පුණ්ණ තෙරුන් වහන්සේ

දිනක් පුණ්ණ තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ “යම් කිසි පෙදෙසකට ගොස් විවේකී ව මහණ දම් පිරීම සඳහා මා හට කොටින් අවවාදයක් දෙන සේක්වා”යි තථාගතයන් වහන්සේට සැල කළහ. තථාගතයන් වහන්සේ පුණ්ණ තෙරුන් වහන්සේට දහම් අසා “පුණ්ණය මේ අවවාදය ලබා තෙපි, විවේකීව විසීමට කොහි යන්නහුදැ”යි විචාළ සේක. “ස්වාමීනි, සුණාපරන්ත නම් ජනපදයක් ඇත, මම එහි යෙමි”යි පුණ්ණ තෙරණුවෝ කීහ.

එකල්හි තථාගතයන් වහන්සේ “පුණ්ණය, සුණාපරන්තයෝ දුෂ්ටයෝ ය, නපුරෝ ය, පුණ්ණය, එහිදී තට සුණාපරන්තයෝ බණිත් නම් මෙසේ ද මෙසේ ද කරමු යි තර්ජනය කෙරෙත් නම් එකල්හි කෙසේ සිතන්නෙහිදැ”යි විචාළ සේක.

“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, ඉදින් සුණාපරන්තයෝ මට බණිත් නම් තර්ජනය කෙරෙත් නම් “මොහු හොඳ මිනිස්සු ය, බණින සැර කරන නමුත් මට අතින් පයින් නො ගසති යි සිතමි” යි පුණ්ණ තෙරණුවෝ සැල කළ හ.

“පුණ්ණය! ඉදින් තට සුණාපරන්තයෝ අතින් පයින් තළත් නම් එකල්හි කෙසේ සිතන්නෙහි ද?”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඉදින් සුණාපරන්තයෝ මට අතින් පයින් තළත් නම් මේ මිනිස්සු හොඳය, අතින් පයින් ගසත්, මුත් මොහු මට ගල්වලින් නො ගසති යි සිතමි.”

“පුණ්ණය, සුණාපරන්තයෝ ගල්වලින් ගසත් නම් එකල්හි කෙසේ සිතන්නෙහි ද?”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සුණාපරන්තයෝ මට ගල් ගසත් නම් මේ මිනිස්සු හොඳ ය. ගල් ගසන නමුත් මොහු මට පොලුවලින් නො ගසති යි සිතමි.”

“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ පොලුවලින් ගසත් නම්, එකල්හි කෙසේ සිතන්නෙහි ද?”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ මිනිස්සු හොඳ ය. මොවුන් මට පොලුවලින් ගසන නමුත් ආයුධවලින් පහර නො දෙති යි සිතමි.”

“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ තට ආයුධවලින් පහර දෙත් නම්, එකල්හි කෙසේ සිතන්නෙහි ද?”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, “මේ මිනිස්සු හොඳ ය, මොවුන් මට ආයුධවලින් පහර දෙනවා මිස, තියුණු අවි වලින් මා ජීවිතක්ෂයට නො පමුණුවති යි සිතමි.”

“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ තියුණු අවිවලින් තා මරත් නම් එකල්හි කෙසේ සිතන්නෙහි ද?”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේගේ සස්නෙහි ශරීරය හා ජීවිතය කෙරෙහි කලකිරී දිවි නසා ගත හැකි ආයුධ සොයන පැවිද්දෝ ඇතහ. මට එය නො සොයාම ලැබුණේ ය යි සිතමි.”

එකල්හි තථාගතයන් වහන්සේ පුණ්ණ තෙරුන් වහන්සේට සාධුකාර දී “මෙතරම් ඉවසීමක් ඇත්තා වූ නුඹට සුණාපරන්ත ජනපදයෙහි විසිය හැකි වන්නේ ය” යි වදාරා එහි යෑමට අවසර දුන් සේක.

පුණ්ණ තෙරුන් වහන්සේ සුණාපරන්තයට ගොස් ඒ වස්කාලය තුළදී උපාසකයන් පන්සියයක් හා උපාසිකාවන් පන්සියයක් ද ඇති කොට තමන් වහන්සේ ද අර්හත්වයට පැමිණ පිරිනිවන් පා වදාළ සේක.

