නො ඉවසීම් ගුණය

ඉවසීම පැවිද්දන් ගේ ගුණයක් වන්නාක් මෙන් ම නො ඉවසිය යුතු කරුණු නො ඉවසීම ද පැවිද්දන් කෙරෙහි පිහිටිය යුතු ගුණයකි. ඒ ගුණය වඩාත් උසස් බව කිය යුතුය. පැවිද්දන් විසින් නො ඉවසිය යුතු කරුණු කොටසක් ද ඇත්තේ ය. ඒවා තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.

“ඉධ භික්ඛවෙ, භික්ඛු උප්පන්නං කාමවිතක්කං

නාධිවාසේති, පජහති, විනෝදෙති, ව්‍යන්තීකරෝති,

අනභාවං ගමේති.

-

උප්පන්නං විහිංසා විතක්කං නාධිවාසේති, පජහති,

විනෝදේති, ව්‍යන්තීකරෝති, අනභාවං ගමේති.

-

උප්පන්නප්න්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති,

පජහති, විනෝදේති, ව්‍යන්තීකරෝති, අනභාවං ගමේති.

එවං ඛෝ භික්ඛවේ භික්ඛු හන්තා හොති.”

(අංගුත්තර චතුක්ක භය වග්ග)

මේ දේශනාවෙන් දැක්වෙන්නේ කාමවිතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක යන අකුශලවිතර්කයන් හා ඊර්ෂ්‍යාමානමාත්සර්යාදි අන්‍ය පාප ධර්මයන් ද ස්වසන්තානයෙහි ඇති වීම පැවිද්දන් විසින් නො ඉවසිය යුතු බවය.

කාමවිතර්ක යනු කැමති වන ඇලුම් කරන වස්තූන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් ඇති වන කල්පනා ය. හොඳ පන්සල් සොයා ගැනීම, පන්සල ලස්සනට හොඳට සාදා ගැනීම, හොඳ බඩු සපයා ගැනීම, හොඳ දායකයන් අල්ලා ගැනීම, ගිහි බවට පැමිණීම යන මේවා ගැන ඇති වන කල්පනා පැවිද්දන්ට ඇති විය හැකි කාම විතර්කයෝ ය.

ව්‍යාපාද විතර්ක යනු ද්වේෂ සහගත කල්පනා ය. අසවලාගේ සැටි මෙහෙම ය. අසවලා අපට මෙසේ කෙළේය කියා අනුන් පිළිබඳ ව ඇති වන කල්පනාවෝ ය.

විහිංසා විතර්ක යනු අනුන්ට පීඩා කිරීම අනුන් නැසීම පිළිබඳ කල්පනාවෝ ය. මේ තුනට “අකුශල විතර්කයෝය” යි කියනු ලැබේ. අකුශල විතර්ක තුන හා අන්‍ය අකුශල ධර්ම ස්වසන්තානයෙහි ඇතිවීම පැවිද්දා විසින් නො ඉවසිය යුතුය. මෙහි නො ඉවසීමය යි කියනුයේ ඒවායින් යම් කිසිවක් ඇති වූ කල්හි එයට ස්වසන්තානයෙහි පවත්නට වැඩෙන්නට ඉඩ නො හැරීම ය. තමාගේ සන්තානයෙහි යම්කිසි පාපධර්මයක් ඇති වුවහොත්, හැඳි වතට ගිනි ගත හොත් එය නිවීමට උත්සාහ කරන්නාක් මෙන් අකුශලය දුරු කිරීමට පැවිද්දා විසින් උත්සාහ කළ යුතුය. ගමනෙහි දී උපන් පාපධර්මය ගමනෙහිදී ම දුරු කළ යුතුය. හිඳීමෙහි දී ඇති වූ අකුශල ධර්මය හිඳීමෙහිදී ම දුරු කර ගත යුතුය. සිටීමෙහි දී ඇති වූ අකුශල ධර්මය සිටීමෙහිදී ම දුරු කර ගත යුතු ය. වැතිර සිටීමේ දී උපන් අකුශලය වැතිර සිටීමේ දී ම දුරු කර ගත යුතු ය. එක් ඉරියව්වක දී ඇති වූ අකුශලය අනෙක් ඉරියව්වකට නො ගෙන යා යුතු ය.

පෙර දසනම විසිනම යනාදි වශයෙන් එක් ව විසූ ඇතැම් භික්ෂූහු “ඇවැත්නි, අපි ණයෙන් මිදෙනු පිණිස හෝ ජීවත් වීමේ ක්‍ර‍මයක් නැති නිසා හෝ අන් කරදරයක් නිසා හෝ පැවිදි වූවෝ නො වෙමු. අපි දුකින් මිදෙනු පිණිස ම පැවිදි වූවෝ වෙමු. ඒ නිසා ගමනෙහිදී උපන් ක්ලේශය ගමනෙහිදී ම දුරු කරමුය, සිටීමෙහිදී උපන් ක්ලේශය සිටීමෙහිදී ම දුරු කරමු ය, හිඳීමෙහිදී උපන් ක්ලේශය හිඳීමෙහිදී ම දුරු කරමුය. වැතිර සිටීමේදී උපන් ක්ලේශය වැතිර සිටීමේදී ම දුරු කරමු” යයි කථා කර ගත්හ. එක් ව පිඬු පිණිස යන කල්හි (යමකුට) ඔවුන්ගෙන් එක් නමකට කලේශයන් උපනහොත් ඒ නම එකෙණෙහි ම නවතී. අනික් භික්ෂූහු ද ඔහු අනුව නවතිති. කෙලෙස් උපන් භික්ෂුව තමාට තමා ම අවවාද කර ගෙන වහා ඒ ක්ලේශය දුරු කර ගෙන ඉදිරියට යයි. ඉදින් ක්ලේශය දුරු කර ගත නො හැකි වී නම් ඒ භික්ෂුව එතැන ම හිඳ ගනී. සෙස්සෝ ද හිඳ ගනිති. එසේ හිඳ ගන්නා වූ භික්ෂූන් ගෙන් ඇතැමෙක් එතැනදී ම ක්ලේශය දුරු කොට ආර්ය භූමියට ද පැමිණ නැඟී යෙති. ඇතැමෙක් ක්ලේශය දුරු කර ගෙන නැඟී යෙති. ඒ අතීත භික්ෂූන් වහන්සේ ආදර්ශයට ගෙන සැදැහැවත් පැවිද්දෝ කාමවිතර්කාදිය නො ඉවසීම පුරුදු කෙරෙත්වා!