ඨිතා තේ ඉන්දඛීලොව න තේ උන්නත ඕනතා.

“යම් ආර්‍ය්‍යපුද්ගල කෙනෙක් අග්‍ර‍මාර්ගාධිගමයෙන් සුඛ වේදනා දුඃඛ වේදනා මධ්‍යස්ථ වේදනා පිළිබඳ වූ ඡන්ද රාගය නමැති බන්ධනය ඉක්මවූවාහු ද ඒ ආර්‍ය්‍යයෝ ඉන්ද්‍ර‍ඛීලයන් සේ ස්ථිර ව සිටින්නාහ. ඔවුහු උඩඟු බවට හා බැගෑ බවට නො පැමිණෙන්නාහ.”

6. නහේච ලාභේ නාලාභේ අයසේ න ච කිත්තියා, න නින්දායං පසංසායං න තේ දුක්ඛෙ සුඛම්හි ච.

7. සබ්බත්ථ තේ න ලිප්පන්ති උදබින්දූව පොක්ඛරේ, සබ්බත්ථ සුඛිතා ධීරා සබ්බත්ථ අපරාජිතා.

“ඒ ක්ෂීණාශ්‍ර‍වයෝ ලාභයෙහි ද වෙනසකට නො පැමිණෙන්නා හ. අලාභයෙහි ද වෙනසකට නො පැමිණෙන්නාහ. අයසයෙහි ද යසසෙහි ද නින්දාවෙහි ද ප්‍ර‍ශංසාවෙහි ද සැපයෙහි ද දුකෙහි ද වෙනසකට නො පැමිණෙන්නා හ. ඒ ආර්‍ය්‍යයෝ පියුම්පතෙහි දියබින්දු මෙන් සැම තන්හි ම නො ඇලෙන්නා හ. එබැවින් ඒ නුවණැත්තෝ සැම තන්හි ම සුඛිත වන්නා හ. සැම තන්හි ම කෙලෙසුන් විසින් නො පදරවන ලද්දෝ වන්නා හ.”

8. ධම්මේන ච අලාභෝ යෝ යෝ ද ලාභෝ ධම්මිකෝ අලාභෝ ධම්මිකෝ සෙය්‍යෝ යං චේ ලාභෝ අධම්මිකෝ.

ධර්මය අනුව පිළිපදින්නහුට ඒ නිසා වන ලාභ හානිය ය, බුද්ධාදීන් විසින් පිළිකුල් කරන අයථා ක්‍ර‍ම වලින් ලාභ ඇති කර ගැනීම ය යන මේ දෙකින් අධර්මයෙන් ඇති කර ගන්නා ලාභයට වඩා ධර්මය පිළිපැදීමෙන් වන අලාභය ම උතුමි.”

9. යසෝ ච අප්පබුද්ධීනං විඤ්ඤූනං අයසෝ ච යෝ, අයසෝ ව සෙය්‍යෝ විඤ්ඤූනං න යසෝ අප්පබුද්ධිනං.

“අනුවණයන් නිසා ලබන කීර්තිය, නුවණැතියන් නිසා ලබන අපකීර්තිය යන මේ දෙකින් මන්දබුද්ධිකයන් නිසා ඇති වන කීර්තියට වඩා නුවණැතියන් නිසා ලබන අපකීර්තිය උතුමි.

10. දුම්මේධෙහි පසංසා ච විඤ්ඤූහි ගරහා ච යා, ගරහාව සෙය්‍යෝ විඤ්ඤූහි යං චේ බාලප්පසංසනා.

“අනුවණයන් විසින් කරනු ලබන ප්‍ර‍ශංසාවය, විඥයන් කරන ගර්හාවය යන මේ දෙකින් අඥයන් ගේ ප්‍ර‍ශංසාවට වඩා විඥයන් ගේ ගර්හාව උතුමි.”

11. සුඛඤ්ච කාමමයිකං දුක්ඛඤ්ච පවිවේකියං, පවිවේකියං දුක්ඛං සෙය්‍යෝ යඤ්චේ කාමමයං සුඛං

“රූපශබ්දාදි කාමවස්තූන් නිසා ඇති වන සැපය ය, විවේකය සේවනය කරන්නහුට ආරණ්‍ය වෘක්ෂමූල ගුහාදියෙහි රළු අසුන්වල හිඳීමෙන් සැතපීමෙන් වන දුකය යන මේ දෙකින් විවේකයෙන් විසීම නිසා වන දුක කාම වස්තූන් නිසා ලබන සුවයට වඩා උතුමි.”

12. ජීවිතඤ්ච අධම්මේන ධම්මේන මරණඤ්ච යං, මරණං ධම්මිකං සෙය්‍යෝ යඤ්චේ ජීවේ අධම්මිකං.

“අධර්ම ක්‍රියාවලින් පවත්වන ජීවිකාවය, ධර්මයෙහි හැසිරීම නිසා වන මරණයය යන මේ දෙකින් අධර්මයෙන් ජීවත්වීමට වඩා ධර්මයෙහි හැසිරීම නිසා වන මරණය උතුමි.”

13. කාමකෝප පහීණා යේ සන්තචිත්තා භවාභවේ, චරන්ති ලෝකේ අසිතා නත්ථි තේසං පියාප්පියං.

“ලෝකෝත්තර මාර්ගඥානයෙන් සර්වප්‍ර‍කාරයෙන් ඇලීම් කිපීම් දෙක දුරු කළා ව කුඩා මහත් භවයන්හි ඇලීම දුරු කළා වූ, සන්සුන් සිත් ඇත්තා වූ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගන්නා වූ යම් ආර්ය්‍ය පුද්ගල කෙනෙක් ලෙව්හි හැසිරෙත් ද ඒ ක්ෂීණාශ්‍ර‍වයන්ට ප්‍රියාප්‍රිය දෙක නැත.

14. භාවයිත්වාන බොජ්ඣංගේ ඉන්ද්‍රියානි බලානි ච, පප්පුය්‍ය පරමං සන්තිං පරිනිබ්බන්ති අනාසවා.”

“බෝධ්‍යංගයන්ද ඉන්ද්‍රියයන් ද බලයන් ද භාවනා කොට ක්ලේශප්‍ර‍හාණයෙන් පරමශාන්තියට පැමිණ රහත්හු අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවෙන්නාහ.”