පැවිද්දන්ට ගර්හා කිරීම බැණීම ලෝකයෙහි අදත් එදත් කවදත් ඇතියකි. ලෝකයෙහි අසත්පුරුෂයෝ බොහෝ ය. ඔවුහු අනුන්ට ගර්හා කිරීමට - රිදවීමට ඉතා කැමැත්තෝ ය. ඔවුනට නිදහසේ බණින්නට ඇත්තා වූ එකම පිරිස පැවිදි පිරිසය. එබැවින් ඔවුහු පැවිද්දන්ට බැණීම මහත් රුචියකින් කෙරෙති. පැවිද්දන්ට කවර ආකාරයකින්වත් ඉන් නිදහස් ව නො විසිය හැකි ය. ඖදාරික පැවතුම් ඇති පැවිද්දාට දුශ්ශීලයෙකැයි බණිති. සන්සුන් පැවතුම් ඇති පැවිද්දාට මෝඩයෙක - කුහකයෙක කියා බණිති. වත් පොහොසත් කම් ඇති පැවිද්දාට දුශ්ශීලයෙකැයි කියති. දුප්පත් පැවිද්දාට කාලකණ්ණියෙක - පව්කාරයෙක කියා නින්දා කෙරෙති. සාමාන්‍ය පැවිද්දන්ට තබා දේවබ්‍ර‍හ්මයන් පවා ගරු බුහුමන් වැඳුම් පිදුම් කරන බුදුරජාණන් වහන්සේට පවා බැණුමෙන් නිදහස් ව විසිය නො හැකිවිය. කොසඹෑ නුවර දී මාගන්දි, නුවරුන්ට අල්ලස් දී “ශ්‍ර‍මණ ගෞතමයා මෙහි පැමිණිය හොත් බැණ එළවා දමාපල්ලාය”යි අණ කළාය. මිසදිටුවන් හා රත්නත්‍රයෙහි අප්‍ර‍සන්න මනුෂ්‍යයෝ තථාගතයන් වහන්සේ ඒ නුවර වීථිවල වැඩම කරන කල්හි “ඔන්න හොරෙක්, ඔන්න ගොනෙක්, ඔන්න බූරුවෙක්” යනාදීන් අපහාස කරමින් උන් වහන්සේ ලුහු බැඳ යන්නට පටන් ගත් හ. භික්ෂූන්ට ද එසේ කළ හ. ඒ බැණීම අසා ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ කරා එළඹ, “ස්වාමීනි, මේ නුවර වැස්සෝ අපට නින්දා කරන්නා හ. තර්ජනය කරන්නා හ. අපි මෙහි මොවුන්ගෙන් අවමන් ලබමින් කුමට වෙසෙන්නෙමු ද? අපි මේ නගරය හැර යමුය” යි සැල කළහ. “ආනන්දය, කොහි යන්නෙමු ද?” “ස්වාමීනි, අනික් නගරයකට යන්නෙමු.” “ආනන්ද ය, එහි මිනිසුන් ද බණින්නට පටන් ගත හොත් කොහි යන්නෙමු ද?” “අනික් නගරයකට යමුය” යි කීහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය, එසේ කිරීම සුදුසු නැත, යම් තැනක අධිකරණයක් ඇති වුව හොත් අන් තැනකට යා යුත්තේ එය සන්සිඳුණු පසුව ය. ආනන්ද ය, යුදබිමට බට ඇතු විසින් සතර දිගින් එන පහරවල් ඉවසිය යුතු ය. එය ඌට භාර ය. ආනන්දය, මාද යුදබිමට බට ඇතකු වැනි ය. මා විසින් බොහෝ දුස්සීලයන් කරන නො මනා කථා ඉවසිය යුතු ය. ඒවා ඉවසීම මට භාර කටයුත්ත ය. මම ඒවා ඉවසමිය” යි වදාරා ධර්මදේශනාවක් කළ සේක. ධර්මදේශනාවසානයේ දී අල්ලස් ගෙන වීථිවල බණිමින් හැසුරුණු සැම දෙන ම සතුටට පත් ව බැණීම නැවැත්වූහ. බුදුන්වහන්සේට පවා අසත් පුරුෂයන්ගේ ඇණුම් බැණුම් වලින් නිදහස් ව විසිය නො හෙන කල්හි දුබල පැවිද්දන්ට ඒවායින් කෙසේ නිදහස් ව විසිය හැකි වේද? නො හැකිම ය. තථාගතයන් වහන්සේ අනුව ක්‍රියා කොට නො කිපී ඉවසීමෙන් ඒවා කෙළවර කර ගත යුතු ය. ලෝකයෙහි අසත්පුරුෂයන් ඇති තාක් පැවිද්දන්ට බැණීම නවතින්නේ නැත. පැවිද්දන්ට අපහාස කිරීම් වශයෙන් ඔවුන් කරන්නේ ඔවුන් ගේ අශීලාචාරකම විදහා පෑම ය. එක් අතකින් ඒ අපහාසය පැවිද්දාට යහපතකි. ක්ෂාන්තිය පුරුදු කිරීමට ක්ෂාන්තිපාරමිතාව පිරීමට එබඳු පිරිසක් සිටිය යුතු ය. ඉවසීමට කරුණු නො පැමිණෙතොත් ශාන්ති පාරමිතාව පිරීමට ක්‍ර‍මයක් නැත. ක්ෂාන්තිපාරමිතාවට ආධාර කිරීම් වශයෙන් ඒ බණින අය තමාගේ උපකාරකාරයන් ලෙස පැවිද්දා විසින් සැලකිය යුතු ය. එසේ සලකන පැවිද්දාට ලෙහෙසියෙන් ම එය ඉවසිය හැකි වනු ඇත. මිනිසුන් බණිනවාය කියා මහණ කමට නො කලකිරිය යුතුය.

“බහු හි සද්දා පච්චූහා ඛමිතබ්බා තපස්සිනා,

න තේන මංකු හෝතබ්බා න හි තේන කිලිස්සති.

යෝ ච සද්ද පරිත්තාසි වනේ වාතමිගෝ විය,

ලහුචිත්තෝති තං ආහු නාස්ස සම්පජ්ජතේ වතං.”

(වන සංයුත්ත)

තේරුම:

“ලෝකයෙහි විරුද්ධ ශබ්දයෝ බොහෝ ය. පැවිද්දා විසින් ඒවා ඉවසිය යුතු ය. ඒවා නිසා දුර්මුඛ නො විය යුතු ය. ඒවායින් පැවිද්දා කිලිටි වන්නේ නැත. වනයෙහි සුළං හඬට ද බිය වී දුවන වාතමෘගයා මෙන් යමෙක් අන්‍යයන් නිකුත් කරන අවගුණ හඬට බිය වේ නම්, ඔහු පෙරළෙන සිත් ඇත්තෙකැ යි නුවණැත්තෝ කීහ. ඔහුට වෘතය සම්පූර්ණ නොවේ.” මෙහි අදහස අවගුණ හඬට බියවන පැවිද්දාට මහණකම නො කළ හැකිය යනු යි.